Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප : යාපහුවේ අසිරිය

යාපහුවේ අසිරිය

මෙම ශිලා කලා කෘතිය ගලට ඉතා පහසුවෙන් පරිවර්තනය කරන ලද දැව කර්මාන්තකරුවන්ගේ ඉතා දක්ෂ ශිලා නිර්මාණයක් බව ඉතා පැහැදිලිය. මෙම ජනේලයට උඩින් සාදා තිබූ මකර තොරණ ද ලෙස සරසා ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් යාපහුව පිහිටි ඉතා විශාල වූ පර්වතයකි. මෙය ඉතා අලංකාර නිසා පුරාණ කාලයේ දී භාවිත කරන ලද නාමය වූයේ සුන්දරගිරි පබ්බත යන්නයි. සුභ පබ්බත, යහපව්, සුභචල, සුභගිරි හා යාපහුව ආදී නම්වලින් ද පුරාණ කාලයේ හඳුන්වා ඇත.

සීගිරිය ගොඩනැගූ පරිද්දෙන් දඹදෙණිය, යාපහුව හා කුරුණෑගල රාජධානි ගොඩනගන ලද්දේ කඳු පර්වත පසුබිම් කරගෙන ය. ආරක්ෂක සංවිධාන පිණිස මෙසේ කරන ලද බවට සැකයක් නැත. සීගිරියේ නටබුන් සමඟ සසඳා බැලීමේ දී මෙම කඳු මුදුන්වල දක්නට ලැබෙන පැරණි පුරාවිද්‍යා අවශේෂ ඉතා වැදගත් ය. දඹදෙණි රාජධානියට අයත් දඹදෙණි නගරයේ ආරක්ෂා සංවිධාන වල සලකුණු පර්වතය පාමුල දක්නට නොමැත. එහෙත් ශක්තියෙන් හා නිර්මාණයෙන් සීගිරියේ බලකොටුවට බෙහෙවින් ළංවන බලකොටුවක නටබුන් යාපහුවේ දකුණු හා ගිනිකොණ පැතිවල දක්නට ලැබේ. සාමාන්‍යයෙන් අඩ කවයක සැලැස්මක් අනුව නිර්මාණය කර තිබෙන මෙම යාපහුව බලකොටුව දෙකෙළවරෙහි පර්වත බෑවුමේ පහළ කොටසට යාකර තිබේ. පිටත පවුරුවලින් වටවී තිබෙන ප්‍රදේශයේ විශ්කම්භය යාර 450 ක් පමණ ද, ඇතුළත ගල් පුවරුවලින් වටවී තිබෙන ප්‍රදේශයේ විෂ්කම්භය යාර 200 පමණ ද වේ. මෙහි සාදා තිබෙන පිට පවුර මැටියෙන් තනා තිබේ. අඩි 20 පමණ උස ඇති මෙහි දිග සැතපුම් භාගයකටත් වඩා වැඩි ය.

කපන ලද කලුගල් පුවරුවලින් තැනූ අත්තිවාරමක් මත ගඩොල් ඇතුරුමකි. දොරටු තුනකින් යුක්ත යාපහුව පවුර වටා පුළුල් දිය අගලක් ද, එයින් එගොඩ මෙගොඩ වීම සඳහා දොරටු තුන සම්බන්ධ කර පාලම් තුනක් ද සාදා තිබුණි. අඩ කවාකාර පවුරේ දකුණු පැත්තේ මැද පිහිටි ප්‍රධාන දොරටුවට නැගීම සඳහා පිය ගැට දහ අටකින් යුත් කදිම සෝපානයකුත් , ඉන් බසිනු සඳහා පිය ගැටවලින් යුත් තවත් සෝපානයක් විය. යාපහුවේ තිබෙන ඉතා සිත්කලු පුරාණ නටබුන් ගොඩනැගිල්ල නම් පර්වත පාමුල නැගෙනහිර පැත්තේ මළුවක පිහිටි රජ මාළිගාව යැයි අනුමාන කරන මැදුරකට ඇතුළුවන තැන පිහිටි ද්වාර මණ්ඩපය හා එයට නැගීමට ඇති සෝපාන පථයයි. (ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය – 2 මහාචාර්ය එච්.ටී. බස්නායක පි. 177-178 බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය -2002)

