Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප 15: දුටුගැමුණු රජතුමා රැගෙන යාමට දිව්‍ය රථ පැමිණෙයි

ලංකාවේ බෞද්ධ ස්තූප 15:

දුටුගැමුණු රජතුමා රැගෙන යාමට දිව්‍ය රථ පැමිණෙයි

දුටුගැමුණු මහ රජතුමා විසින් විහාරාරාම අනූ නවයක් කරවන ලදී. කහවණු දහනව කෝටියක වියදමින් මිරිසවැටි විහාරය කරවන ලදී. ලෝවාමහාපාය තිස්කෝටියක වියදමින් ගොඩනඟන ලදී. රුවන්වැලි මහා සෑය ගොඩනැඟීමේ වටිනාකම කියන්නට බැරි තරම් ය.

නුවණැති දුටුගැමුණු මහ රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ සිදු කරන ලද අනෙක් කටයුතු වෙනුවෙන් කහවණු දහස් කෝටියක් වියදම් කරන ලද්දේ යැයි, දුටුගැමුණු රජතුමාගේ ලියන්නා විසින් කියවන්නේ ය. එවිට රජතුමා මෙසේ කීවේ ය. “කොට්ඨ නම් කඳුරටේ දී, එනම් කොත්මලේ දී බුළු කන්ට තරම් වූ සාගතයේ දී මගේ මහාර්ඝ වූ කුණ්ඩලාභරණ දෙක විකුණා ලැබූ මුදලින් උතුම් රහතන් වහන්සේ පස් නමකට පහන් සිතින් යුක්තව තණහාල් ඇඹුල් කැඳකින් යුක්ත කොට මම පිණ්ඩපාතය පූජා කළෙමි.

තිස්ස කුමාරයා සමඟ මුලින් ම සිදු කළ චූළංගනී යුද්ධයේ දී පැරදී පළා ගොස් දානය සඳහා මහා සංඝයා වහන්සේට කල් දන්වා ආරාධනා කළ සේක. අහසින් වැඩියා වූ පුවඟු දිවයින් වැසි ඒ රහතන් වහන්සේ, තම ආහාරවේල නොගෙන ජීවිතය පවා අපේක්ෂා නොකොට රන් තැටියේ තිබූ බත මම පූජා කර ගත්තෙමි, යැයි රජතුමා පැවසී ය.

මිරිස වැටි විහාර පූජෝත්සව සතියේත්, ලෝවාමහා ප්‍රාසාදය කරවූ සතියේත්, මහ සෑයේ මුල්ගල තැබීමේ උත්සව සතියේත්, ධාතු නිධානෝත්සව සතියේත්, භික්ෂු, භික්ෂුණී උභය මහා සංඝයා වහන්සේට මම කිසිදු අඩුවකින් තොරව වටිනා මහ දානයක් පැවැත්වූයෙමි. වෙසක් මහා පූජෝත්සව විසි හතරක් සිදු කළෙමි. ලංකාද්වීපයේ ම වැඩ ඉන්නා සියලු මහා සංඝයා වහන්සේට තුන්වරක් තුන් සිවුරු පූජා කර ගත්තෙමි. ඒ වගේ ම මම මේ ලංකාද්වීපය දවස් හත ගණනේ පස් වාරයක් ඉතා සතුටු සිතින් බුද්ධ ශාසනයට පූජා කළෙමි.

ගිතෙලින් පොඟවා ගත් ඉතා පිරිසුදු පහන් වැටි යොදා දොළොස් ස්ථානයක අප තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහන් දහසක් දැල්වූයෙමි. දහඅට ස්ථානයක නිරතුරුව ම වෛද්‍යවරුන් යොදවා ගිලන් ආහාරත්, බෙහෙත් ආදියත් රෝගීනට ලබා දුන්නෙමි. ඒ වගේ ම හතළිස් හතර තැනක කිරිබත් සමඟ මී පැණි, ගිතෙල් ආදියත් එවැනි ම හතළිස් හතර ස්ථානයක දී බොහෝ තල යොදා කිරි හා ගිතෙල් මිශ්‍ර කොට සාදන කිරිබතක් පූජා කළෙමි. ගිතෙලින් බැද ගත් මහදැල් කැවුම් ද, ඒ ආකාරයෙන් ම ස්ථාන හතළිස් හතරක දී ලබා දුන්නෙමි. ඒ ආකාරයෙන් ම ස්ථාන හතළිස් හතරක නිරතුරු බත් ලබා දුන්නෙමි.

