Print this Article


දුටුගැමුණු රජතුමා -01 : තෙල් කටාරමේ පැසෙමින් ධර්මය දේශනා කළ කැලණිතිස්ස මහ රහතන් වහන්සේ

දුටුගැමුණු රජතුමා -01 :

තෙල් කටාරමේ පැසෙමින් ධර්මය දේශනා කළ කැලණිතිස්ස මහ රහතන් වහන්සේ

දේවානම් පියතිස්ස රජතුමා ගේ සොහොයුරෙකු වූ මහානාග කුමරුගෙන් දකුණු ලක රජ පරපුර ආරම්භ වෙයි. දේවානම් පියතිස්ස රජුගෙන් පසුව අනුරාධපුර රාජධානි යේ රාජ්‍ය බලය හිමිවිය යුතුව තිබුණේ ඔහුගේ සෙහොයුරු මහානාග කුමරුට ය.

එහෙත් තිස්ස රජුගේ පුතුට රජකම ලබාදීම සඳහා බිසව මහානාග කුමරු මැරවීමට කටයුතු කළා ය. ඇය එක් දිනක් අඹ ගෙඩියකට විෂ ඇතුළත් කොට එය අඹ කූඩයක් උඩින් ම තබා කුඹුරෙහි වැඩ කරමින් සිටි මහානාග කුමරු වෙත යැව්වා ය. එහෙත් විෂ අඹ ගෙඩිය රස බැලුවේ කුඹුරෙහි දුව පැන සෙල්ලම් කරමින් සිටි බිසව ගේ පුත්‍රයා ය. විෂ අඹ ශරීර ගතවීම නිසා ඔහු මරණයට පත් විය. මෙයින් බියට පත් මහානාග කුමරු පලා ගියේ ය. එසේ යන අතරමග දී කුමරු ගේ දේවිය ‘යටාල’ නම් ප්‍රදේශයේ දී පුතෙක් බිහි කළාය. ඔහු යටාලතිස්ස නම් විය. යටාල තිස්ස ගේ පුත් ගෝඨාභය ද, ගෝඨාභය ගේ පුත් කාවන්තිස්ස ද පිළිවෙළින් මාගම රජ වූහ.

කාවන්තිස්ස රජු මාගම අගනුවර කර ගනිමින් රුහුණේ රජු බවට පත් විය. මෙතුමා අතිශයින් ම කාලවර්ණ දේහයකින් යුක්ත වූ නිසා කාක වර්ණ තිස්ස හෙවත් කාවන් තිස්ස ලෙස හැඳින්වූ බවට ඉතිහාස යේ සඳහන් වේ.

කාවන්තිස්ස රජතුමා විවාහ වූයේ “දේවි” නම් කුමරිය සමඟයි. කැලණිතිස්ස රජතුමා ගේ දියණිය වූ ඇය රුවින් පිරි, ගුණයෙන් හෙබි කුමාරිකාව ක් වූවා ය. දේවි කුමරියට මහාසිව, අභය යනුවෙන් සොහොයුරන් දෙදෙනෙකු විය. දේවි කුමරිය කුඩා කල සිය පියා ගේ සෙවණේ ආදරය නොඅඩුව ලබමින් ඇති දැඩි වූවාය.

ඇය රට වැසියන් ගේ ද ඉමහත් ආදරයට පාත්‍ර වූවා ය. ඇය කුඩා කල තමන් ගේ වැඩිමහලු සොහොයුරන් දෙදෙනා සමඟ කැලණි විහාරයට ගොස් කැලණිතිස්ස රහත් තෙරුන් වහන්සේගෙන් බණ දහම් උගත්තා ය. ඊට අමතරව දුනු ශිල්ප, හස්ති ශිල්ප, අශ්ව ශිල්ප ආදිය ද ප්‍රගුණ කළා ය.

ස්වකීය පරපුර පිළිබඳ සිය මෑණියන් දක්වන අහංකාර බව දේවි කුමරිය එතරම් පි‍්‍රය නොකළාය. තමන්ගේ රූපශ්‍රීය පිළිබඳ අහංකාරව වෙසෙන තම මව ඇතැම් අවස්ථාවල දී පියාණන් අභිබවා යාමට දරන උත්සාහය ගැන කනගාටුවට පත් වූවා ය.

නාග ගෝත්‍රිකයන් තමන් ගේ නායිකාව ලෙස ඇයට දක්වන ගෞරවය මෙම අහංකාර බවට හේතු වී ඇති බව ඇය තේරුම් ගත්තා ය.

