[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වරාජ්‍ය පාලනය

ස්වරාජ්‍ය පාලනය

අත්තදීපා භික්ඛවෙ විහරථ අත්තසරණා අනඤ්ඤසරණා ධම්මදීපා භික්ඛවෙ විහරථ ධම්මසරණා අනඤ්ඤ සරණාති

"ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සම්බුද්ධ ශාසනයේත්, සිංහල ජාතියේත්, භාෂාවේත් පුනරුදය හා උන්නතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ වීරවරයෙකි. මෙවන් දෑ හිතකාමී, උදාර චරිත පිළිබඳ ව නිරන්තරයෙන් කියැවීමත්, අපගේ ළමා පරපුර මනාකොට දැනුම්වත් කිරීමත් වැඩිහිටියන්ගේ වගකීමක් ව තිබේ. ඒ, අප රටෙහි බස - රැස - දෙස - සසුන සුරකින ධර්මපාල පරපුරක් ගොඩනඟා ගනු පිණිස ය. අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් විසින් ලියන ලද ‘දැන ගත යුතු කරුණු’ නම් ලිපි මාලාවෙන් උපුටා ගත් මෙම ලිපිය ධර්මපාල චින්තනයෙන් බිඳක් හඳුන්වා දෙනු පිණිස ඉදිරිපත් කෙරේ."

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් වදාරණ ලද පරිශුද්ධ නිර්මල ධර්මයේ අන්දමට යම් පුද්ගලයකු එය පිළිපදී ද ඔහුට ඉහාත්ම භවයේ දී ම එහි ඵල ක්ෂාත් කිරීමට පුළුවන් වන්නේ ය. ප්‍රථම කොට මේ ධර්මය ඉගෙන ගත යුතු යි. ධර්මය ඉගෙන ගැනීමට සත්පුරුෂ ධර්මය දැනගත් ස්ථවිර භික්ෂූන් වහන්සේලා සේවනය කටයුතු යි.

යටත් පිරිසෙයින් එක නිකායක පමණ වත් ධර්මය දැනගත යුතු යි. දීඝ, මජ්ක්‍ධිම, සංයුක්ත, අංගුත්තර, ඛුද්දක යැයි නිකාය පසක් තිබෙ යි. එක නිකායක් පමණ වත් භාවිත කිරීමෙන් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදින්නේ ය. ධර්මය ඇසීමෙන්, ධර්ම ග්‍රන්ථ භාවිත කිරීමෙන් ධර්ම ඥානය ඇති වේ. ඒ හේතුවෙන් පරවාදීන් ගේ තුච්ඡ භාවය ප්‍රත්‍යක්ෂ වන්නේ ය. මෙ පමණක් ද නො ව පඤ්චසීලයෙහි පිහිටා දස අකුසලයෙන් වෙන් වී ආත්මාර්ථ, පරාර්ථ යන උභයාර්ථය පිණිස දිනෙන් දින ම වීර්යය කටයුතු යි.

ශිල්ප කර්මාන්ත ඉගෙන ගැනීමට දැඩි වීර්ය කටයුතු යි. දැනට ලංකාවේ දිසාපාමොක් ආචාර්යවරු ද, ශිල්පශාලා ද නැත. ඒ නිසා ශිල්පශාලා තිබෙන රටවලට පැමිණ ශිල්ප කර්මාන්ත ඉගෙනගත යුතු යි. ශිල්ප කර්මාන්ත විද්‍යා දත් ජාතීන් ගේ වර්ධනය අපට පෙනෙන්නට තිබේ.

