Print this Article


පූජාච පූජනියනං

දෙහිගස්පේ ශ්‍රී පඤ්ඤාසාර නා හිමි

ආචාර්ය පණ්ඩිත දෙහිගස්පේ ශ්‍රී පඤ්ඤාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මධර, විනයධර වියත් පඬිරුවනකි. දෙහිගස්පේ දොන් බස්තියන් ජයසිංහ ආරච්චි රාළහාමි සහ සිසිලියානා මාතාවගේ කණිෂ්ඨ පුත්‍ර රත්නය වූ ඩී.ජී. ජයසිංහ කුමරුවා 1899 නොවැම්බර් 23 දින ජන්ම ලාභය ලැබීය.

1913 නොවැම්බර් 20 වැනි දින අකුරැස්සේ ගොඩපිටියේ ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජයසිංහ කුමරුවා දෙහිගස්පේ පඤ්ඤාසාර නමින් පැවිදි කරනු ලැබීය. උන්වහන්සේගේ පැවිදි දිවිමඟ ඒකාලෝක කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සලසාදීමට ගුරු පදවිය ගල්කන්දේ පුරාණ රාජමහා විහාරාධිපති දෙහිපේ ආනන්ද මාහිමිපාණන් හෙබවූ අතර උපාධ්‍යාය පදවිය හොබවන ලද්දේ ගල්කන්දේ බ්‍රහ්මාක්ෂිරාජ පරිවේණාධිපති ගොඩපිටියේ ශ්‍රී සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා බ්‍රහ්මාක්ෂිරාජ පිරිවෙනට ඇතුළත් වූහ. උන්වහන්සේ ආචාර්ය උපාධ්‍යාය දෙනම විසින් කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනේ අධිපති මහගොඩ ශ්‍රී ඥානේශ්වරාභිධාන නාහිමිපාණන්ට 1916 අප්‍රේල් මස 16 වැනි දින භාර කරනු ලැබීය. එහිදී පඤ්ඤාසාර සාමණේර හිමියෝ එකල එම පිරිවෙනේ කීර්තිමත් ආචාර්යවරයෙකු වූ පණ්ඩිත මාපලගම චන්දජෝති මාහිමිපාණන් යටතේ ධර්ම ශාස්ත්‍ර හැදෑරූහ. මෙසේ උගෙනුම ලබද්දී 1918 දී ප්‍රාරම්භ විභාගයෙන් ද, 1920 පැවැත් වූ මධ්‍යම විභාගයෙන් ද ලංකාවේ ප්‍රමුඛයා ලෙස සාමාර්ථය ලැබූහ.

1920 ජුනි මස 20 වැනි දින මහනුවර මල්වතු මහාවිහාර උපෝෂථාගාරයේ දී අමුණුගම රාජගුරු ශ්‍රීනිවාස පි‍්‍රයධර්ශ්‍යභිදාන මහානායක ස්වාමීන්ද්‍ර ප්‍රමුඛ සංඝ සභාව වෙතින්, ගොඩපිටියේ ශ්‍රී සෝභිත මාහිමි, දෙහිපේ ආනන්ද මාහිමි. කහවේ රතනසාර නාහිමි යන තෙනමගේ ශිෂ්‍යයකු ලෙස උපසම්පදා විය.

1924 දී පණ්ඩිත විභාගයෙන් ගෞරව පන්තියේ සාමාර්ථයක් ලබා වෛද්‍යසේකර ත්‍යාගය ද, සමරදිවාකර සංස්කෘත ත්‍යාගය ද අබේවික්‍රම සිංහල ත්‍යාගය ද එකවර ලැබූහ. නොවැම්බර් මස පැවැත් වූ විද්‍යෝදය මහ පිරිවෙනේ අවසාන විභාගයෙන් ගෞරව පන්තියේ ප්‍රමුඛයා වී දක්ෂතම ශිෂ්‍යයාට හිමිවන ශ්‍යාම රාජ ත්‍යාගය ඇතුලු තෑගි රැසක් ලබා ගත්හ.

කහවේ ශ්‍රී රතනසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය විසින් පණ්ඩිත දෙහිගස්පේ පඤ්ඤාසාර යතිවරයාණෝ 1924 ජනවාරි මස 07 වැනි දින ආචාර්ය මණ්ඩලයට බඳවා ගන්නා ලදහ.

උන්වහන්සේ 1930 දී ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවීමට එංගලන්තය බලා වැඩම කළහ. පසුව මහාබෝධි සමාගමේ ඉල්ලීම අනුව ග්ලෝස්ටර්රොඩ්හි බෞද්ධාශ්‍රමයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළහ. 1939 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1940 දී බී.ඒ. ගෞරව උපාධිය ලබා ගත්හ.