කැලණිතිස්ස රජතුමා ගේ සිතට නිතර වදදෙන ගැටලුවක් විය. ඒ තම සොහොයුරු උත්තිය කුමාරයා සමඟ තම බිසව පවත්වන අනියත සම්බන්ධය යි. එම ඇසුර නවත්වන ලෙසට කොතරම් අවවාද කළ ද එයින් ඵලක් නොවී ය. මේ නිසා ඒ සම්බන්ධ ව දැඩි පියවරක් ගැනීමට එතුමා තීරණය කළේ ය.

රජ ගෙදර සිදුවන මෙම සිදුවීම් දියණියට රහසක් – ලෙසට තබාගත යුතු බව දියණිය ගේ සේවිකාවන්ට ද අණ කළේ ය. මෙම ප්‍රශ්න ඇයගේ මනසට ඇතුළු වුවහොත් ඇය වෙනුවෙන් තබා ඇති අනාගත බලාපොරොත්තු බිඳ වැටෙනු ඇති බවට රජතුමා කල්පනා කළේ ය.

මේ අතර රාජකීය උද්‍යාන යේ හොල්මන් පවතී යැයි රාවයක් රජගෙදර පුරා පැතිරී ගියේ ය. මේ නිසා සවස් භාගයේ දී එහි යෑම කිසිවකුත් සිදු නොකළහ. මෙහි කිසියම් සැකයක් ඇති බවට නිගමනය කළ රජතුමා උද්‍යාන පාලකයා ගෙන්වා වහාම මේ පිළිබඳ ව පරික්ෂා කර හොල්මන අල්ලා සිරගත කර තමාට දැනුම් දෙන ලෙසට අණ කළේ ය. දින කිහිපයක් සුපරික්ෂාකාරී ව සිටි ආරක්ෂක භටයන් නෙළුම් පොකුණු තෙර ලතා මණ්ඩපය තුළදි හොල්මන හඳුනා ගත්තේ ය. ඔවුන් වහාම ඒ බව රජතුමාට දැනුම් දුන්නේ ය. උද්‍යාන යේ සවස් කාලයේ හොල්මන් කරන්නන් හඳුනාගත් බවත්, ඔවුන්, පිටස්තර පුද්ගලයන් නොව රජ මාළිගයේ ම පුද්ගලයන් බවත් ඒ නිසා ම ඔවුන් සිරභාරයට ගැනීමට බිය වූ බවත් පැවසී ය. ඒ වෙන කිසිවකුත් නොව මහා බිසවුන් සහ උත්තිය යුව රජතුමා බව පැවසී ය.

රජතුමාට ඉමහත් කෝපයක් මෙන්ම ලජ්ජාවක් ද ඇති විය. එහෙත් ඒ බවක් නොපෙන්වීමට වග බලා ගත්තේ ය. මෙය රහසක් වශයෙන් තබා ගන්නා ලෙසට ආරක්ෂක භටයන්ට ද දැන්වීය. මේ ගැටලුවට කුමක් කළ යුතු දැයි කල්පනා කළේ ය. රජතුමා ගේ කෝපය ඉහවහා ගියේ ය. හිස ගිනිගන්නා සේ දැනිණි . සිතට කිසිදු සහනයක් නැත.

රජ මැදුරේ උද්‍යානයේ හොල්මන් සිටිනවා යැයි ප්‍රචාරය කරවීම උත්තිය යුවරජු විසින් කරන ලද්දකි. ඒ සඳහා සහාය දැක්වූ මුර සෙබලුන් ගෙන්වා දඬුවම් නියම කළේ ය. බියට පත් ආරක්ෂක සෙබලු සමාව අයැද සිටියහ. හොල්මන් කළ පුද්ගලයන් අල්ලා දෙන ලෙස අණ කළේ ය. රජතුමා ද උද්‍යානයේ රැකවල්ලා සිටියේ ය. මුර භටයන් ලතා මණ්ඩපයට ඇතුළු වනු දුටු උත්තිය කුමරු පළා ගියේය. රජ බිසව බියෙන් එළියට ආවා ය. කෝපයට පත් රජතුමා මහ හඬින් බැනවදිමින් ඇයව පළවා හැරියේ ය.