වර්ෂ 1870 දී ජපන් ජාතිකයන් ගැන යුරෝපීය ජාතිය ක සිත් දැන ගෙන නොසිටියේ ය. ඒ වර්ෂයේ දී කුලීන ජපන් මහතුන් හැත්තෑ දෙනෙක් පමණ දේශ සංචාරණය පිණිස ජපන් රටින් පිටත් ව අමෙරිකාව, එංගලන්තය, ප්‍රංසය, ජර්මනිය, ඔස්ත්‍රියාව, රුසියාව යන රටවල් බලා ඒ රටවල සිටින මනුෂ්‍ය ජාතීන් ගේ සීලාචාර ධර්ම ශිල්ප විද්‍යාදිය පවතින හැටි විභාග කර බලා ජපන් රටට සම්ප්‍රාප්ත ව මේ මේ හැටි කටයුතු යයි යෝජනා කොට යුරෝපීය ශාස්ත්‍ර ශිල්ප බාල පරම්පරාවට ඉගැන්වීමට ආරම්භ කළෝ ය. වර්ෂයක් පාසා ජපන් ශිෂ්‍යයන් පනහ – හැට බැගින් යුරෝපීය රටවලට යැවූ හ. මේ ශිෂ්‍ය සමූහයා නානා ශිල්ප කර්මාන්ත දැනගෙන ජාත භූමියට පැමිණ ස්වජාතිකයන් දියුණු කිරීම ආරම්භ කළෝ ය. යුරෝපීය කර්මාන්ත ශාලාවල සාදන ද්‍රව්‍ය සෑදීමට ජපන්වරු පටන් ගත්තෝ ය.

වර්ෂයක් පාසා අප රටින් පිටරටට ස්වකීය ධනය යවනු ලැබීම ස්වජාතිකයන්ට අලාභයකි. රට ද දිළිඳු වීමට හේතු වන්නේ ය. රට වාසීන් ශිල්ප කර්මාන්ත නො දැන තමන්ට ඕනෑ කරන දුව්‍ය පිට රටවලින් ගෙන්වා ගැනීම තමන් දිළිඳු වීමට හේතු වන්නේ ය. යුරෝපීය රට වාසීන් විසින් තමන්ට ඕනෑ කරන සියලු ද්‍රව්‍ය ස්වකීය රටේ සාදා ගෙන තමනුත් ප්‍රයෝජන ගෙන, වැඩි ද්‍රව්‍ය පිට රටවලට තමන් ගේ නැව් යාත්‍රාවලින් ගෙන ගොස් විකුණා ධන එකතු කරගනු ලබන්නේ ය. රටක් ජාතියක් දියුණු කර ගැනීමට මාර්ග අනන්ත යි.

පරාර්ථය පිණිස හිතැති සත්පුරුෂයන් ඇතිවීම

මෙය වනාහි ශාස්ත්‍ර ශිල්ප ඉගැන්වීමට ශිල්පශාලා පිහිටුවා ගැනීමට රටට ජාතියට ආගමට ආදරය, භක්තිය, ශ්‍රද්ධාව ඇති කර ගැනීමට, විමුක්ති සැපයට හිත යෙදවීමට, විමුක්ති ඥානය ලබා ගැනීමට හේතු වේ. අනුකම්පා සිත් ඇති, ජනහිතකාරී උතුමන් ඇති වීම රට වාසීන්ට ක්ෂාන්තිදායක යි.