මෙම ස්ථානය සුභ නමැති සෙනෙවියෙකු විසින් ක්‍රි.ව. 1235 දී සකස් කරගෙන වාසය කළ නිසා ‘සුභ පබ්බත’ යන නාමය භාවිත කර තිබේ. ඊට අමතර ව යාපහුව යන නාමය ද මේ සඳහා භාවිත වේ. යාපහුව රාජධානිය කරගෙන රජ වූ එකම රජතුමා වූයේ පළමුවෙනි බුවනෙකබාහු රජතුමා ය. එතුමා ක්‍රි.ව. 1273 සිට 1284 තෙක් වසර එකොළහක් මෙහි රජ කළහ. සාමාන්‍යයෙන් රජ මාළිගය අසල ම දළදා මාළිගය ද පිහිටා තිබීම පුරාණ ලංකා රාජධානි පිළිබඳ විමසා බලන විට පෙනී යන ලක්ෂණයකි.

ඒ අනුව යාපහුව රාජධානියෙන් දළදා මාළිගයට යෑම සඳහා ඉතා අලංකාර පඩි පෙළක් ද දක්නට ලැබේ. මෙම පඩි පෙළෙන් ඉහළට ගමන් කළ පසු පුරාණ කාලයට අයත් ගොඩනැගිලි නටබුන් දක්නට ලැබේ. එම නටබුන් අතරේ ශිලාමය පුවරුවල (අල්ප උන්නත මදක් මතුවන ලෙසින්) පෙරහරක දර්ශනයක් දිස්වේ. යාපහුවේ රජ මාළිගාවේ ද්වාර මණ්ඩපය යනුවෙන් හඳුන්වනු ලබන මෙම ඉදිකිරීමෙහි දක්නට ලැබෙන ශිලා රූකට් ඉතා අලංකාර ය. මෙහි නිරූපිත රඟන, වයන ශිල්පීන්ගෙන් යුත් රූප පේළියෙහි විවිධ අංග චලනයෙන් නර්තනයේ යෙදෙන අන්දම මනස්කාන්ත ය.

මෙහි රඟන්නන් හා වයන්නන් නිර්මාණය කර ඇති මූර්ති යාපහුවේ දළදා මාළිගය යැයි සැලකෙන ගොඩනැගිල්ලේ ද්වාර මණ්ඩපය වටා දැක්වේ. පුරාණ අපේ මූර්ති ශිල්පීන් විසින් මෙසේ කළුගලෙහි නිර්මාණය කර තිබීම ඔවුන් ගේ දක්ෂතාවය හෙළි කරන්නකි.

(ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය -2 සිරිසමන් විජේතුංග පි. 282-283 -2012)

මෙහිදී මූර්තිමය වශයෙන් වඩාත් වැදගත් වන තවත් ගලින් නිම කරන ලද ගි‍්‍රල් රටාවකින් යුත් ජනෙල් දෙකක් යාපහුවෙන් ලැබී ඇත. දැනට මේවා යාපහුවේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි ඇත. එක ජනේලයක් මැනවින් සුරක්ෂිත ව ඇත. හොඳින් ආරක්ෂිත වී ඇති ජනේලයේ දිග අඩි 4 අඟල් 8 කි. පළල අඩි 2 අඟල් 11 කි. මෙහි ගි‍්‍රල් කොටසේ මැද කුඩා රවුම් 45 වේ. මේ කුඩා රවුම් තුළ එක බැගින් ඉතා කුඩා සිංහ, හංස, ගජසිංහ වාමන හා රඟන ස්ත්‍රී රූප ආදියෙන් සරසා ඇත. මෙවැනි රවුම් 45 ඉතා සූක්ෂම ලෙස සම්බන්ධ කොට තිබේ. මෙම ශිලා කලා කෘතිය ගලට ඉතා පහසුවෙන් පරිවර්තනය කරන ලද දැව කර්මාන්ත කරුවන්ගේ ඉතා දක්ෂ ශිලා නිර්මාණයක් බව ඉතා පැහැදිලිය. මෙම ජනේලයට උඩින් සාදා තිබූ මකර තොරණ ද අධික ලෙස සරසා ඇත. මකර තොරණ යට “ගජලක්ෂ්මී’ රූපයක් නිමවා තිබේ. ගජලක්ෂ්මී එක් අතකින් නෙළුම් මලක් දරාගෙන බද්ධ පරියංක ලෙසින් ඉඳගෙන සිටී. ගජලක්ෂ්මි රූපයෙහි දෙපසින් ඇත් රූප කලසකින් ඇගේ හිසට ජලය වත්කරන ආකාරයට නිමවා ඇත. මෙම මූර්ති නිර්මාණයෙන් අපට දිස්වන්නේ පොළොන්නරු යුගයේ විසූ දක්ෂ මූර්ති ශිල්පීන් යාපහුව කාලයේදී ද සිටි බව ය.

