Print this Article


අල්ලා ගැනීමේ හා අත්හැරීමේ වෙනස

අල්ලා ගැනීමේ හා අත්හැරීමේ වෙනස

"මද්දක් අටවා මුවෙක් හසුකර ගැනීමට මාන බැලූ වැද්දා හඬමින් සිටිය දී මුවා තණ අනුභව කොට ක්ෂේම භූමිය වෙත ගියේ ය. මුවා මෙන් ක්‍රියා කිරීම සැබෑ විමුක්තිකාමීන්ගේ ලක්ෂණයක් වේ."

ගිහිගෙය ගිනි ගෙයක් බව අප ප්‍රත්‍යක්ෂයෙන් දන්නා අතර, ඒ සඳහා නව විග්‍රහයක් අනවශ්‍ය ය. බන්ධන සූත්‍රයේ දී ගිහිගෙය සිරගෙයක් වශයෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

දිනක් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමඟ වැඩම කරද්දී දඬුකඳේ ගැසූ, පිටකර කොට අත් පා බැඳ තිබූ, ගස් බැඳි, කූඩුවල දැමූ, දම්වැලින් බඳින ලද ආදී වශයෙන් රාජ අණ පරිදි විවිධ දඬුවම් ලැබූ පිරිසක් දුටු සේක.

බුද්ධිමතුන් යකඩයෙන්, ලීයෙන්, වැල්වලින් කරන ලද බන්ධන බැමි ලෙස නොසලකති. ඉහත කී බැමිවලින් කුමන ආකාරයකින් හෝ නිදහස් වීමට අපට හැකියාව ලැබේ. එහෙත් යමෙක් කුණ්ඩලාභරණයන්ට, මැණික්වලට, දරුවන්ට, බිරින්දෑවරුන්ට ඇලෙන්නේ ද, ඒවා දැඩි බැමි ලෙස හැඳින්වේ.

බන්ධනාගාරයක විඳින දඬුවමට වඩා ගිහිගෙයි සම්පත් සඳහා ඇලීම වැඩි බන්ධනයක් බැව් බුදුන් වහන්සේ දේශනා කළ සේක. සාමාන්‍යයෙන් හිරේ විලංගුවේ වැටුණ පුද්ගලයා වසර 20 කින් හෝ ඊට අඩු කාලයකින් හෝ දඬුවම ලිහිල් වීමෙන් හෝ බන්ධනාගාරයෙන් නිදහස ලබයි. එහෙත් ගිහිගෙයි බන්ධන පහසුවෙන් අඩුවන හෝ ලිහිල්වන තත්ත්වයකින් නො පවතී. ගැමි සමාජය තුළ විවාහ වීම හිරයක් ගැනීම ලෙස හඳුන්වන්නේ ගිහිගෙය පිළිබඳ බුදුරදුන්ගේ පැහැදිලි කිරීම අනුව විය හැකි ය.

අටුවාවේ මෙවන් පැහැදිලි කිරීමක් දක්නට ලැබේ. “බත් හැන්දක් යමෙක් ට දීම සමහරුන්ට අපහසු කාරණයකි”. “හතර රියන් රෙදි කැබැල්ලක් යමෙකුට දීමත් අපහසු කරුණක් බවත් අටුවාවේ දැක්වේ.

මෙනයින් ඉතා සුළු දෙයක් වූව ද අත්හැරීම ගිහිගෙය තුළ අපහසු කාර්යයකි. ගිහියන් පමණක් නොව පැවිද්දන් ද සමහර අවස්ථාවල දී අත්හැරීමට අපහසු අන්දමින් ක්‍රියා කරනු දක්නට ලැබේ.

දන් දීමෙන් වැඩි ප්‍රයෝජන අත්වන්නේ දෙන්නාට ද, ලබන්නාට ද යන්න ඉතා හොඳින් තේරුම් ගන්නා පුද්ගලයා දීම පුරුදු කරයි. දීමෙහි වැඩි ප්‍රයෝජන අත්වන්නේ ලබන්නාට නොව දෙන්නාට ය. යමක් ලබන්නා ඉතා තාවකාලික වින්දනයක් ලැබුවත් දෙන තැනැත්තා දිගු කාලීන ප්‍රතිඵල අත්කර ගනී. සමහරුන්ට ඔවුන් ලැබූ දෙය වදයක් බවට පත්වන අවස්ථා ද ඇත. එක්තරා බෞද්ධ සෙන් කතාවකට අනුව මහා ධනපතියෙක් විශාල මුදලක් රැගෙන ගොස් මේසයක් මත තබා මෙහි කෝටියක් මුදල් ඇතැයි එක් භික්ෂුවකට පැවසුවේ ය. හා හොඳයි යනුවෙන් පිළිතුරු දුන් හිමිනම එහි පැමිණ සිටි දායක පිරිසක් හා පිළිසඳරෙහි යෙදුණේ ය. තමන් පැවසූ දෙය හාමුදුරුවන්ට නො ඇසුණේ යැයි අදහස් කළ ධනපතියා යළි උන්වහන්සේ අමතා මෙතැන කෝටියක මුදලක් ඇතැයි පැවසූහ. එවිට ද හාමුදුරුවෝ ‘හා හොඳයි’ යන පිළිතුරම ලබා දුන්හ. ඉන් තරමක් ආවේගයට පත් ධනපතියා “හාමුදුරුවනේ, මම ඔබ වහන්සේට කෝටියක මුදලක් ගෙනවිත් දුන්නත් ඔබ වහන්සේ එයට ස්තූතියි යන වචනයක්වත් ප්‍රකාශ නොකළහ.’’

