Print this Article


මාරාන්තික වසංගත රෝගවලින් මිදීමට බුදු දහමෙන් උපදෙස්

මාරාන්තික වසංගත රෝගවලින් මිදීමට බුදු දහමෙන් උපදෙස්

පමණ ඉක්මවා ආහාර ගත් කොසොල් මහරජුට බුදුරදුන් වදාළ පරිදි, සිහි බුද්ධියෙන් ක්‍රියකරන මිනිසුන් පමණ දැන ආහාර ගත යුතු ය. එවිට කුසගින්න මෙන්ම තවත් කායික වේදනාවෝ ද නැති වෙති.

පෙර කිසිදාක නොවූ විරූ ආකාරයේ බලවත් ම සෞඛ්‍ය ගැටලුවකට අපි මුහුණ දුන්නෙමු. චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගෙන ඇරඹි කොවිඩ් 19 හෙවත් නව කොරෝනා යැයි, නම් ලද මාරාන්තික වසංගත රෝගී තත්ත්වය මුළු මහත් ලෝකය ම වෙළාගෙන පැතිර යාමට ගතවූයේ ඉතා කෙටි කලකි. රෝග නිධානයක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් මෙතෙක් ස්ථිරව සොයාගෙන නොමැති හෙයින් මෙම වෛරසය ලොවෙන් තුරන් කිරීමේ බලවත් අභියෝගයකට ලොව පුරා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මුහුණ පා සිටිති. ලෝකයේ ආර්ථිකය හා තාක්ෂණය අතින් අද්විතීය. බලවත් රාජ්‍යයන් ජනතාවට ද මෙමඟින් අත් වූ ඉරණම ඉතා ඛේදජනකය.

විසාලා මහනුවර තුන්බිය

මෙවන් වසංගත රෝග සම්බන්ධ ව ඉතිහාසය විමසා බැලීමේ දී මුලින්ම මතකයට නැගෙන්නේ බුදුරදුන් ධරමාන අවධියේ දී දඹදිව විසාලා මහනුවර ඇතිවූ රෝග, දුර්භික්ෂ හා අමනුෂ්‍ය යන තුන්බිය පිළිබඳ සිදුවීමයි. මේ පිළිබඳ බුදුගුණ අලංකාරයේ දී වීදාගම හිමි ඉදිරිපත් කොට තිබෙන කාව්‍යමය වාර්තාව තුළ මෙසේ දැක්වෙයි.

ගොඩ ගොඩ ඇට සැකිලි - තැන තැන තුබු බලි බිලි
මග මග රෙදි වැරැලි - එ පුර ඇම තැන බලත් පිළිකුලි

ගොඩබිමක් ගොඩබිමක් ගානේ ඇට සැකිලි ය. නොයෙක් තැන තිබුණා වූ බලි බිලිය. පාරක් ගානේ රෙදි වැරැලි ය. මෙසේ ඒ පුරය හැම තැන බලන කල්හි පිළිකුල් සහගත ය.

දොර දොර මිනී බෙර - ගෙයි ගෙයි හඬය බිය කර
පිළ පිළ අදින මර - දුගී ගිලනුන්ගෙන් නැත’ වසර

දොරටුවක් ගානේ මිනී බෙර ය. ගෙයක් ගානේ භයංකර හඬ ය. පිළක් ගානේ මැරෙන්නට පණ අදින දුප්පත් ලෙඩුන් ගෙන් ඉඩක් නැත

මුත වරල ඉස ඉස - හෙන කඳුළැලි ය ඇස ඇස
සාගිනිය කුස කුස - කියන දුකුළවු ම විය බස බස

හිසක් ගානේ කොණ්ඩය පීරා එක්කොට බැඳ නො තැබූ කෙස් වැටි ය. ඇසක් ගානේ වැස්සෙන්නා වූ කඳුළු ධාරා ය. කුසක් ගානේ සාගිනි ය. බසක් ගානේ කියන්නා වූ දුක් විලාප ය

මේ ආදී වශයෙන් එන විසාලා මහනුවර තුන් බිය පිළිබඳ වූ වාර්තාව තුළින් එම වසංගතයෙ හි බැරෑරුම් ස්වභාවය වටහා ගැන්ම අපහසු නො වෙයි. එසේ ම තවත් වෙනස් ස්වභාවයක මාරාන්තික වසංගත රෝගයක් පිළිබඳ වූ තොරතුරු බුදුරදුන් දවස සිටි කුම්භඝෝෂක සිටුවරයාගේ ජීවන කතා පුවත තුළින් දැකගත හැකි ය. සර්පයන් ගෙන් ප්‍රභවය වූවක් යැයි, කිවහැකි අහිවාතක නම් වූ එම රෝගයෙහි ස්වභාවය පිළිබඳ සද්ධර්මරත්නාවලී කතුවර ධර්මසේන හිමියන්ගේ වදනින් ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍යය.

අහිවාතක රෝගය

රජගහ නුවර ධන සිටාණ කෙනකුන් ගේ ගෙයි අහිවාතක නම් රෝගයෙක් උපන. ඒ රෝගය ඇති වූ කල ගෙයි මැස්සන් ආදි කොට ගවයන් දක්වා තිරිසනුන් පළමු කොට මියෙති. ඉක්බිති දැසි දස් ආදීහු මියෙති. ඒ සියල්ල වුන්ට පසුව ගෙහිමියෝ මියෙති. එකල්හි ද එපරිද්දෙන් ම අහිවාතක රෝගය සියල්ල වුන්ට පසුව සිටාණන් හා අඹෙණියන් (භාර්යාව) ගත රෝගයෙන් පීඩිත වූ ඔහු දෙදෙන සමීපයෙහි සිටි පුතණුවන් මුහුණ බලා කඳුළු පිරුණු ඇස් ඇතිව ඒ පුතණුවන්ට කියන්නාහු” පුතණ්ඩ මේ රෝගය ඇති වූ කල ගෙයි භික්ති බිඳගෙන ගියාහු ජීවත් වෙති. තෙපි අප නො බලා පලා ගොස් ජීවත්ව ගෙන පසුව අවුත් අසවල් තෙන නිධාන කොට තුබූ සතලිස් කෙලක් වස්තු ඇත. ඒ හැර ගෙන සැප සේ රැකෙව“ යි, කීහ. එතෙම ඔවුන් බස් අසා හඬා වැලප දෙමව්පියන් වැඳ මරණ භයින් බියපත්ව ගෙයි භික්ති බිඳගෙන නික්ම පර්වත ගහනයකට පලා ගොස් දොළොස් හවුරුද්දක් එතැන් හි වැස පසුව ආයේ ය.

ඉතා වේගයෙන් ජන සමාජය තුළ පැතිර ගිය මාරාන්තික වසංගත රෝග පිළිබ ඳ මෙවැනි ඓතිහාසික කතා පුවත් තුළින් සේ ම ලොව කලින් කලට හිස එස වූ යම් යම් වසංගත රෝග පිළිබඳ වාර්තාවන් තුළින් අපි අසා ඇත්තෙමු. එහෙත් ඉතා සියුම් ලෙසත් ඉතා සීඝ්‍රවත් ගම් , නගර හා රටවල් පුරා පැතිර යන අද ලෝකයේ වැඩියෙන් කතාබහ කෙරෙන නව කොරෝනා වසංගත රෝගය සහිත පරිසරයක ජීවත්වීමේ අත්දැකීමට කිසිදු කලෙක අපි මුහුණ නුදුන්නෙමු. එබැවින් මෙය අපට පමණක් නොව මුළු ලෝකවාසීන්ටම ආගන්තුක වු නවමු බිහිසිණුූ අත්දැකීමකි.

රෝගාබාධ නාමාවලියක්

එදා මෙදාතුර ලොව හටගත් බෝ වන හා බෝ නො වන මාරාන්තික වසංගත රෝග විවිධ ස්වභාවයන් ඔස්සේ පැතිර ගොස් තිබේ. ඒ අතර මාරාන්තික නොවන සාමාන්‍ය තත්ත්වයේ රෝග ද පවතියි. අප ගේ මෙම මිනිස් ශරීරය මරණයට හේතුවන නොයෙක් සිය ගණන් අභ්‍යන්තර රෝගයනට ද බාහිර උවදුරුවලට පොදුය. එම රෝග හා උවදුරුවලට ගොදුරුවීමෙන් මානව වර්ගයා ඇතුළුව සෙසු සියලු සත්ත්ව වර්ගයා විවිධ පීඩාවන්ට ද මරණයට ද පත් වෙති. මෙහිදී මිනිස් ශරීරයෙහි විවිධ අවයව මුල්කරගෙන හටගන්නා රෝගාබාධ පිළිබඳ අප හොඳින් දැන සිටිය යුතු ය. ගිරිමානන්ද සූත්‍රයෙහි හමුවන රෝගාබාධ නාමාවලිය විමසා බැලීම මෙහි දී ඉතා වැදගත් ය. ඒවා එහි එන අනුපිළිවෙලින් මෙසේ ය.