ජපන් රටේ දූ දරුවන් ඇති දෙමවුපියෝ ස්වකීය දූ දරුවන් දේව පුත්‍රයන් මෙන් සලකා බාල කාලයේ පටන් ගරු සත්කාර පෙන්නමින්, ශිල්ප ශාස්ත්‍ර විද්‍යා ඒ දෙ කොටසට ම උගන්වති. එසේ ඉගෙන ගත් දූ දරුවෝ දෙමවුපියන් කෙරෙහි මහත් ප්‍රේමයක් පෙන්වමින් ඔවුන් වයසට පැමිණි කල සියලු ගරු සත්කාරාදිය කරති. චීන රටේ ද මෙ සේ ම දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ධර්ම නීති බාල කාලයේ පටන් ම උගන්වනු ලැබේ. දඹදිව ද යුරෝපීය රටවල ද එසේ ම යි. ලංකාවේ මරක්කල, ජා, දෙමළ, පාර්සි ජාතීන් අතර ද මේ ධර්මය පවතී. කිසි කුලචාර ධර්මයක් වත්, ශිල්පයක් ව ත්, පිළිවෙතක් ව ත් නැති සිංහල බුද්ධාගම්කාරයා පමණක් ගුරු ආශ්‍රයක් නැති ව, ආදර්ශයක් නැති ව ශිල්ප කර්මාන්තයක් නො දැන, කුල පරම්පරා ධර්මයක් නැති ව, අහසින් වැටුණු සතකු මෙන් අන්‍ය ජාතීන් කරන කියන දේ කරමින් ශුථභක්ඛ සංඛ්‍යාවට අයිති ග්‍රාම සූකරයන් මෙන් යුරෝපීය කාම සැපයට පමණක් ආශාවෙන් අත තිබෙන ධනය අනර්ථදායක අන්දමට වියදම් කොට දෙලොවට ම ප්‍රයෝජන නැති ව තිරිසනකු මෙන් මැරී යන්නේ ය. ක්‍රිස්තියානි ගුරුවරුන් යටතේ ඉගෙන ගනු ලබන සිංහල දරුවන් වැඩිවිය පැමුණුනා ම යුරෝපීය චාරිත්‍ර භාති කරනු ලැබේ. විකාර හැඩ ඇති ගවුම්, සාය, බටකොළ තොප්පි, අඟල් දෙකක් උස අඩි ඇති සපත්තු, ඉන කුඩා කිරීමට සාදා තිබෙන බොස්ත්‍රෙක්ක, පිදුරු තොප්පි, ටයි, කොලර්, කෝට්, කලිසම් අඳින පූර්වදිග සිංහල මෝඩ යන් හැර වෙන ජාතියක් නම් ඇත්තේ ම නැත. වාල්කමෙන් හැදෙන කාබේරි ජාතිය පමණක් සිංහලයන් මෙන් යුරෝපීය නම් ගම් චාරිත්‍රාදිය ගනියි.