මාසයක් පාසා පොහෝ දිනවලට ලංකාද්වීපයේ ම අටමහා විහාරවලට බණ අසන්ටත්, පූජා පිණිසත්, පහන් වැටි හා තෙල් ලබා දුන්නෙමි. ආමිස දානයට වඩා මහත් ආනිසංස ලැබෙන්නේ ධර්ම දානයෙන් යැයි මට අසන්නට ලැබුණි. ලෝවාමහා ප්‍රාසාදයෙන් පහළ මාලයේ සංඝයා වහන්සේ මැද ආසනයක අසුන් ගත්තෙමි. උතුම් ධර්ම දානය දෙන්නට ඕනෑ යැයි, සංඝයා වහන්සේට මහා මංගල සූත්‍රයෙන් ධර්මය දේශනා කරනු පිණිස අසුන්ගත්තෙමි. මහා සංඝයා කෙරෙහි ඇති වූ ගෞරවය නිසා ධර්මය දේශනා කරන්නට නොහැකි විය.

සිත පිනා ගිය පූජාව

ඉන් අනතුරුව මා සිදු කළේ ලංකාද්වීපයේ ම ඇති ඒ ඒ විහාරවල ධර්ම දේශකයන් වහන්සේට සත්කාර සිදු කර ධර්මය දේශනා කරන්නට සැලැස්වීම ය. මම ධර්ම කථිකයන් වහන්සේට ගිතෙල්, සූකිරි නැලි ගණනින් පූජා කළෙමි. මිහිරි වැල්මී මිට ගණනේ පූජා කළෙමි. වස්ත්‍ර යුගලය බැගින් පූජා කළෙමි. මේ සෑම දානයක් ම සිදු කළේ ඉසුරු සම්පත් මත පිහිටාගෙන යි. ඒ නිසා, ඒ ගැන මගේ සිත පිනා යන්නේ නැත. ඉතා දුකට පත් වී සිටි අවස්ථාවේ දී මම ජීවිතය ගැනවත් අපේක්ෂාවක් නැතිව පූජා කරගත් දානමය කටයුතු දෙක ගැන සිහිවන විට මාගේ සිත පිනා යන්නේ ය. එය ඇසූ ථේරපුත්තාභය තෙරුන් වහන්සේ රජතුමා දුන් ඒ දාන දෙක ගැන ම රජතුමාගේ සිත පහදවන්නට ඕනෑ ය යන අදහසින් නොයෙක් අයුරින් ඒ දුෂ්කර අවස්ථාවේ දුන් දානය ගැන වර්ණනා කළ සේක.

