මිතුරුකමේ පැවැත්ම
රේරුකානේ
චන්දවිමල මහ නා හිමි
කෙනෙකු හා මිත්‍ර වීම පහසු වැඩකි. දුෂ්කර කාරණය නම් මිත්‍රත්වය දීර්ඝ කාලයක් නො බිඳ
පවත්වා ගැනීම ය. මිත්‍රත්වය කල් පැවැත්විය හැක්කේ නුවණැතියන්ට ය. අඥයෝ මිත්‍ර වී
නොබෝ කලකින් ම ඔවුනොවුන් බිඳෙති.
බිඳුණා වූ ඔවුහු ඔවුනොවුන්ට සතුරුකම් කරමින් සිටිනු මිස නැවත මිත්‍රත්වය සකස් කර නො
ගනිති. මිත්‍ර වූ නුවණැත්තෝ පහසුවෙන් නො බිඳෙති. යම්කිසි හේතුවකින් ඔවුනොවුන්
බිඳුනාහු ද ඔවුහු නැවත මිතුරු වෙති. සෑම කල්හි ම වෛරය නො පවත්වති. එහෙයින් තථාගතයන්
වහන්සේ මෙසේ වදාළ සේක.
“සත්පුරුෂයෝ ඔවුනොවුන් බිඳුණාහු ද වහා සමගියට පැමිණෙති. අඥයෝ මැටි බඳුන් බිඳෙන්නාක්
මෙන් ඔවුනොවුන් බිඳෙති. ඔවුහු නැවත සමගියට නො පැමිණෙතිය.
මැටි බඳුන බිඳුණු පසු නැවත සන්ධි නො කළ හැකිය. බාලයෝ මැටි බඳුන් සේ නැවත සමගි නොකළ
හැකි ලෙස බිඳෙති. රන් බඳුන බිඳුණේ ද නැවත ප්‍රකෘතිමත් කළ හැකි ය. නුවණැත්තා වූ
සත්පුරුෂයෝ බිඳුණාහු ද රන් බඳුන් සේ නැවත සමගි කළ හැකි ය.
මිතුරුකම් කල් පවත්වනු කැමතියන් විසින් මිතුරු දහම නැමැති බැම්ම තහවුරු වීමට හා
බිඳීමට ඇති හේතු දැන ගත යුතු ය. අනුන්ගෙන් කොතෙක් ලදත් සෑහීමකට නො පැමිණෙන ස්වභාවය
වූ මහිච්ඡතාවය, තමා ගෙන් දෙයක් අනුන්ට දීමට නො කැමති බව වූ මසුරුකම ය, කෙළෙහි ගුණ
නො දැනීම ය, නො විමසා කටයුතු කිරීම ය, වංක අදහස් ය, වරද නො පිළිගැනීම ය, කේලාම්
පිළිගැනීම ය යන ආදිය මිත්‍රත්වය බිඳීමේ හේතූහු ය.
ලද දෙයින් සතුටු වන ස්වභාවය ය, වඩ වඩා අනුන්ගෙන් ගන්නට බලාපොරොත්තු නොවන බව ය,
ත්‍යාගවත් බව ය, කෙළෙහි ගුණ දැනීම ය, ඉක්මන් නො වී විමසා දුර බලා වැඩ කිරීම ය, අවංක
බව ය, වරද පිළිගැනීම ය, කේලාම් නො පිළිගැනීම ය යනාදිය මිතුරුකම් කල් පැවතීමේ හේතූහු
ය.
බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි
|