දවසින් දවස සිංහල බෞද්ධ කොටස පහළ යන්නේ මන්ද? සංස්කෘත භාෂාව ටිකක් ඉගෙන ගත් පමණින් පණ්ඩිතයෙක් වේ ද? ජාතකයකින් බණ ටිකක් ඇහූ පමණින් බහුශ්‍රැත වේ ද? දැනට සිංහල අඤාණයන් විසින් කරනු ලබන ක්‍රියා, ළදරුවන් කරන ක්‍රියා මෙනි. දාස කර්මයෙහි යෙදී සිට කරන්නේ සූදු කෙළීම, මත්පැන් පානය, හොර හරක් මැරීම, හැර වෙන කුමක් ද? මෙ රටට ගෙනෙන ද්‍රව්‍ය ගැන කල්පනා කිරීම යුතු යි. රෙදිපිළි, පිඟන්, කෝප්ප, කර්දාසි, තීන්ත, පෑන්, ඔර්ලෝසු, ලාම්පු, පැදුරු, ලී බඩු යනාදි සියල්ලක් ම පිටරටින් ගෙනෙනු ලැබේ. අපේ ලංකාවේ ධනවතුන් පමණ අඥාන කොටසක් මුළු ලොව ම නැත. ධනවත් ව සිටින අය කෙසේ ධන සම්පාදනය කරගෙන තිබේ ද? අන්‍ය රටවල ධනවත්හු පිටරට ගොස් වෙළෙදාම් කොට ධන රැස් කරගනිති. තවත් සමහරෙක් කර්මාන්ත ශාලා පිහිටුවා නානා ද්‍රව්‍ය සාදා ඒවා විකුට ධන රැස් කර ගනිති. තවත් සමහරෙක් ආහාර පාන, ප්‍රණීත භෝජන සාදා විකුට ධන රැස්කර ගනිති. තවත් සමහරෙක් ප්‍රඥාව මුල්කරගෙන ආශ්චර්යය අද්භූත යන්ත්‍ර සාදා ධන රැස්කර ගනිති. ඇතැම් සිංහල ධනවත්හු මේ කිසිත් නො කොට මිථ්‍යාජීවයෙන් හරක් මරවා, මසුන් මරවා, මත්පැන් සාදවා, මත්පැන් පානය කිරීමට සුරාශාලා පිහිටුවා ධන රැස් ගනිති. ඇතැම් සිංහල ධනවත්හු මිහිරන් පතලයක් ගෙන දුප්පත් අඥාන සිංහලයන් ටික දෙනකුට රක්ෂාව දී මිහිරන් කඩවාගෙන එය විකුට ධන රැස් කර ගනිති. දරිද්‍ර සිංහලයාට හිංසා කොට ල ංකා භූමියෙන් සපයන ධනයෙන්වත් සිංහලයාට කරන යහපත කුමක් ද? යුරෝපීයයන්ගේ චාරිත්‍රානුකූල ව වෙස් පෙරළාගෙන යුරෝපීයයන් ගේ ඇඳුම් ඇඳ – පැලඳ අත තිබෙන ධනය වියදම් කොට කරන්නේ කාමසුඛල්ලිකානුයෝගී ව කාලය ගත කිරීම පමණයි. අනාථ දරුවන්ට ඉගැන්වීම්, ශිල්පශාලා පිහිටුවීම, කුලධර්ම පාලනය කිරීම, පිටරටවලට ගොස් මෙරටවාසීන් ගේ දියුණුවට ක්‍රියා කිරීම, ජාතිය දියුණු කිරීම, ස්වකීය ආගම ලොව පැතිරවීම, පරාර්ථය සඳහා කටයුතු කිරීම යන මේ දේ කරන සිංහලයන් පස් දෙනකු පමණවත් සමඟියෙන් ක්‍රියා කරන බව දකින්නට තිබේ ද? දස අකුසල් කරන මනුෂ්‍යයකු කිසි කලක මෙලොව සැප විඳින්නේ නැත. සිංහල ධනවතුන්ට පරම්පරාගත වස්තුවකුත් නැත. දුකින් කල් ගත කළ මනුෂ්‍යන්ට ධන සම්පත් ලැබුණා ම ගද්‍රභයන් මෙන් ක්‍රියා කිරීම ස්වභාවයකි. ලොවට ප්‍රයෝජන වන ශාස්ත්‍ර, ශිල්ප, ධර්ම, ආචාර, ව ත්-පිළිවෙත් සිංහලයන්ට ඉගැන්වීමට සිංහල ආචාර්යවරු ද නැත. ධනවතා ගේ ධනය මෝටර් රථවලට, ඉංග්‍රීසි ඇඳුම්වලට, ඉංග්‍රීසි කෑමට, ඉංග්‍රීසි ක්‍රීඩාවට වියදම් කරයි. විසිතුන් ලක්ෂයක් පමණ සිටින සිංහලයන් එකතු කරගෙන වැඩ කිරීමට දැන් කාලය යි. භික්ෂූන් හත් – අට නමක් විසින් ශාස්ත්‍රශාලා පිහිටුවාගෙන ටික දෙනකුට වෛද්‍ය ශාස්ත්‍ර ඡ්‍යොතිශ්ශාස්ත්‍ර, කාව්‍ය ශාස්ත්‍ර උගන්වනු ලැබේ.

සිංහල සහෝදරයනි! අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදර්ශ කරගෙන සියලු දෙනා ම සමඟිකමින්, මෛත්‍රියෙන්, ඒකීය භාවයෙන්, සමාදානයෙන්, ඉවසීමෙන්, අන්‍යොන්‍ය කරුණාවෙන්, දස අකුසල කර්මයෙන් වෙන් ව දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්යය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන දස පාරමී ධර්මයන් පුරමින් බෝධිසත්ත්ව චර්යාවෙහි ගමන් කිරිමට ආරම්භ කරත් වා. මෙ සේ දස වර්ෂයක් ලොකු කුඩා, ගිහි පැවිදි දෙ කොටස ම කල් යැවුවොත් අපට ස්වරාජ්‍ය ධර්මයේ සැප අනුභව කිරීමට ඒකාන්තයෙන් ම ශක්තිය ලැබෙනවා ඇත.

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]