[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිසදිටු දහමෙන් සැමියා මුදාගත් ධනඤ්ජානි බැමිණිය

මිසදිටු දහමෙන් සැමියා මුදාගත් ධනඤ්ජානි බැමිණිය

මිනිසුන් තමන්ට අයත් විශාල ඉඩම් පවා සොර සතුරන්ගෙන් බේරා ගැනීමට වැට බැඳ ආරක්ෂා කරනවා. ඇඟිලි දෙකකින් වසා ගන්න පුළුවන් නුඹගේ කට හෙට බමුණන් දානය වළඳන වෙලාටවත් වසා ගත නොහැකි ඇයි?

අප භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වැඩසිටි කාලයේ ඒ ගමෙහි භාරද්වාජ ගෝත්‍රයට අයත් බමුණෙක් සහ ඔහුගේ බිරිය වන ධනඤ්ජානි නම් බැමිණිය ජීවත් වුණා. උසස් බ්‍රාහ්මණ ගෝත්‍රයකට අයත් ඔවුන් මහාබ්‍රහ්මයා සරණ ගොස් සිටි අය යි.

”බ්‍රාහ්මණයෝ මහ බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නාය” කියා ඒ බමුණා පිළිගත්තා. ඒ වගේම ඔහුගේ විශ්වාසයත් එය වුණා.

එහෙත් ධනඤ්ජානි බැමිණිය තථාගතයන් වහන්සේ ගේ ධර්මය අසා සෝවන් ඵලයට පැමිණ සිටි කාන්තාවක්. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ නොසෙල්වෙන පරිදි පැහැදුණු ඇය නිතරම බුදුගුණ සිහි කරන්නට පුරුදුව සිටියා.

විපතේ දී තමන්ගේ පිහිට කොට සලකන දේවතාවන් සිහි කිරීමත්, ඔවුුන්ට නමස්කාර කිරීමත් මේ බ්‍රාහ්මණයන්ගේ සිරිතක්. නමුත් බුද්ධ ශ්‍රාවිකාවක් වූ භාරද්වා ජබමුණාගේ බිරිය ධනඤ්ජානි විපතේ දී සිහි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ යි. ඇගේ පය යමක හැපුණත්, වේදනාවක් ඇති වුණත් ඇය බුදුරදුන් සිහි කළා. ඒ වගේම ඇය බුදුරජාණන් වහන්සේ වැඩසිටි වේළුවන විහාරය දෙසට හැරී ඇඳිලි බැඳ “නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යැයි තෙවරක් කියා සිටිනවා. එය ඇසෙන වාරයක් පාසා භාරද්වාජ බමුණා කිපෙනවා.

”මැය කොහිවත් සිටින මුඬු මහණුන් සිහි කරමින් නිතරම වන්දනා කරනවා” යැයි කෝපයෙන් කෑ ගසනවා. භාරද්වාජ බමුණා “බුද්ධ” යන වචනය පවා අසන්නට කැමැති නැහැ. ඔහු එතරම් ම මිසදිටු දහමේ සමාදන් ව සිටියා.

ඔහු විටින් විට තම නිවසට බමුණන් ගෙන්වා දන් පිරිනැමුවා. බැමිණිය ද විටින් විට බුදුපාමොක් මහ සඟ රුවන සිය නිවසට වැඩම කරවා දන් පිදුවා. බැමිණිය තථාගතයන් වහන්සේගේ ධර්මය අසා මසුරුමළ දුරුකළ කාන්තාවක්. කාට වුවත් දීම යහපත් බව ඇය දන්නවා. එනිසා සැමියා බමුණන්ට දන්දෙන දිනවලදී ඇය සියතින් ම ඔවුුනට සංග්‍රහ කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දන් දෙනු බලා සිටීමටවත් තරම් හික්මීමක් නැති බමුණා, බැමිණිය දන් දීමට සැරසෙන දිනවල බමුණා උදයෙන් ම නිවසින් පිටතට යනවා.

දිනක් බමුණා දන්දීම සඳහා බමුණන් පන්සියයකට ආරාධනා කොට බැමිණියට කියනවා

”සොඳුර, හෙට මේ නිවසට පන්සියයක් බමුණන් එනවා. නුඹ වෙනදා මෙන් හෙටත් අර මුඬු මහණාට නමස්කාර කළහොත් ඔබගේ ඒ හැසිරීම දන්නා බමුණෝ මිසදුටු නිවසකට අප කැඳවාගෙන ආවේ ඇයි කියා මට දොස් කියයි. දන් පිළි නො ගෙනම ආපසු යාවි. එනිසා බ්‍රාහ්මණයන් හා මා අතර විරසකයක් ඇති කරන්නට එපා. ඔබ කරන ඔය නමස්කාරය එදාටවත් නවතා ගන්නයි” බැමිණියට කිව්වා.

”ස්වාමිනි, ඔබ බ්‍රහ්මණයන් හා බිඳුණත්, දෙවියන් හා බිඳුණත් මටනම් ඒ භාග්‍යවතුන් වහන්සේ සිහි වුවහොත් උන්වහන්සේ ට නමස්කාර නො කොට සිටිය නො හැකියි” බැමිණිය කීවා.

