Print this Article


පෙර කර්ම පල දීම

පෙර කර්ම පල දීම

අචිරං වතයං කායො
පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපේත විඤ්ඤාණො
නිරත්ථං ව කලිංගණං

ඉවත දැමූ වැඩකට නැති දර කැබැල්ලක් මෙන් මේ කය ද පහවූ සිත් ඇතිව නොබෝ කලකින් පොළොව මත වැතිරෙන්නේය

කයෙන් සිත පහවූ විට සිරුර දරකඩක් බව පෙන්වීමට පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ මුල්කරගෙන ඉහත ගාථාව සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

සැවැත් නුවර තිස්ස නම් තෙර නමකගේ මුළු සිරුර පුරාම අබ ඇට, පමණ බිබිලි හටගෙන ඉමහත් සේ රෝගාතුර විය. පසුව එම බිබිලි වර්ධනය වී මුං, කඩල, ඩෙබර, නෙල්ලි, බෙලි පමණ වී ගෙඩි සිදුරු වී වණ වී පැලී ගොස් සැරව හා ලෙයින් සිරුර වේයන් කෑ පරඬැල් පතක් බඳුවිය. එබැවින් උන් වහන්සේට පූතිගත (ගතෙහි ගෙඩි) යන නාමය එකතු විය. පූතිගත තිස්ස" පූතිගත්ත තිස්ස" යන ව්‍යවහාර නම එකතු වූයේ එතැන් සිට ය. මෙම සිද්ධිය පෙර කර්ම පලදීමකි. අකුසල විපාක දීමකි.

තිස්ස තෙරණුවෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස දක්ෂ කුරුලු වැද්දෙකි. දිනපතාම රැකියාව වශයෙන් කළේ බොහෝ කුරුල්ලන් අල්ලාගෙන මරා මස් විකිණීමයි. පවුලේ ආහාරයට ද ගනියි. ඉතිරි පක්ෂීන්ට පියාඹා නොයන ලෙස පියාපත් උගුල්වා, අඬු ඇට කඩා දෙඇස් අඳ කර තබා පසුදාට විකුණයි. මේ අයුරින් දිවි ගෙවන ඔහුගේ නිවසට පිඬු පිණිස ගෙපිළිවෙලින් වැඩි රහතන් වහන්සේ නමක් දැක පැහැදී සතුටු වී සැදැහෙන් දන් පූජා කර මම බොහෝ ප්‍රාණඝාත පව්කම් කෙළෙමි. මට මෙබඳු වූ පිනක් කුසලයක් සිදුකර ගැනීමට ලැබීම මහත් වාසනාවකි. මෙම පුණ්‍ය කර්මයෙන් ඔබ ලත් උතුම් දහම ම මටත් මුදුන් පැමිණෙවාය පැතුවේ යි. එම පව්කම්වල මහා විපාක හා සුළු පින්කමේ ආනිශංසය යහපත් ප්‍රතිඵල මේ ආත්මභවයේ දී ම මේ ලෙස ලැබුණේ ය.

ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලුයම ලෝවැසියන් දෙස බැලීමේ දී උන්වහන්සේගේ මහා කරුණාවට මෙම භික්ෂුව දක්නට ලැබිණ. ආනන්ද හිමියන් සමඟ බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානය සඳහා වැඩම කළහ. ඉන් අනතුරුව සිවුරු, අඳන, ඇඳ ඇතිරිලි සෝදා වේලා පිරිසුදු කරණ නැවත සිවුරු පොරවා සැතපීමට, අවස්ථාව ලබා දුනි.

ශරීරයට කයට ලැබුණ සුවතාවය නිසා සසර පුරුදු ඉස්මතු වී කමටහන් මෙනෙහි, කර භාවනා වඩා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්ම අවබෝධයෙන් පූතිගත්ත තිස්ස හිමියෝ උත්තරීතර රහත් ඵලයට පත් වූහ. එවිට බුදුරජාණන් වහන්සේ මේ සිරුර නොබෝ කලකින්ම පහවූ සිත නැතිව නිසරු වැඩකට නැති දරකඩක් මෙන් මහ පොළොව මත්තෙහි වැතිරෙන්නේය යැයි වදාළ සේක.

