Print this Article


පිටකොටුවේ බෝධීන් වහන්සේ රැකගත් දෙමළ මුදලාලි

පිටකොටුවේ බෝධීන් වහන්සේ රැකගත් දෙමළ මුදලාලි

බොදු දියුණුවට අත දුන් හින්දු බැතිමතකු වූ පිටකොටුව ලීලා ස්ටෝර්ස් හිටපු අධිපති එස්.ටී. සින්නදුරේ මහතාගේ 117 වැනි උපන්දින සමරුව වෙනුවෙනි.

විදුලි බිල නොගෙවීම නිසා පිටකොටුවේ බුදු මැදුර සහ බෝධීන් වහන්සේ එදා අඳුරට පත් වී තිබුණි. මේ ආසන්නයේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය දෙමළ මුදලාලි කෙනකුට පසුදින උදේ මෙය දැනගන්නට ලැබුණි. බුදු මැදුර සහ බෝධීන් වහන්සේ බලා ගන්නා ආවතේවකරුට කතා කළ ඔහු ඉක්මනින් ම විදුලි බිල ගෙවන ලෙස කියා මුදල් දුන්නේ ය. අවට වෙළෙඳ ව්‍යාපාරිකයන්ට සහ පදික වෙළෙඳුන්ට පණිවුඩ යවා පොඩි රැස්වීමක් පැවැත් වූ මොහු එස්.ටී. සින්නදුරේ (ලීලා) මුදලාලි මහතා ය. ශ්‍රී ලංකාවේ සෑම පළාතකින්ම කොළඹට පැමිණෙන සියලු දෙනාට ම ප්‍රථමයෙන්ම දකින්නට ලැබෙන්නේ මේ සිද්ධස්ථානයයි. මොන ආගමක වුණත් මෙය අඳුරේ තියන්නට හොඳ නැහැ. අවට සිටින උදවිය වශයෙන් අපට එය ලොකු අවනම්බුවක්, ඒ නිසා මේ ස්ථානය අප දියුණු කරන්නට ඕනෑ. ඒ සඳහා අප ජාති ආගම් බේද ආදියෙන් තොරව සමිතියක් පිහිටුවා ගත යුතු යැයි ඔහු එදා ප්‍රකාශ කළේ ය.

පිටකොටුවේ එක්සත් බෝධිරාජ සමිතිය එදා ආරම්භ වූ මුල් අවදියේ දී සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීහු සහ සියලුම ආගමිකයෝ කිසිම භේදයකින් තොරව එයට ඇතුළත් වූහ.

මීට වසර 40 කට පෙර අපෙන් සමුගත් ෂන්මුගම් තම්බයියා සින්නදුරේ මහතා අප රට තුළ අනාගතයේ ඇතිවිය හැකි අභියෝග කල්තියා හඳුනාගෙන, ඒවා ජය ගැනීමට විවිධ උපාය මාර්ග ප්‍රායෝගික ව, භාවිත කළ ශ්‍රී ලංකාව එක්සත් දේශයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන්නට අතිමහත් සේවාවක් නිහඬව සිදු කළ දේශප්‍රේමියෙකු, මානව හිතවාදියෙකු ලෙස හැඳින්විය හැකි ය.

20 වැනි සියවසේ අග භාගයේ දී එනම් 1903 ජූලි 23 දා මීට වසර 117 කට පෙර උතුරේ යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ දී උපත ලැබූ සින්නදුරේ යොවුන් වියේ දී කොළඹට පැමිණ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අතරේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, සාගර පලන්සූරිය, පී.වී. ලැනරෝල්, මීමන ප්‍රේමතිලක, පියදාස පලන්සූරිය, ඇල්.පී. දේශබන්දු, චන්ද්‍රරත්න මානවසිංහ සහ කුමාරතුංග මුනිදාස වැනි සිංහල සාහිත්‍යධරයන් සමඟ එකට එක්ව සිංහලයෙකු මෙන් ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයට දායක විය.

පසු කාලීනව 1980 මාර්තු 22 වැනි දින මියයන තෙක් අවුරුදු 60 ක් පමණ වූ කාල පරාසය තුළ මෙතුමා සිදු කළ ජාතික, ආගමික, සමාජයීය කටයුතු පිළිබඳ අවලෝකනය කිරීමේ දී මෙතුමා තුළ ආගමික සංහිඳියාව සහ සිංහල, දමිළ මිත්‍රත්වය නොබිඳෙන ලෙස ඒකාත්මික කර තබන්නට අදහාගත නොහැකි තරම් උනන්දුවක් සහ අවශ්‍යතාවයක් පැවැති බව මනාව පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ උතුරින් දකුණට සංක්‍රමණය වූ මොහු කොළඹ පිටකොටුවේ බෝගහ හන්දියේ ලීලා ස්ටෝර්ස් නමින් වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. එකල අනාරක්ෂිතව පැවැති මෙම බෝධි වෘක්ෂය ඉංගී‍්‍රසි ආණ්ඩුව මඟින් අවස්ථා දෙකකදී ම කපා ඉවත් කිරීමට සූදානම් වූ අතර මෙම හින්දු බැතිමතා සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ඊට විරෝධය ප්‍රකාශ කිරීම නිසා එය වළක්වා ගත හැකි විය. සෑම දිනකම උදෑසන මෙම බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්වීමට පුරුදුව සිටි සින්නදුරේ බෝධිය වටා ආරක්ෂිත වැටක් ඉදිකොට ගේට්ටුවක් ද දැමී ය. පසුව බුදු කුටියක් ඉදිකොට බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන ලදී. උපතින් හින්දු බැතිමතෙකු වුවත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කරන්නට විශාල පරිශ්‍රමයක් දැරූ මෙතුමා වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙන, මහව පළමුගෙදර ශ්‍රී මංගලාරාමය, අනුරාධපුර කුරුන්දන්කුලම සද්ධර්ම විවේකාශ්‍රමය සහ ඇහැලියගොඩ සාම මහා විහාරය ආදී විහාරස්ථාන රැසක දියුණුව උදෙසා සින්නදුරේ පවුලේ සෘජු දායකත්වය ලබා දී ඇත. සිංහරාජ වන පෙදෙස් සුමංගල ජන විජය චෛත්‍යය ඇතුළු ශ්‍රී ලංකාව පුරා තවත් විහාරස්ථාන රැසක් සංවර්ධනය උදෙසා ද මොහු අනුග්‍රහය ලබා දී ඇත.

එසේ ම ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල සිතුවම් සහිත දින දර්ශනය වන ලීලා පංචාංග දින දර්ශනය මොහුගේ සුවිශේෂතම සේවාවකි.