Print this Article


බොදු ගීයක මිහිර: සඳුන් සුවඳීන් ඔපවත් වෙන පහන් සිතිවිලි

බොදු ගීයක මිහිර:

සඳුන් සුවඳීන් ඔපවත් වෙන පහන් සිතිවිලි

පුන් සඳෙන් රැස් ගං තෙරෙන්
කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන්
සතුට උදා වේවා - මිහිර උදා වේවා

හදට හදක් නැත මෙහෙම හදක් නැත
පෝයදාට පෑ හඳ වාගේ
හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
මිහිකත සනසන හඳ වාගේ

කකුසඳ කෝණාගම සහ කස්සප
ගෞතම බුදුවරු දකින සඳේ
මතු බුදුවන මෙත් හිමිගේ මහිමය
බ ුදු රැස් දකිනා සුපුන් සඳේ

සුපුන් සඳෙන් නැඟෙනා රැස් දහරෙහි දසුන සැබැවින් ම අසිරිමත් ය. ඒ රැස් දහරින් බොදු සිත පුබුදු කරවයි.

ප්‍රවීණ ගීත රචක මාධ්‍යවේදී පී. එම්. සේනාරත්නයන් එය ගී පද වැළකට නැඟුවේ ‘පුන් සඳෙන් රැස් ගං තෙරෙන්...’ යනුවෙනි. ඒ 1971 වසරේදී ය. බොහෝ විට 1970 -1977 දක්වා කාලවකවානුව බොදු ගී කලාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වේ. එකල නිර්මාණය වූ බොහෝ ගීත බොදු මුහුණුවරකින් සුපෝෂිත වීම බෞද්ධයා ලද ඉමහත් භාග්‍යයකි.

‘පුන් සඳෙන් රැස් ගං තෙරෙන් ගීතයට නාද මාලාව සපයන්නේ නැසීගිය ප්‍රවීණ සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේනයන් ය. ගායනය කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ මධුර මනෝහර හඬෙනි. පසුකලෙක ගායන ශිල්පී පුන්සිරි සොයිසා ද මෙම ගීතය ගායනා කළේ ය. මෙලෙස එදා සිටම බොදු ගීත කලාවට ගායකයන් , වාදකයන්, ගීත රචකයන් දැක්වූ මෙහෙවර උදාර ය.

පුන් සඳෙන් රැස් ගංතෙරෙන්
කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන්
සතුට උදාවේවා - මිහිර උදාවේවා

සිසාරා ගලන සඳ රැස් දහරින් අසල පිහිටි පුදබිමක දසුන සිතෙහි මවයි. කොත් කැරැල්ල , බෝ මළුව දෙස ඔහුගේ නෙත ගැටෙයි. ‘සීත සමීරෙන් චන්දන කල්කෙන්’ යනුවෙන් සිසිල් සුළඟට මුසු වූ සඳුන් සුවඳින් ඔහුගේ සිත පිරී යයි. ආධ්‍යාත්මයේ අව්‍යාජත්වය, පහන් සිතිවිලි ‘සඳුන් සුවඳින්’ ඔපවත් වෙයි. ඒ නිසාම ඔහු සතුට උදාවේවා , මිහිර උදාවේවා යනුවෙන් පැතුමක් ද එක් කරයි.

සරල පද වැලකින් සමන්විත මෙම නාද මාලාවට එක ළඟ ඇසෙනා සංගීත රාවයත් වික්ටර් රත්නායකයන්ගේ රිදී සීනු හඬත් රසික හදවත වැළඳ ගනියි.

හදට හදක් නැත මෙහෙම හදක් නැත
පෝයදාට පෑ හඳ වාගේ
හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
මිහිකත සනසන හඳ වාගේ

ඒ සුපුන් සඳ සියල්ල සම සිතින් විඳ දරා ගනී. වෛරය, ක්‍රෝධය පිරි ‘හදවතට හදවතක්’ නැති ව්‍යාජ මිනිසුන්ට ද ‘පෝයදාට පෑ සඳ සේ’ ආලෝකය ලබා දෙයි. ඒ ආලෝකයේ සිසිලසින් මිහිකත සැනසී යයි. මෛත්‍රිය, කරුණාව, දයාව ආදී බෝසත් ගුණාංගයන් ගනඳුර නිවා දමා නැඟෙන සුපුන් සඳෙන් පසක් කරවයි. රසිකයාගේ සිතෙහි බුද්ධාලම්භන ප්‍රීතිය ක්‍රමයෙන් ඉස්මතු කරවයි.

කකුසඳ කෝණාගම සහ කස්සප
ගෞතම බුදුවරු දකින සඳේ
මතු බුදුවන මෙත් හිමිගේ මහිමය
බුදු රැස් දකිනා සුපුන් සඳේ

මේ සුපුන් සඳ අතීත බුදුවරු සතර නමක් දැක, මතු බුදුවන මෙත් බෝසතාණන්ගේ රැස් දහර දැකීමටත් පෙරුම් පුරයි. එහෙත් ඒ අජීවී වස්තුව බුදුවරු පස් නමක් දුටුව ද තවමත් සසර මඟ සැරි සරයි. මේ ආදර්ශය දෙස බෞද්ධයන් වන අප ප්‍රඥාවෙන් බැලිය යුතු ය. ඒ අප ද අජීවී වස්තුවක් වූ සඳ සේ අතීත සංසාර සාගරයේ සිට තවමත් පියමං කරන නිසා ය. එසේනම් කළ යුත්තේ මෙත් සිතිවිලි ප්‍රගුණ කරමින් අප්‍රමාදී ව කුසල් වැඩීම ය. ඒ බුදුවදන පසක් කරවන්නට මේ ව්‍යවසන සමය ඉතා කාලෝචිත ය.