ගිලන් උපස්ථානය සිදු කිරීම තම තමන්ට ආත්ම කෝටි ගණන් සැප උදාකර දෙයි. සම්බුද්ධ ශාසනයේ වැඩ සිටි අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරෙන් නිරෝගි සම්පත් ලැබූ භික්ෂූන් වහන්සේ බක්කුල මහ රහතන් වහන්සේ ය. උන්වහන්සේ බුද්ධ ශාසනවල අපමණ ලෙඩුන්ට නෑවීම්, කැවීම්, රැවුල් හිසකේ කැපීම්, ඇඳුම් පැළඳුම් සෝදා දීමේ කටයුතු මෙන්ම අප්‍රමාණ සත්කාර සිදු කළහ. එපමණකින් නොනැවතී බුද්ධ ශාසනවල ත්‍රිවිධ චෛත්‍ය පිරිසුදු කරමින් සංවර්ධන කටයුතු මනාව සිදු කළහ. එපමණක් ද නොව වැසිකිළි, කැසිකිළි මනාලෙස පවිත්‍ර කළේ ය. මෙම සියලුම ක්‍රියාවන් සිදුකර එකම පැතුම සසර වසන තුරු නිවන් දකින තුරු නිරෝගී සම්පත් ලැබේවා යනුවෙනි. ගෞතම සසුනේ වැඩ සිටි භික්ෂූන් අතර නිරෝගී සම්පන්නව අවුරුදු එකසිය හැටක් බක්කුල තෙරණුවෝ වැඩ සිටියහ.

මනුෂ්‍යයකුට තිබෙන පරම වටිනාම ලාභය නිරෝගිකමයි. “ආරෝග්‍ය පරමාලාභා” යන දහම් පාඨයෙන් ඒ බව මැනවින් ප්‍රකට වේ. වර්තමාන මිනිස් සමාජය තුළ අසනීපයක් නොමැති කෙනෙක් සොයා ගැනීම බොහෝ සේ අපහසු ය. ලංකාවේ ඇති රෝහල් දෙසට නෙත් යොමා බැලීමේ දී එය මැනවින් සනාථ වෙයි. මෙයට ධර්මානුකූල උත්තරය. වනුයේ පූර්ව භාවයේ සහ මෙලොවදී කර ඇති ප්‍රාණඝාත හා සත්ව හිංසනයයි.

ප්‍රාණඝාත අකුසලයක් සිදුවීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතු ම වෙයි.

එනම් ත පණ ඇති සතෙකු වීම, ත පණ ඇති බව දැන ගැනීම, ත මරණ චේතනාව, ත උපක්‍රම යෙදීම, ත ඝාතනය කිරීම.

සත්වඝාතන අකුසල කර්මය කෙතරම් බලවත්ද?

පුරාණ කාලයෙහි ස්ත්‍රියක් එළු දෙනෙකුගේ හිස සිඳීම හේතු කොට ගෙන මුළු ශරීරය ගිනි දැල්වලින් වෙළී අපා දුක් විඳ ඒ එළු දෙනගේ ලොම් ගණනින් ඉස් කැපීම් ලද බව සඳහන් වේ. කවරකුටත් අකුසලේ ස්වභාවය මේ ලෙස සිදු වන්නේ ය.

ප්‍රාණඝාත අකුසල කර්මය හේතුවෙන් උපනුපන් ආත්මවල අඩු ආයුෂ වලට ගොදුරු වෙයි. මේ ලෙස මුල් ශික්ෂා පදය ආරක්ෂා නොකිරීම තුළ මිනිසාට කෙටි ආයුෂ උරුම වීම මෙන්ම සත්ව ඝාතනය මෙන්ම සත්ව හිංසනය නිසා නොසිතූ නොපැතූ ලෙඩ දුක් මහා බිහිසුණු විපත් උරුම වෙයි. ජීවත්වීමට ඇති පරමායුෂ කෙටි කරයි. නීරෝගී බව වෙනුවට රෝගී බව ඇති කරයි.

නිවන් දැකීමෙන් පසු සිත නිවී යයි. දැල්වෙන පහනක් නිවීයාමක් මෙනි. එබැවින් සිත නැති මේ කය වැඩක් නොවන්නේ ය. ඉහත සඳහන් කරන ලද දහම් කරුණු මනාව තම සිතට සම්බන්ධ කරගෙන බෝසත් දිවියක් ගෙවමු.