යැයි කලබලයෙන් කීවේ ය. “මහත්මයාණෙනි’ ස්තුති කළ යුත්තේ මම ඔබට ද, ඔබ මටදැයි” හාමුදුරුවෝ විමසා සිටියහ.

"තව ද ඔබ මේ සා මුදලක් මට භාරදී, මහා බරකින් නිදහස් වී මා වෙත මහා බරක් පටවා ඇත. මහා බරක් පැවරුණ මා ඔබට ස්තුති කිරීම අනවශ්‍යය." යනුවෙන් හාමුදුරුවෝ පැවසූහ. මෙම කතාවෙන් පිළිබිඹු වන්නේ අල්ලා ගැනීමේ හා අත්හැරීමේ වෙනස යි.

ගිහි ජීවිතය තුළ සැප සම්පත් ගිහියාට සතුටක් වූවත් ගිහිගෙය හැර පැවිදි වූවෙකුට අත්හරින දේ අල්ලාගන්නා දෙයට වඩා සතුටක් ගෙනදෙනු ඇත. ගිහිගෙය හිරගෙයක් ලෙස ධර්මය තුළ හුවා දැක්වීමට හේතුවන්නේ මෙම කාරණයයි.

පැවිද්දන්ට කෙලෙස් අත්හැරීම අපහසු දෙයකි. අපගේ ජීවිතයේ දී අප සතු බාහිර දෙය අත්හැරීම සැබෑ අත්හැරීම නොවේ. බුදු දහමට අනුව අප අත්හැරිය යුත්තේ ක්ලේශයන් ය.

ආර්ය පර්යේෂණ සූත්‍රයේ දැක්වෙන පරිදි එක් වැද්දෙක් මුවන් ඇල්ලීම සඳහා මද්දක් අටවා බලා සිටින මුත් උගුල දුටු මුවා උගුලට හසු නොවී උගුල මත නිදාගෙන සිටීමට සමත් විය. මද්ද මත සිට පැන ගිය මුවා මෙන් සැප සම්පත් නැමැති උගුලේ පැටලී ක්‍රියා නො කිරීමට අප උත්සාහ කළ යුතු වේ. මෙම කාරණය ථේර ගාථාවන්හි මෙසේ ප්‍රකාශ වේ.

මද්දක් අටවා මුවෙක් හසුකර ගැනීමට මාන බැලූ වැද්දා හඬමින් සිටිය දී මුවා තණ අනුභව කොට ක්ෂේම භූමිය වෙත ගියේ ය.

මුවා මෙන් ක්‍රියා කිරීම සැබෑ විමුක්තිකාමීන්ගේ ලක්ෂණයක් වේ.

පැවිද්දන්ටත්, ගිහියන්ටත් මූලික අවශ්‍යතා හතරක් වේ. එනම්,

පැවිද්දාට, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය හා ගිහියාට ඇඳුම්, ආහාර, නිවාස, බෙහෙත් යනුවෙනි.

මෙම සිව් වැදෑරුම් මූලික අවශ්‍යතා ගිහි පැවිදි දෙපිරිසට ම සමාන වූවත් ගිහියන් හා පැවිද්දන් ඒවා භාවිත කරන ආකාරය වෙනස් ය.

ගිහියන් ආහාර ගන්නා කල්හි එක් එක් ආහාර වර්ග මේ මේ රෝගයට, මේ මේ විලාසිතාවට හොඳ යැයි තෝරා බේරා ගැනීමක් කරන මුත් එම ආහාරය ම පැවිද්දා වළඳන කල්හි පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

මෙම ලිපියේ ඉතිරි කොටස නිකිණි පුර අටවක පෝදා (27) පළවේ.