ඒ දවස ඇඹුල් කැඳ සහ තණහාලේ බත් දානයට පිළිගත් තෙරුන් වහන්සේ පස්නම අතරින් මලියදේව මහ රහතන් වහන්සේ, සමන්කුල පව්වවාසී නවසියයක් භික්ෂූන් වහන්සේට ඒ දානය වැළඳවූහ. ඒ පිණ්ඩපාත දානය පිළිගත් සෘද්ධියෙන් මහපොළොව සොළොවන ධම්මගුත්ත රහතන් වහන්සේ කැලණි විහාරයේ පන්සියයක් භික්ෂූන් වහන්සේට බෙදා දී තමන් වහන්සේත් දන් වැළඳූහ. තලගුරු වෙහෙරවාසී ධම්මදින්න රහතන් වහන්සේ පුවඟු දිවයින් වැසි දොළොස් දහසක් පමණ භික්ෂූන් වහන්සේට දන් පිළිගන්වා ඒ පිණ්ඩපාත දානය තමන් වහන්සේත් වැළඳූහ. මංගණවිහාරවාසී මහා සෘද්ධිමත් ඛුද්දතිස්ස රහතන් වහන්සේ කෛලාස විහාරයේ වැඩ විසූ හැටදහසක් භික්ෂූන් වහන්සේට පිණ්ඩපාත දානය පිළිගන්වා තමන් වහන්සේ ද දානය වැළඳූහ. උක්කානුවර විහාරයේ මහාව්‍යග්ඝ රහතන් වහන්සේ සත් සියයක් භික්ෂූන් වහන්සේට පිණ්ඩපාත දානය පිළිගන්වා තමන් වහන්සේ ද දානය වැළඳූහ. රන් තැටියේ තිබූ දානය පිළිගත් පුවඟු දිවයින් වැසි කුටුම්බියතිස්ස රහතන් වහන්සේ දොළොස් දහසක් භික්ෂූන්ට එම දානය පිළිගන්වා තමන් වහන්සේ ද දානය වැළඳූහ.

රජතුමාගේ සතුට

මේ ආකාරයෙන් වදාළ අභය තෙරුන් වහන්සේ රජතුමාගේ සිත සතුටට පත් කළහ. එයින් සිත පහදවා ගත් රජතුමා තෙරුන් වහන්සේට මෙසේ පැවසීය. “මම අවුරුදු විසිහතරක් පුරාවට අපගේ මහා සංඝයා වහන්සේගේ ශාසනික ජීවිතයට උපකාර කළෙමි. මාගේ මේ කය පවා මහා සංඝයා වහන්සේට උපකාර පිණිස ම වේවා! මහා සෑය පෙනෙන ස්ථානයේ සංඝයා වහන්සේ ගේ පොහොය මළුවේ සංඝදාස වූ මේ මාගේ ශරීරය, නුඹ වහන්සේලා විසින් ආදාහනය කරන සේක්වා! එම අවස්ථාවේ දී ම තම සොහොයුරු තිස්ස කුමරුට මෙසේ කීවේ ය. “තිස්සයෙනි, අසම්පූර්ණ වූ මහා සෑයේ වැඩකටයුතු සම්පූර්ණ කරන්න අවශ්‍යයි. මේ සෑම දෙයක් ම හොඳාකාරයෙන් ම ඔබ සොයා බලා ඉටු කළ යුතුයි.

මහා සෑයට උදේ සවස මල් පූජා කරන්න. මහා සෑයට දවසට තුන් වරක් උපහාර පූජාවන් සලස්වන්න. මා විසින් බුද්ධ ශාසනයට පවත්වන ලද පූජාවක්, දානමානා දී වැටක් ඇද්ද, මළනුවනි, ඒ සියලු දන්වැට නොපිරිහෙලා පවත්වන්න අවශ්‍යයයි. “එලෙස ම තිස්ස කුමරුනි, සංඝයා වහන්සේගේ කටයුතුවල දී හැම කල්හි අප්‍රමාද විය යුතු ය”. යනුවෙන් අනුශාසනා සිදු කළ රජතුමා නිශ්ශබ්ද වූයේ ය. එකෙනෙහි ම භික්ෂු සංඝයා වහන්සේ සියලු දෙනා උතුම් වූ බුද්ධ දේශනා සජ්ඣායනා කරන්නට පටන්ගත්හ.

දෙව්ලොවට ආරාධනා

දේවතාවෝ දිව්‍ය ලෝක හයෙන් ම දිව රථ එවා තිබුණහ. ඒ ඒ රථයේ සිටි දෙවිවරු දුටුගැමුණු මහ රජතුමාට “මහ රජතුමනි, අපගේ දෙව්ලොව මනරම්, අපගේ දෙව්ලොවට එනුමැනව“ යැයි පවසන්නට විය. එවිට රජතුමා ඒ එකිනෙක දෙවිවරුන්ගේ වචන අසා “මම දැන් ධර්මය ශ්‍රවණය කරන්නෙමි. ඒ තාක් ඉවසන්නට යැයි අත ඔසොවා සංඥා කර වැළැක්වීය.