(මූර්ති කලාව – සංස්කාරක ආචාර්ය නන්දදේව විජේසේකර – පි. 116-117 - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව -1990 )

පුරාණ චීන සබඳතා

යාපහුව, චීනය හා ඉතා පැරණි යුගයේ සබඳතා තිබුණු බවට පුරාවිද්‍යා සාක්ෂි හමුවී ඇත. යාපහුවේ දකුණූ දොරටුවේ චීන කාසි තොගයක් 1911 වර්ෂයේ දී හමුවිය. එම පැරණි චීන කාසි චීනයේ ක්‍රි.ව. 976-1225 කාලයේ රජකළ චීන අධිරාජයාට අයත් වේ. නැගෙනහිර දොරටුව අසල වර්තමාන විහාරයේ ඉදිරිපස නිදන්ව පැවති තවත් පැරණි චීන කාසි 1352 ක් හමු වී ඇත. පිඟන් මැටියෙන් සාදන ලද කුසලාන තුනක් ද එහි තිබී හමුවී ඇත. චීන පිඟන් මැටි කර්මාන්තයෙහි ඉතා අගනා නිදසුන් වන මේ කුසලාන ඉතා වැදගත් ය. සීගිරියෙහි මෙන් ම යාපහුවෙහි ද ක්‍රිස්තු පූර්ව සියවස්වලට අයත් මෙන් ම, ක්‍රි.ව.10 වැනි සියවසට අයත් මෙහි ඇති ලෙන්වල ශිලාලේඛන වලින් ඉතා පැරණි යුගයේ සිට මහා සංඝයා වහන්සේලා වැඩ වාසය කළ බවට සාක්ෂි දරයි.

යාපහු යුගයට අයත් යැයි සැලකිය හැකි බුදු පිළිම එතරම් සුලභ නොවේ. දළදා මාළිගය යැයි සැලකෙන ගොඩනැගිල්ලේ මකර තොරණක් යට තිබෙන බුදු පිළිමය මේ යුගයට අයත් පැරණි ම රූපය වශයෙන් සැලකේ. නැගෙනහිර පැත්තේ හමුවන බුදුගෙයක් පිහිටුවා තිබුණු බවට සාක්ෂි හමුවී තිබේ. මේ ලෙන තුළ බුදු පිළිමයක් තැන්පත් කර ඇත. ඇතුල් නුවර පිහිටි පන්සල මහනුවර යුගයට අයත් ය. ඊට ඊසාන දිග ගල්ලෙනක් තුළ බුදුගෙය වේ. එම ලෙනට යාව එය ඉදිරිපස ඇත්තේ මෑත දී කරවන ලද කුඩා බුදුගෙයකි. ඇතුල් බුදුගෙය පිටුපස බිත්තිට යාව ධ්‍යාන මුද්‍රාවෙන් වැඩහිඳි බුදු පිළිමයකි. බුදුගේ අසලම බෝධිය ද වේ. යාපහුව අගනුවර ව පැවති කාලයේ පැවති පන්සලේ නටබුන් නැගෙනහිර දෙස දක්නට ලැබේ. දළදා මාළිගාව , කුඩා දාගැබ් දෙකක් හා හතරැස් මළුවක ගොඩනැගිල්ලක් මෙහි තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යාපහුවේ පුරාවිද්‍යා කෞතුකාගාරයක් ද නිර්මාණය කර ඇත.