Print this Article


සදහම් අරණ

නමදිමු බැතින්

මිනිසුන් හරි මඟ යවා
ලෝ සත කෙලෙසුන් දවා
සිත තුළ දුක ඳුරු මකා
දම් දෙසුවේ බුදු පියා

බුදු හිමිගෙ දහම උතුම්
රැඳී ඇත්තෙ මෙරටෙ උතුම්
මිනිසුන්හට නිවන උතුම්
ලැබ දෙන්නේ දහම උතුම්

****

අනගාරික ධර්මපාලතුමා

මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් තිබෙනවා. එම රත්න හතර ආරක්ෂාකර ගැනීම මාගේ යුතුකම යි. “සිංහලයිනි, නැගිටිව්, බුද්ධගයාව බේරා ගනිව්” යනුවෙන් වටිනා අදහස් පවසා ඇත්තේ ජාතික වීරවරයෙකි. අනගාරික ධර්මපාල නමින් ලොව පුරා ප්‍රසිද්ධ වූයේ එතුමා ය. කුඩා කල අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්තියානි පාසල්වලිනි. එහිදී ලබාගත නොහැකි වූ සිංහල, පාලි, බුද්ධ ධර්මය පිළිබඳ අධ්‍යාපනය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් වෙතින් ලැබීය. ඉංගී‍්‍රසි, පාලි, බුද්ධ ධර්මය පිළිබඳ උසස් දැනුමක් ලබා ගැනීමට හේවාවිතාරණ ශිෂ්‍යයාට හැකි විය. ඩේවිඩ් නාමය අත්හළ හේවාවිතාරණයන් ඒ වෙනුවට ධර්මපාල යන බෞද්ධ නාමය භාවිත කළේ ය. අනගාරික ජීවිතයක් ගත කළ නිසා අනගාරික ධර්මපාල නමින් ප්‍රසිද්ධ විය. ජනතාව දැනුම්වත් කිරීමට පැවැත් වූ දේශන සඳහා එතුමා රට පුරා සංචාරය කළේ ඒ සඳහා සකස් කරගත් රථයකිනි. එම වාහනයේ “ගවමස් නො කනු, මත්පැන් නො බොනු” වැනි ආදර්ශ පාඨ ප්‍රදර්ශනය කර තිබිණි.

****

මේ වස් කාලයයි

මේ වස් කාලයයි. ගමේ පන්සලට පැමිණ ආගමික වතාවත්හි නිරතවන, ජීවිතයට වැඩියෙන් ම පින් එකතු කරන කාලය යි. කඨින පින්කම දක්වා හැමදා ම අපේ පන්සලේ අෂ්ටපාන, චතුමධුර පූජා පවත්වනවා. අප හැමදාම පන්සල් යනවා. ගිය වසරේ අපද කඨින පින්කමක් සිදුකළා. හරිම සතුටුයි. පින් පොතක් හදලයි තියෙන්නේ. මේ උදාවූ වස් සමයේ අපි පින් දහම් කරමු.

****

කාලයේ අගය

‘කාලය රන් හා සමාන ය. එම නිසා කාලය

අපතේ යැවීම හොඳ නැත. අපි උදේ පාන්දරින් අවදි වෙමු. ගේ දොර අතු ගා පිරිසුදු කරමු. මුහුණ කට සෝදා පිරිසුදු ව කල්වේලා ඇතිව පාසල් යාමට සූදානම් වෙමු. අපේ දින චරියාව කඩිනමින් කර ගනිමු. දිනපතා කළ යුතු වැඩ එදින ම කර අවසන් කරමු. අපි සවස සෙල්ලම් කරමු. විවේක වේලාවේ පොත්පත් කියවමු. මල්වත්තේ මල් පැළවලට වතුර දමා අපේ රෙදිපිළි අපිම සෝදා ගෙන ගෙදර දොරේ වැඩවලදී අම්මාට, තාත්තාට උදව් කරමු. අපේ මල්ලිලා, නංගිලාට පාඩම් කියා දෙමු. අලස නොවී අපේ දිනපතා වැඩ කටයුතු අවසන් කරමු. දිනපතා කළ යුතු වැඩ කාලසටහනක් අනුව කර අවසන් කිරීමට උත්සාහ කරමු. අපේ කාලය ඵලදායි ලෙස ගත කොළාත් පසුකාලයේ අපට සතුටෙන් ජීවත්වීමට පුළුවන.

****

දන්දීම

අංග සම්පූර්ණ ව දන් පිළිගන්වන අය ක්‍රම දෙකකට දන් දෙන බව තථාගත දේශනාවෙහි සඳහන් ය. ඒ පූජා බුද්ධියෙන් දන්දීම සහ අනුග්‍රාහක බුද්ධියෙන් දන්දීම ය. පූජා බුද්ධියෙන් දන් දෙන්නේ බොහෝ විට පැවිදි උතුමන්ට ය. එම දානය දීමෙන් පසුව දන් ලැබූ තැනැත්තාගෙන් පෙරළා යමක් අපේක්ෂා නො කර ගෞරවයෙන් දන්දීම පූජා බුද්ධියෙන් දන්දීම යි. අනුග්‍රහ බුද්ධියෙන් දන්දීම යනු, තව කෙනකුට අනුග්‍රහයක් වන ලෙස දන් දීම යි. දුගී මගී යාචකයන්ට දන් දෙන්නේ ඔවුන්ගේ කුසගිනි නිවා ගැනීමට අනුග්‍රහයක් වශයෙනි. දුගී, දුප්පත් අසරණ අයට ගේ දොර සාදා දෙන්නේ ඔවුන්ට අනුග්‍රහයක් ලෙස ය. මෙසේ තව කෙනකුට අනුග්‍රහය පිණිස හේතුවන ආකාරයෙන් දන්දීම අනුග්‍රාහක බුද්ධියෙන් දන්දීම වශයෙන් උගන්වා ඇත.

****

අම්මා

මට කරදරයක් වූ විට මගෙ අම්මා
හැමවිට පිහිටක් වූ මගෙ අම්මා
මා ළග සිටියා මගෙ සුදු අම්මා
නිවන් දකිත්වා ආදර අම්මා

මා ලෙඩ වී සිටි විට මගෙ අම්මා
බොහො දුක් කරදර වින්ඳා මගෙ අම්මා
හොඳ මිනිසෙක් වෙන්නැ’යි මට කී අම්මා
මට මගේ ප්‍රාණය යි ආදර අම්මා

****

නිදහසේ අරගලය

****

බුද්ධත්වය

****

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

670 ජී. පී. ඩිල්කි සසදරා - 10 වන ශ්‍රේණිය
ශ්‍රී විජයබා දහම් පාසල - මීටියාගොඩ

671 ඩී. එච්. සී. දංගොල්ල - 09 වන ශ්‍රේණිය
ශ්‍රී රතනපාල දහම් පාසල - තෝලංගමුව

672 ඩී. ආර්. සී. රුවන් දිසානායක - 13 වන ශ්‍රේණිය
ශාන්ත මරියා මහා විදුහල - කෑගල්ල

673 මෙතුපමා විජේරත්න - 07 වන ශ්‍රේණිය
සිරිකුරුස විදුහල - ගම්පහ

674 කේ.ඒ. ලක්ෂිකා ධනංජනී වික්‍රමරත්න අවසාන ශ්‍රේණිය
ශ්‍රී අභිනවාරාම දහම් පාසල - ඇලපාත දකුණ

****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

වැඩිහිටියන්ට ගරු කරමු යන මතෘකාව යටතේ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.

****