රජ බිසව කෙරෙහි හටගත් කෝපයත් පිළිකුලත් දේවි කුමරියට හෝ රජගෙදරට නොපෙන් වූ රජතුමා සාමාන්‍ය පරිදි රාජ්‍ය පාලන කටයුතු කළේ ය. සුපුරුදු පරිදි දිනපතා මහා සංඝයා වහන්සේ ට දානය පිළිගැන්වී ය.

කැලණිතිස්ස රහත් තෙරුන් වහන්සේ සුපුරුදු පරිදි මහා සංඝයා වහන්සේ සමඟ දහවල් දානයට රජමාළිගයට වැඩම කළහ. දානය වළදා ආපසු වඩින මහා සංඝයා වහන්සේ සමඟ ටික දුරක් ගමන් කිරීම රජතුමා ගේ පුරුද්දකි. එසේ වැඩම කරන භික්ෂූන් වහන්සේ අතර හොරට සිවුරු පොරවාගත් අයකු සිටි බව කිසිවෙකුත් දැන සිටියේ නැත. ඔහු දන් වළදා ආපසු වඩින ගමනේ දී ඉතා සූක්ෂම ලෙස කැලණිතිස්ස රහත් තෙරුන් වහන්සේ පසුපසින් ම ගමන් කළේ ය. උන්වහන්සේ රජු හා බිසව අසලින් ගමන් කරන අවස්ථාවේදී ම භික්ෂු වෙස්ගත් පුද්ගලයා රජ බිසවට පෙනෙන සේ හසුනක් බිමට දැම්මේ ය. එය දුටු රජතුමා තල්පත ගෙන කියවීය. එය තම බිසවට ලියන ලද පෙම් හසුනකි.

රජතුමා නිරුත්තර විය. හසුනේ ඇත්තේ කැලණිතිස්ස රහත් තෙරුන් වහන්සේගේ අත් අකුරු ය.

මේ සැතිරී හාමුදුරුවන් සමඟ ද සම්බන්ධයක් පටන් අරගෙන යැයි කෝපයෙන් කෑගෑවේය. පෙම් හසුන ගෙන ආ ශ්‍රමණ වෙස්ගත් පුද්ගලයා අල්ලා හිස ගසා මරා දමන්නට නියම කළේ ය. අනාචාරයේ හැසිරෙන මුරණ්ඩු රජ බිසව දියේ ගිල්වා මරා දැමීමට අණ කළේ ය.

මහා සිල්වත්කමක් පෙන්වමින් මෙතරම් පහත් ක්‍රියාවක නියැළුණු මේ කැලණිතිස්ස රහත් තෙරණුවෝ අල්ලා උණුතෙල් කටාරමක බහා මරා මුහුදට විසි කරන ලෙස ද අණ කළේ ය. රාජ පුරුෂයන් විසින් අල්ලා ගන්නා ලද ශ්‍රමණ වෙස්ගත් භික්ෂුව වධකයා ඉදිරියේ කරන ලද ප්‍රකාශනයෙන් ඔහු උත්තිය කුමාරයා ගේ බස් අසා රජ බිසවට රහස් හසුනක් දෙන්නට පැමිණි බව පැවසී ය. බොරුවට සිවුරු පොරවා භික්ෂු වෙස්ගෙන පුද්ගලයකු රජ මැදුරට එවා ඇත්තේ උත්තිය කුමරු විසින් බව අනාවරණය වන විට කැලණිතිස්ස රහත් තෙරුන් වහන්සේ උණුතෙල් කටාරමක ලා වද දෙමින් සිටියේ ය. එහෙත් උන්වහන්සේ ගාථා සියයක් දේශනා කරමින් සමාධි සුවයෙන් තෙල් කටාර මේ නොදැවී සිටියේ ය.

රජතුමාගේ නියමයෙන් කැලණිතිස්ස රහත් තෙරුන් වහන්සේ උණුතෙල් කටාරමක බහා වධ දෙන බවත්, උන්වහන්සේ සමාධි සුවයෙන් නොදැවී ධර්මය දේශනා කරන බවත් ගම් නියම්ගම් පුරා පැතිර ගියේ ය. රහත් භාවයට පත්ව සිටි උන්වහන්සේ ධර්ම දේශනාව අවසානයේ පිරිනිවන් පෑහ. ඉන්පසු රජතුමාගේ අණ පරිදි රාජ පුරුෂයන් විසින් එම දේහය මහමුහුදට ගෙන ගොස් දමන ලදී. රජුගේ මෙම ක්‍රියාපිළිවෙතට එරෙහිව සියලු භික්ෂූන් වහන්සේලා විරෝධය පෑහ.