Print this Article


නුවණින් විමසිය යුතු උපාසක ලක්ෂණ

නුවණින් විමසිය යුතු උපාසක ලක්ෂණ

" සිත කය වචනය නිවැරදි කරගෙන කටයුතු කරන ඕනෑම මොහොතක් යම් කාර්යයක් ආරම්භ කිරීමට සුදුසුම නැකත බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වේ."

සද්ධාව අමූලිකා ශ්‍රද්ධාව හා ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙන් දෙයාකාර වේ. විචාරයකින් හෝ අවබෝධයකින් තොරව, ඇති කර ගන්නා විශ්වාසය, ඇදහීම, භක්තිය අමූලිකා සද්ධාව නමින් හඳුන්වයි. බුද්ධිමත් ව කරුණු නොසලකා ඇති කර ගන්නා අමූලිකා ශ්‍රද්ධාව බුදුසමයේ දී ප්‍රතික්‍ෂේප වෙයි.

මජ්ක්‍ධිම නිකායේ විමංසක සූත්‍රයට අනුව ආකාරවතී සද්ධාව විචාර පූර්වක ව ඇතිකර ගත යුත්තක් බව පැහැදිලි වෙයි. එහි දැක්වෙන පරිදි “යම් පුද්ගලයකු භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ යැයි ද, ධර්මය මැනවින් ප්‍රකාශිත යැයි ද, සංඝයා නිවැරැදි මඟට ප්‍රවිශ්ට වී ඇතැයි ද ස්ථිර වශයෙන් පිළි ගැනීමට හේතු සහගත ව පැමිණේ නම් එය ආකාරවතී සද්ධාව යි. බුදුසමය ආකාරවතී සද්ධාව ම උතුම් කොට සලකයි.මෙය ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති කර ගන්නා

“අවෙච්චප්පසාදය” නමින් ද හඳුන්වයි’

ආකාරවතී ශ්‍රද්ධාවෙහි අඩුපාඩු තමන් තුළ වේ නම් එය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය ත්‍රිවිධ රත්නය කෙරෙහි පවතින ගුණ මෙනෙහි කිරීම් ආදී කළ යුතු දේ සිදු කරමින්, නැවත එම ශ්‍රද්ධාව උපදින්නේ දැයි බලමින්, නැවත එම් කරුණු මෙනෙහි කරමින් නැවත එම ශ්‍රද්ධාව උපදින්නේ දැයි බලමින් නුවණින් යුක්ත ව ප්‍රත්‍යවේක්ෂා කරමින් කටයුතු කරන්නාට අවසානයේ දී ආකාරවතී ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමට හැකි වේ.

අප තුළ නිවැරැදි ශ්‍රද්ධාව ඇති දැයි ප්‍රායෝගික ව පරික්ෂා කර ගැනීමට තෙරුවන් සරණ යන ආකාරය පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් හැකි වේ. අපි පළමුව ද, දෙවනුව ද, තෙවනුව ද තෙරුවන් සරණ යන බව නිබඳ ව පාලි පාඨ භාවිත කරමින් ප්‍රකාශ කරන්නෙමු. එසේ සරණාගමණය ඇතිවුයේ නම්, එහි තේරුම ත්‍රිවිධ රත්නයෙන් අන්‍ය වූ වෙනත් සරණක් නොමැති බවයි. එනම් වෙනත් ආකාරයක පිළිසරණක්, වෙනත් ආකාරයක පිහිටක් අපේ ජීවිත වලට නැති බව දැනෙන චේතනාවක් අප සන්තාන තුළ ඇති විය යුතුයි . මේ බඳු හැඟීමක් ඇති වන්නට නම් අනෙකුත් සියලු පිහිට පැතිය හැකි ක්‍රමවේද අපේ සිත තුළින් ප්‍රතික්ෂේප විය යුතුව ඇත.

සැබැවින් ම පංච උපාදානස්කන්ධයන් යනු අපට පිහිටක් පිළිසරණක්, බලාපොරොත්තු විය නොහැකි ස්වභාව ධර්මයේ ම ක්‍රියාකාරිත්වයන් වේ. එවැනි ක්‍රියාකාරකම් වලින් සමන්නාගත වූ ලෝකයේ ඇති ජීවී අජීවී වස්තුවලින් සත්ත්වයාට නිසි පිහිටක් සරණක් ලබාගත නො හැක්කේ එ්වා නිබඳව වෙනසට බඳුන් වෙමින් පවතින නිසාවෙනි. ත්‍රිලක්‍ෂණය අත නොහරින නිසාවෙනි.