එම අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේ, සාමූහික සූත්‍ර සජ්ඣායනය රජතුමා වළක්වනවා යැයි සිතා නැවැත්වූහ. එවිට “ස්වාමීනි, සූත්‍ර සජ්ඣායනාව නැවැත්තුවේ ඇයි දැයි කියා රජතුමා විමසුවේ ය. “මහරජතුමනි, ඔබතුමා සජ්ඣායනාව නවත්වන්නට කියා අතින් සංඥාවක් කළා නේ ද? යැයි භික්ෂූන් වහන්සේ විමසූහ. එවිට මහ රජතුමා “නැත ස්වාමීන් වහන්ස, මා ඒ සංඥාව සිදු කළේ ඔබ වහන්සේලාට නොවේ. මා කැඳවාගෙන යන්නට පැමිණි දිව්‍ය රථවලටය. මම ඔවුන්ට ටිකක් ඉවසන්න යැයි සංඥා කළෙමි.

සැක දුරුවෙයි

එම වදන් ඇසූ රැස්ව සිටි මහජනයා අතර සිටි සමහරු රජතුමා මරණ බයෙන් භීතියට පත්ව නන්දොඩවනවා යැයි සිතූහ. ඒ අයගේ සැකය දුරුකරලීම පිණිස, ථේරපුත්තාභය තෙරුන් වහන්සේ රජතුමාට මෙසේ පැවසූහ. රජතුමනි, ඔබ වහන්සේ රැගෙන යෑමට පැමිණි දිව්‍ය රථයන් අන් අයටත් දැක ගන්නට සැලැස්විය හැක්කේ කෙසේ ද? නුවණැති දුටුගැමුණු රජතුමා අහසට මල්මාලා විසි කළේ ය. ඒ ඒ මල් මාලා වෙන් වෙන් ව ඒ ඒ දිව්‍ය රථවල එල්ලී සිටියේ ය. අහසේ එල්ලී තිබෙන මල් මාලා දුටු මහජනයා තමන්ගේ සැක දුරු කරගත්හ.

ඉන් අනතුරුව දුටුගැමුණු රජතුමා ථේරපුත්තාභය තෙරුන් වහන්සේගෙන් මෙසේ ඇසුවේ ය.

“ස්වාමීන් වහන්ස, කුමන දිව්‍ය ලෝකය ද වඩාත් මනරම්? මහ රජතුමනි, සත්පුරුෂයන්ගේ සම්මතය අනුව තුසිත දෙව්ලොවයි ඉතා මනරම්. බුදු බව ලබන්න කල් බලමින් වැඩ සිටිනා මහා ශ්‍රද්ධාවන්ත වූ මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේත් වැඩ සිටින්නේ තුසිත පුරවරයේ ය. ථේරපුත්තාභය තෙරුන් වහන්සේගේ වචන ඇසූ මහා නුවණැති මහරජතුමා මහාථූපය දෙස බලා වැතිරී සිටියදී ම දෑස පියා ගත්තේ ය.

මිනිස් ලොවෙන් චුත වූ සැනින් තුසිත දෙව්ලොවෙන් පැමිණි දිව්‍ය රථයෙහි ඕපපාතික ව දෙව්රජෙ ක් ව උපන්නේ ය. දිව්‍ය වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ දිව්‍ය ශරීරයෙන් පෙනී සිටියේ ය. තමන් විසින් කරන ලද පුණ්‍යකර්මයන් හි යහපත් සැප විපාක සැමට පෙන්වා දෙන්නට අවශ්‍ය නිසා මහජනයාට තමන් ප්‍රකට ව පෙනෙන්නට සැලැස්සුවීය. දිව්‍ය රථයේ සිටියදී ම රුවන්වැලි මහා සෑය තුන්වරක් පැදකුණු කර මහාසෑයටත්, මහා සංඝයා වහන්සේටත් වන්දනා කර තුසිත දෙව්ලොව ගියේ ය.