Print this Article


අභිරූපිනන්දා රහත් තෙරණිය

අභිරූපිනන්දා රහත් තෙරණිය

විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන ලොව බබළන කාලයේ දී බන්ධුමතී නුවර කුලවත් නිවසක දියණියක් ව උපන් එතුමිය කුඩා කල පටන් තිසරණය සමාදන් ව පන්සිල් රකිමින් ජීවත් වුණා. මරණින් මතු දෙව්ලොව උපන් ඇය නැවත මිනිස් ලොව සිටු පවුලක ඉපදුණා.

නිසි වයසට පත් වූ පසු ඒ මව්පියන් ඇයට බන්ධුමතී නුවර බන්ධුමතී රජුට සරණපාවා දුන්නා. ඉතා රූමත්, කීකරු , වැඩිහිටි ගෞරවය ඇති ඇය ඒ රජුටත්, ඥාති පරපුරටත් ගෞරවයෙන්, සෙනෙහසින් ජීවත් වුණා. දිනක් අය හුදකලාවේ සිටිද්දී මෙහෙම සිතුණා.

මම හැමදාම මෙහෙම ඉන්නේ නැහැනේ. කවදා හෝ රෝගි වෙනවා. වයසට යනවා. මරණයට පත් වෙනවා. මේ සියලු සැප සම්පත් අතහැර යන්න වෙන දවසක් එනවා. එදාට මට පරලොවට රැගෙන යන්නට මොනවාද තිබෙන්නේ? රැගෙන යාමට කිසිවක් මා සතුව නැහැනේ, ඇය සිතුවා. ඉන් පසු රජු වෙත ගොස්

“දේවයන් වහන්ස, අප ස්ත්‍රී නිසා හැමදාම අන් අයට වැඩපල කරමින් ජීවිතය ගෙවනවා. එනිසා පිනක් කර ගන්න තිබෙන අවස්ථාව අඩුයි. මට පිනක් කර ගැනීම සඳහා දිනපතා දන් පිදීමට භික්ෂූන් වහන්සේ නමක් මාලිගාවට වැඩමවා දෙනු මැන’යි ඉල්ලා සිටියා.

ඒ යෝජනාට එකඟ වූ රජු සන්සුන් ඉඳුරන් ඇති එක් භික්ෂූන් වහන්සේ නමක් මාලිගයට වඩමවා දුන්නා. ඇය උන්වහන්සේට ප්‍රණීත ව දානය සකසා බොහෝ වටිනා සළු යුගලයකින් පාත්‍රය වසා පූජා කළා. ඉන්පසු නිතිපතා ඇය දානය පූජා කරගෙන පින් කර ගත්තා. කාලයේ ඇවෑමෙන් ඇය මරණයට පත්වුණා. කළ පින නිසා මරණයට පත්වෙනවාත් සමඟ ම තව්තිසා දෙව්ලොව ඉපදී බොහෝ සැප වින්ඳා.

ගෞතම බුදු සසුන ලොව බබළන කාලයේ නැවත අය මිනිස් ලොව ඉපදුනා. ඛේමත ශාක්‍යයාගේ අග මෙහෙසිය කුස උපන් ඇය රූප සම්පත්තියෙන් සමන්විත වුණා. දැකුම්කළු යි. ඡවි වර්ණය උපුල්මලක් වගෙ යි. එනිසා රූපනන්දා යන නමින් ඇය ප්‍රසිද්ධ වුණා.

රූපනන්දා නිසි වයසේ දී ඒ මව්පියන් ඈ සුදුසු කුමාරයකුට විවාහ කර දීමට තීරණය කර එයට දින නියම කර ගත්තා. නමුත් එදින හදිසියේ ඇති වු රෝගි තත්ත්වයක් නිසා ඒ පුරුෂයා මිය ගියා. නන්දාට මහත් වූ ශෝකයක් හට ගත්තා. සිතේ මහත් වූ කණස්සල්ලක් එපාවීමක්, පාළුවක් හට ගත්තා. මව්පියන්ගෙන් අවසරය ගෙන අය ගෞතම බුදු සසුනේ පැවිදි වුණා.