පංච උපාදානස්කන්ධයෙන් අතමිදීම නම් වූ ලෝකෝත්තර මාර්ගය උපදවා ගැනීමෙන් හැරෙන්නට ජීවිතයට සැනසීමක් ළඟා කරගත හැකි වෙනත් මගක් නැති බව වැටහීමෙන් ම ධර්මය පිළිබඳ සද්ධාව ඇති වෙන බව ඉතා පැහැදිලි ය.

එවැනි හැඟිීමක් ඇතිවීම තුළින් ම මෙම ධර්මය තනි ව අවබෝධ කර ගැනීමට කල්ප ලක්ෂ ගණනක් තිස්සේ බෝධි සත්වයන් වහන්සේ ලෙස පෙරුම් දම් පුරණ ලද බුදුරජාණන් වහන්සේ ගැනත් මේ ධර්මය තුළ පිරිසිදුව පරිපූර්ණ ව පිළිවෙත් පුරණය කරන්නට පිළිපන් මහා සංඝ රත්නය ගැනත් අධික ශ්‍රද්ධාවක් අවබෝධාත්මක ව පුද්ගලයින් තුළ ඇති වේ. පුද්ගලයකුට නියම බෞද්ධ උපාසකයකු බවට පත්වන්නට හැකි වන්නේ මෙවැනි ශ්‍රද්ධාවක් තමන් තුළ ඇති වීමෙනි.

එසේ නිවැරදි පුද්ගලයකු තුළ මාර්ගය පිළිබඳ ව ඇති අවබෝධාත්මක ශ්‍රද්ධාව නිසා ම උපාසකයකු තුළ තිබිය යුතු දෙවැනි උපාසක ලක්ෂණය වන සිල් ඇත්තකු බවට පත්වීම සිදුවේ. එවැනි උපාසකයකු රකින සීලය දුක් නැති කිරීම, නැති නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉපදවීම සඳහා ම වන බැවින් ඥාන සම්ප්‍රයුක්ත භාවයෙන් ද යුක්ත වෙයි. ඛන්ඩණය වෙන හැම වාරෙක ම නැවත සමාදන් වීමක් සිදු කෙරෙන අතර, දිනෙන් දින සීලයෙන් පිරිසුදු වීමේ වර්ධනයක් ඇතිකර ගනී. කෙටි කාලයකින්ම ආයාසයෙන් රකින සීලය නිරායාසයෙන් රකින්නට හැකි තත්වයකට පත්වේ. සීලය රැකීම නිසා වරදින් මිදෙන සිත තුළ ප්‍රමෝදය ඇතිවේ. ප්‍රමෝදය යනු ප්‍රීතියේ මූලික අවස්ථාව යි. ධර්මාවබෝධයට හේතුවන බෝධි අංගයක් වන පස්සද්ධිය ඇතිවන්නට මෙම ප්‍රමෝදය ප්‍රබල හේතුවකි. මෙසේ ඤාණ සම්ප්‍රයුක්ත ව සීලය ආරක්ෂා කර, කැඩෙන කැඩෙන හැම වාරයක දීම නැවත සමාදන් වෙන සමාධියට ම හේතු වෙන සීලයකින් පින්වන්ත ඔබ සමන්විත දැයි උපාසකයෙකු උපාසිකාවක ලෙස නිබඳ ව ප්‍රත්‍යවේක්ෂා කළ යුතු වේි. සැබෑ උපාසකයකු හෝ උපාසිකාවක බවට පත් විය හැක්කේ ඒ ආකාරයට යි.