අනතුරුව ලංකාවට වැඩමකොට විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය ධූරයේ කටයුතු කරන ලද අතර, ආනන්ද මහා විද්‍යාලයේ පැවැති උපාධි අපේක්ෂක පන්තියේ ආචාර්ය ධූරයෙහි ද ක්‍රියා කළහ. 1949 දී මල්වතු මහාවිහාර කාරක සංඝ සභාව මගින් කිර්ති ශ්‍රී යන ගෞරව නාමය සහිතව දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමිණ. සංස්කෘත භාෂාව පිළිබඳ හසල දැනුමකින් යුත් නාහිමියෝ මහාචාර්ය ඕ.එච්.ඒ. ද විජේසේකර මහතාගේ උපදෙස් අනුව 1951 සිට 1954 දක්වා කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ සංස්කෘත සාහිත්‍ය නමැති ග්‍රන්ථය සකස් කර ඉදිරිපත් කොට ආචාර්ය උපාධිය ද ලබා ගත්හ.

1956 දී රජය මගින් පිහිටුවන ලද රත්මලාන පිරිවෙන් ගුරු විදුහලේ විදුහල්පති ධූරයට ද පඤ්ඤාසාර නාහිමියෝ පත් කරන ලදහ. 1959 දී විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා අංශයේ විනේතෘ ධූරයට පත් වූ ආචාර්ය දෙහිගස්පේ පඤ්ඤාසාර නායක ස්වාමීන්ද්‍රයෝ පාලි හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ප්‍රමුඛාචාර්යවරයා ලෙස ද කටයුතු කළහ. 1955 බුරුමයේ රැන්ගුන් නුවර පැවති ධර්ම සංගායනාවට ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස ද ඉන්දීය රජයේ විශේෂ ආරාධනය පරිදි ලංකා නියෝජිතයා ලෙස ද සහභාගි වී විශේෂ දේශනයක් පැවැත්වූහ.

පඤ්ඤාසාර නාහිමියෝ සමස්ථ ලංකා භික්ෂු සම්මේලනයේ ප්‍රධාන සභාපති ලෙස මහා සමාජ මෙහෙවරක් ඉටු කළහ.

පඤ්ඤාසාර නාහිමියෝ බුදුසිරිත අලලා ලියන ලද ‘එවං මේසුතං හෙවත් ගෞතම බුද්ධ චරිතය’ නමැති ග්‍රන්ථය එකල සමාජයේ අතිශය සම්භාවනාවට ලක් වූ කෘතියකි. තවද සංස්කෘත ශබ්ද ශාස්ත්‍රය, ශ්‍රී රත්නසාර ව්‍යාකරණය, සංස්කෘත සාහිත්‍යය, සමාස ලක්ෂණය, බුද්ධ ධර්මය යන ග්‍රන්ථ උන්වහන්සේගේ නිර්මාණාත්මක කෘති වේ.

මේ හැර දම්පියා අටුවාසන්නය, කුස ජාතක කාව්‍ය වර්ණනාව, එළු අත්තනගලුවංශ විවරණය, හත්තවනගල්ල විහාරවංශය, සාර දීපිකා ව්‍යාඛයා, රඝු වංශ සුබෝධනි ව්‍යාඛයා, රත්නාවලී නාටකය, සිංහල සාර සංග්‍රහය, අංගුත්තර නිකාය ප්‍රථම භාගය, මහාවංශ සන්නය, රූප සිද්ධි සන්නය, මහාවග්ග පාලි සංශෝධනය ආදී කෘතීන් වේ.

හැටන් හී නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටියදී 1966 දී ජූලි මස 24 වැනි දින හැට හත් වසක් ආයු වළඳා දෙහිගස්පේ පඤ්ඤාසාර නාහිමියෝ අපවත්වූහ.

****

මාගෙදර මහින්ද හිමි

1930 නොවැම්බර් මස 24 වැනි දින ගාල්ල මාගෙදර දී ජන්ම ලාභය ලද කුල කුමරුවෝ ක්‍රි.ව. 1944 මාර්තු මස 22 වැනි දින ශ්‍රී සද්ධර්‍ම භාරතීශ්වරාචාර්‍ය කතළුවේ කීර්ති ශ්‍රී සුමංගලාභිධාන දකුණු

පළාතේ ප්‍රධාන සංඝ නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ සහ පිලානේ පඤ්ඤාරාම ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ආචාර්ය හා උපාධ්‍යායකත්වයෙන් මාගෙදර මහින්ද නමින් වලහන්දූව ශ්‍රී සුදර්ශනාරාමයේ දී පැවිදි දිවියට ඇතුළත් වූහ.