”මිනිසුන් තමන්ට අයත් විශාල ඉඩම් පවා සොර සතුරන්ගෙන් බේරා ගැනීමට වැට බැඳ ආරක්ෂා කරනවා. ඇඟිලි දෙකකින් වසා ගන්න පුළුවන් නුඹගේ කට, හෙට බමුණන් දානය වළඳන වෙලාටවත් වසා ගත නො හැක්කේ ඇයි? කියා බමුණා යළිත් ගෝරණාඩු කළා.

එහෙත් එයට බැමිණිය අවනත කර ගත නොහැකි වුණා. එකල්හි බමුණා කිපී කඩුවක් අතට ගෙන “හෙට බමුණන් පැමිණ සිටින අවස්ථාවේ මහණුන්ට නමස්කාර කළොත් මේ කඩුවෙන් කෙසෙල් බඩක් කපන්නා සේ පාදයේ පටන් හිස දක්වා කපා දමනවා” යැයි තර්ජනය කළා. එහෙත් බැමිණිය බිය වුණේ නැහැ. "ආර්ය ශ්‍රාවිකාවෝ මහපොළොව සේ, මහමෙර සේ ස්ථිර අදහස් ඇති අයයි. කිසිම බලවේගයකට ඔවුන් වෙනස් කරන්න බැහැ” කියමින් ධනඤ්ජානි බැමිණිය බුදු ගුණ, සඟ ගුණ කැටි වුණ ගාථා පන්සියයක් කිව්වා. බැමිණියට කිසිවක් කිරීමට අපොහොසත් වූ බමුණා “ඔබ ගේ කැමැත්තක් කර ගනු” යනුවෙන් කඩුව වීසි කර යන්නට ගියා.

පසුදින නිවස සරසා පිළිවෙළ කොට බමුණන් පන්සියයකට සෑහෙන අලුත් ගිතෙල්, පැණි, සකුරු ආදිය මිශ්‍රකොට ප්‍රණීත ආහාරයක් පිළියෙල කළා. ඊට පසුව බමුණන් නිවසට කැඳවා ගත්තා.

ධනඤ්ජානි බැමිණිය ද උදයෙන් ම අවදි ව පිරිසුදු වී සුවඳ පැනින් නා දහසක් අගනා අලුත් වතක් හැඳ පන්සියයක් අගනා වතක් පොරවා ස්වර්ණාභරණයෙන් සැරසී බමුණන්ට සංග්‍රහා කළා. එහිදි එක තැන තිබූ භාණ්ඩයක ඇගේ පය හැපී ඇයට බලවත් වේදනාවක් හට ගත්තා. ඒ වෙලාවේ ඇයට බුදුරජාණන් වහන්සේ සිහි වුණා. ඇය අත තිබුණ කෑම බඳුන බිම තබා, වේළුවන විහාරය දෙසට හැරී දොහොත් මුදුන් තබා වැඳගෙන “නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යි තෙ වරක් කිව්වා. ඇගේ ක්‍රියාවට පැමිණි සිටි බමුණන් ගේ හිසට පොල්ලකින් ගැසුවා වගේ වුණා.

“අන්‍ය ආගම් ඇති නිවෙස්වෙත යාමට නුසුදුසු අපවිත්‍ර ස්ථාන යි. භාරද්වාජ, නුඹ අප මිසදිටු නිවසකට ගෙන්වා ඇත්තේ ඇයි?” කියා ඔහුට දොස් නඟා බත් බෙදු තැටි එතැන ම දමා කටට ගත් බත් කට පවා ඉවත ලා භාරද්වාජ බමුණාට බැණ වදිමින් බමුණන් නැගිට ගියා. භාරද්වාජ කිපී

“ ඔබට මේ විපත නො කරන ලෙස මම කිව්වා නේද? ඒත් නුඹේ කට නවතා ගත්තේ නැහැ මේ විපත මට වුණේ ශ්‍රමණ ගෞතමයන් නිසයි. මම නුඹේ ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් වාද කොට ඔහුටත් පාඩමක් උගන්වන්නම්” කියා භාරද්වාජ පිටත් වීමට සැරසුණා. එවිට බැමිණිය

” බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ හා වාද කිරීමට සමත් දෙවියන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්ණයන් සහිත සත්ත්ව ලෝකයෙහි කිසිවකු මම දකින්නේ නැහැ. බ්‍රාහ්මණය ඔබ කැමැති නම් උන්වහන්සේ මුණගැසී බලන්න” ඇය කිව්වා.

බමුණා තථාගතයන් වහන්සේට නිග්‍රහ කිරීම පිණිස යන අතරමඟ දී ම උභතෝකෝටික ප්‍රශ්නයකන් ගොතා ගත්තා. පසුව ඔහු බුදුරදුන් වෙත ගොස් කෝපය සඟවා ගෙන පිළිසඳර කතා කොට ගොතාගෙන ආ ප්‍රශ්නය ඇසුවා. තථාගතයන් වහන්සේ කිසිදු පැකිළීමක් නැතිව එක පාරම ඔහුගේ උභතෝකෝටික ප්‍රශ්නය විසඳා දුන්නා. ඔහුගේ කෝපය සංසිඳුණා. පසුව භාග්‍යවතුන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කළා.

බ්‍රාහ්මණයාට ධර්මය අවබෝධ වුණා. ඔහු බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා. තෙරුවන් සරණ ගොස් තථාගත ශාසනයේ පැවිද්ද ලබා උපසම්පදාව ද ලබා නොබෝ කලකින් සියලු සව් කෙලෙස් නසා අරහත්වයට පත්වුණා.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]