ධර්මයෙන් පෝෂණය වෙන සැදැහැති උපාසක තෙමේ අසන දකින දේ වලින් සුබ අසුබ සිද්ධි වේ යැයි නො ගන්නා බව උපාසකයකු තුළ ඇති තෙවැනි උපාසක ලක්‍ෂණය යි. එබැවින් සමාජයේ ඇති මිථ්‍යා විශ්වාස, හූනන් ශබ්ද කිරීම, සුනඛයන් කණපොට ගැසීම වැනි අහඹු සිදුවීම් සුභාසුභ වශයෙන් ගැනීම බෞද්ධ උපාසකයකුට තරම් නොවේ. එය නිවැරැදි උපාසක බව දුර්වලවීමට හේතුවක් වේ. මෙවැනි නොයෙකුත් සිද්ධි සුබ, අසුබ වශයෙන් ගන්නා වූ ස්වභාවය බොහෝ බෞද්ධයන් තුළ තිබෙන බව නො රහසකි. නැකත් ශාස්ත්‍ර පිළිගැනීම, රාහු කාලය විශ්වාස කිරීම, අපල උපද්‍රව සඳහා සාන්තිකර්ම සිද්ධ කිරීම, ඒවා විශ්වාස කිරීම, ග්‍රහ පූජා සිදුකිරීම, වැනි කිසිදු පදනමක් නැති අන්ධ විශ්වාසය මත ගොඩනැඟුණු මෙවැනි බොහෝ මිථ්‍යා අදහස් ඇති පුද්ගලයන් නිවැරදි උපාසක උපාසිකාවන් බවට පත් නොවේ.

කොතුහල මංගල්‍ය නම් මෙවැනි අහඹු සිද්ධීන් සුබ අසුබ වශයෙන් ගෙන පිළිගැනීම් නො කරන බවත් , නිබඳව කර්මය ම විශ්වාස කරන බවත් මීළඟ උපාසක ලක්ෂණය වේ. තමන් කරන හා කළ, කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම හේතුවෙන් තමන්ට හොඳ නරක ලැබෙන බව දන්නා බැවින් ධාර්මික ජීවිතයක් ගත කරන ස්වභාවය නිවැරදි උපාසක උපාසිකාවන්ගේ ලක්ෂණය යි. කෙනකු මිය පරලොව ගිය පසු නැකත් බැලීම දරුවන්ගේ සුබ කටයුතු සඳහා නැකත් බැලීම ආදී කටයුතු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම සිදු කරන්නට මෙවැනි උපාසක උපාසිකාවන් පෙළඹේ. සිත කය වචනය නිවැරදි කරගෙන කටයුතු කරන ඕනෑම මොහොතක් කාර්යයක් ආරම්භ කිරීමට සුදුසුම නැකත බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වේ. සෑම කටයුත්තක දී ම බෞද්ධ ධර්මයට අනුව, කටයුතු කරනු විනා වෙනත් ක්‍රමවේද භාවිත කිරීම බෞද්ධ උපාසක උපාසිකාවන්ට නො ගැළපෙන්නක් මෙන් ම, බුදුරජාණන් වහන්සේට ද සිදු කරන නිග්‍රහයකි.

බුදු සස්නෙන් පිටත පිනට දීමට සුදුස්සන් නො සොයයි. පළමු කොට ශාසනයට ම දෙයි. යන උපාසක ලක්ෂණ. නිවැරැදි ශ්‍රද්ධාවක් තිබෙන පුද්ගලයකු තුළ විද්‍යමාන වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජීවිතයට කිසිදු පිළිසරණක් නොමැති බව ද, ස්ථිර සැනසීමක් නො මැති බව ද, දැන ගත් අතීතයේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන සිදු කළ සියලුම දේ නැති වෙන බවත්, විනාශ වන බවත්, නැවත නැවත සකස් කළ යුතු බවත්, සකස් කළ දේ රැකිය යුතු බවත්, එහි නිමාවක් නොමැති බවත්, තේරුම් ගත් බෞද්ධ උපාසක තෙමේ නිවැරැදි සැනසීමේ මාර්ගයක් ඇති බුද්ධ සාසන කෙරෙහිම ශ්‍රද්ධාව උපදවා ගෙන, ඒ තුළ ම දන් දීම් ආදීයට ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා සෙවීම් අරුමයක් නො වන බව වටහා ගත හැක. එය ඇතුළාන්ත හැඟීමකින් සිදු වන්නකි.

මෙම උපාසක ලක්ෂණයන් පිළිබඳ ව නුවණින් විමසා බලා, තමන් තුළ ඒ ලක්ෂණ තිබේදැයි ප්‍රත්‍යවේක්ෂා කොට, එසේ නොමැති නම් ඉක්මනින් ම එම ලක්ෂණයන්ගෙන් යුක්ත මනසිකාරයක් සකසා ගැනීමට කටයුතු කිරීම සංසාරික විමුක්තිය ලබා ගැනීමට හේතුවන බව මතක තබාගත යුතු ය.