පැවිදි ජීවිතයට අදාළ ධර්‍ම විනය මැනවින් හදාරමින් විසි වයස් සපිරීමේ දී උන්වහන්සේ 1955 ජුනි මස 05 වැනි දින මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනෙන් පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළ උන්වහන්සේ

විශ්ව විද්‍යාලයීය ප්‍රවේශ විභාගයෙන් සාමාර්ථය ලැබ පෑලියගොඩ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට පිවිස ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ. එවකට විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යවරයෙකු වූ උන්වහන්සේ එදා සිට ම ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී දේශපාලන ප්‍රවාහය තුළ කැපී පෙනෙන භූමිකාවක් ඉටුකරන ලද අතර බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වූ දේශයේ ස්වාභිමානී අදහස් ජනගත කිරීමට සාධනීය මෙහෙවරක නිරත වූහ. ජාතික අවශ්‍යතාවයනට පණ පොවන අතර ම තම දායක කාරකාදීන්ගේ ආගමික ශාසනික සේවාවන් ඉටු කිරීමට ද උන්වහන්සේ කිසිදා අමතක නොකළහ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව එවකට ගාල්ලේ කීර්තිමත්

විද්‍යාස්ථානයක් වූ මහමෝදර කෝවිලගොඩැල්ල ශ්‍රී ගුණෝදය මහ පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස තම ගුරු භූමිකාවට ප්‍රවේශ වූහ.

මාගෙදර මහින්ද නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ තම පිරිවෙනෙහි කරන ලද උසස් සේවාව

ඇගයීම් වශයෙන් එම පිරිවෙනේ ම පිළිවෙළින් නියෝජ්‍ය පරිවේණාධිපති, පරිවේණාධිපති සහ

කෘත්‍යාධිකාරී යන තනතුරුවලින් ද පිදුම් ලැබූහ. උන්වහන්සේ අපවත් වන අවස්ථාව දක්වා ම මහමෝදර ශ්‍රී ගුණෝදය මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී තනතුර හෙබවූහ. මෙම අද්විතීය අධ්‍යාපනික සේවාවන් හි නිරත වන අතර තමන් වහන්සේ වැඩ වාසය කළ වලහන්දූව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය ප්‍රදේශයේ දීප්තිමත් විහාරස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු විහාරාරාංග ඉදිකරවීමට කටයුතු කළහ.

1977 ඔක්තෝබර් 02 වන දින විහාරස්ථානයේ විහාරාධිපති තනතුරට පත්වන නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ අර්ධ වශයෙන් ඉදිකර තිබූ විහාර මන්දිරය අංග සම්පූර්ණ අනුරාධපුර කලා ශෛලියට නෑකම් කියන ඉහළ කලාත්මක ගුණාංගයන්ගෙන් සුපරිපූර්ණ ව වැඩ නිමකරන ලදුව 1994 අගෝස්තු මස 12 වන දින ජනතාවගේ පූජාවන්ට පාත්‍ර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදහ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහායෙන් සැවැත් නුවර ජේතවනාරාමයේ රෝපිත විජය ශ්‍රී ආනන්ද බෝධියේ ශාඛාවක් වැඩමවා 1970 දී ඉපැරණි බෝධීන් වහන්සේ සමීපයේ ගෞරවයෙන් රෝපණය කරනු ලැබිණි. එමෙන් ම පෞරාණික කලා සම්ප්‍රදාය සිහිගන්වන පියගැටපෙළ, සඳකඩපහණ, මකර තොරණ, මල් ආසන, බෝධි ප්‍රාකාර ආදිය ඉදිකරවන ලද අතර ජනතාවගේ අවශ්‍යතාවන් පරිදි ශ්‍රී විෂ්ණු, කතරගම දේවාල මන්දිර, පැන් ගෙවල්, පහන් ගෙවල් ආදී අනේක අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ලදී. ප්‍රදේශයේ දරුවන්ගේ දහම් දැනුම සංවර්ධනය සඳහා ශ්‍රී සුමංගල දහම් පාසලේ ද කියවීමේ පුරුද්ද වර්‍ධනය කිරීම සඳහා ශ්‍රී සුමංගල පුස්තකාලය ආරම්භ කිරීමට ද කටයුතු කළේ ය.

උන්වහන්සේට නිවන් සුව ලැබේවා !