පැවිදි වූවත් එතුමිය රූපයට ආශා කළා. බුදුරජාණන් වහන්සේ රූපයට නිගා කරනවා කියායි එතුමිය සිතුවේ. එනිසා කිසි දිනක බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියේ නැහැ.

බුදුරජාණන්වහන්සේ දුටුවා මේ භික්ෂුණියට රහත්වීමට පින තිබෙන බව. එනිසා මහ ප්‍රජාපතී ගෝතමියට භාග්‍යවතුන් වහන්සේ වදාළා “ඔවදන් දෙනු පිණිස ආරාමයේ සිටින භික්ෂුණීන් වහන්සේලා ජේතවනාරාමයට එන්න කියා. රූපනන්දා තෙරණිය තමාගේ වාරය දවසේ වෙනත් තෙරණින් වහන්සේ නමක් ඒ සඳහා වැඩම කරවා ඇය ආරාමයේ නැවතුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා තමාගේ වාරයට තමා ම පැමිණිය යුතු බව. එදින භාග්‍යවතුන් වහන්සේගේ වචනයට කීකරු වූ මේ භික්ෂුණිය ජේතවනාරාමයට වැඩියා. එදින බුදුරජාණන් වහන්සේ එක් අභිරූපිවත් ස්ත්‍රි රූපයක් මවා නැවත ඇය ජරා ජීර්ණය වන අයුරු පෙන්වා ඇයට සංවේගය උපදවා මෙසේ වදාළා.

නන්දා රෝගී වූ, අපවිත්‍ර වූ, කුණු වූ එකතු වු ශරීරය දෙස බලන්න. සිත එකඟ කරගෙන මේ කයේ අසුබ බව දකින්න .ජීවිතය නිමිති රහිත බව දැන ගැනීමට මනස යොදවන්න. මනස තුළ පවතින අනවශ්‍ය දේ බැහැර කරන්න. සන්සුන් වන්න.

අවවාද පිළිගත් ඈ කුටියට වැඩියා. පා සෝදා ගත්තා. පළඟක් බැඳ වැඩි වුණා. සත්වන රාත්‍රියේ දි සියලු කෙලෙස් නසා උතුම් අරහත්වයට පත් වුණා. එතුමිය උදානයක් ලෙස මෙසේ වදාළා.

සිවුරු, පිණ්ඩපාත, ගිලන්පස හා සෙනසුන් සීමා රහිත ව ලැබුණා. ඒ එකල පිදූ පිණ්ඩපාත දානයේ ඵල විපාක යි.

එයින් බොහෝ කලකට පෙර දෙනු ලැබූ එම දානයේ අනුසස් නිසා මෙතෙක් දුගතියේ නො ඉපදුනෙමි. ඒ මේ පිණ්ඩපාත දානයේ ඵල විපාක යි.

මහා ධනවත්, උසස් කුලවල පමණයි මම ඉපදුනේ, පහත් කුලයක ඉපදුනේ නැහැ. ඒ පිණ්ඩපාත දානයේ ඵල විපාක යි.

ඍද්ධිමත් දිව්‍ය ශ්‍රවණය පිරිසුදු කර ගත්තා. පෙර ආත්මවල විසූ පිළිවෙල මම දුටුවා. දිවැස් පිරිසුදු වුණා. සියලු ආශ්‍රවයන් සිඳ බිඳ දැමුවා.

මෙසේ මතු නැවත ඉපදීමත් නැහැ. අර්ථ, ධර්ම, නිරුත්ති ප්‍රතිභාන කෙරෙහි මහා වීර්ය, මගේ ඥානය පැතිරී ගියා. මම බුදුරජාණන් වහන්සේ ගේ අනුශාසනය පිළිපැද්දා. සසරින් නිදහස් වුණා.