ඇස් රෝගය, කර්ණ රෝගය, නාසිකා රෝගය, දිවේ ඇතිවන රෝගය, කයෙහි ඇතිවන රෝගය, හිසෙහි ඇතිවන රෝගය, කර්ණ මූලයෙහි ඇතිවන රෝගය, මුඛ රෝගය, දත් රෝගය, කාස රෝගය, ස්වාස රෝගය, පීනස . දැවිල්ල. උණ, උදර රෝගය, මූර්ජාව , අතීසාරය, ඉදිමීම, විසූචිකාව, කුෂ්ට, ගඩු, කිලාසය, සෝසය, අපස්මාරය, දද, කැසිල්ල, කච්ඡු නම් වු කුෂ්ට රෝගය, නිය රෝගය, විචර්චකා නම් වූ කුෂ්ට රෝගය, රත්පිත, මධුමේහය , අංශ රෝගය, පිළිකාව, භගන්දලා, පිතෙන් ඇතිවන රෝගය, සෙමෙන් හටගන්නා රෝගය, වාතයෙන් හටගන්නා රෝගය, තුන්දොසින් වන රෝගය, ඍතු පෙරලියෙන් ඇතිවන රෝගය, විෂම ආහාරපානාදිය ගැනීමෙන් ඇතිවන රෝගය, උපක්‍රමවලින් ඇතිවන රෝගය, කර්ම විපාකයෙන් ඇතිවන රෝගය, සීතල, උෂ්ණය, සාගින්න, පිපාසය, අහර, මල, මුත්‍ර ආදිය නිසා හටගන්නා රෝග

ශරීරය රෝගයනට ආකරයක් මෙන් ම පොදු ස්වභාවයක් පෙන්නුම් කරන බව බුදුදහමේ ඉගැන්වෙන්නේ මේ නිසා ය.

ජීවිතයක් සාර්ථක ව පවත්වාගෙන යාමට නම් මෙවන් රෝගයන්ගෙන් මිදුණු මානසික මෙන් ම කායික නිරෝගීතාව ද අවශ්‍ය ය. ශරීරය ලෙඩ රෝගවලින් යුක්ත වූ විට නො ලැබුණු දියුණුවක් ලබන්නටත්, ලැබුවා වූ දියුණුවෙන් ප්‍රයෝජන විඳීමටත් නොහැකි වෙයි. නිරෝගී පුද්ගලයා නොලැබුණූ දියුණුව ලැබීමටත්, ලැබුවා වූ දියුණුවෙන් ප්‍රයෝජන විඳීමටත් සමත්වන්නේ ය. ඒ අනුව බැලූ විට මිනිස් ජීවිතයක අන් සියලු දුෂ්කරතාවලට වඩා බලවත් වන්නේ රෝග පීඩාවන් ය. “ආරෝග්‍ය පරමාලාභා” යනුවෙන් නිරෝගී බව උසස්ම ලාභය යැයි බුදු රජාණන්වහන්සේ දේශනා කළේ එබැවිනි.

ශිෂ්ට සම්මත සීමාව ඉක්මවීම

නිරෝගී දිවි පෙවෙතක් උරුමකර ගැනීමට නම් අපි මනා සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කළ යුතු වෙමු. ඒ වෙනුවෙන් අපට ඉගැන් වූ කරුණු රැසක් බුදුදහම තුළ සඳහන්ව ඇත. ගිහි ජීවිතයේ දී නිත්‍ය වශයෙන් ආරක්ෂා කළයුතු යැයි, උගන්වා ඇති පංචසීලය පවා නිරෝගී ජීවිතයකට මග පෙන්වයි. එහි තුන්වැනි සිල් පදය කාම මිත්‍යාචාරය හෙවත් කාමය වරදවා හැසිරීමයි. එයට ම පරදාර සේවනය යැයි ද කියයි. එනම් ශිෂ්ට සම්මත සීමාවන් ඉක්මවා අසම්මත ලෙස අශිෂ්ට ලෙස ස්ත්‍රී පුරුෂ සබඳතා පැවැත්වීමයි. එය ඉතා භයානක මාරාන්තික රෝගවලට මූලික හේතුවක් වෙයි. වර්තමාන ලෝකයේ විශාල පිරිසක් එබඳු රෝග පීඩාවන්ට ගොදුරු වී සිටිති. ඔවුහු සිතින් ද, කයින් ද අපමණ දුක් විඳිති. ජීවිතයේ සියලු අපේක්ෂා බිඳ වැටී සතුට සැපත අහිමි වී ජීවත් වෙති. වැරැදි කාම සේවනයෙන් වැළකීම නීරෝගී මිනිසුන් සහිත සමාජයක් ගොඩනගා ගැනීමට විශේෂයෙන් ම උපකාරී වන බව මින් පැහැදිලි වේ.

දුසිරිතෙහි පිහිට පැතීම

පංච සීලයෙහි පස්වෙනි ශික්ෂා පදය මනාව ආරක්ෂා කිරීම ද නිරෝගීකම වෙනුවෙන් ඉතා වැදගත් වෙයි. එමගින් කියැවෙනුයේ මදයට හා ප්‍රමාදයට හේතුවන මධ්‍යසාර භාවිතයෙන් වැළකී සිටීම ය. සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් උපයන ධනය විනාශ වන කරුණු සය අතර පළමුවැන්න මධ්‍යසාර භාවිත කිරීමයි. එමගින් ලැබෙන විපාක සයක් ද එහි සඳහන් වෙයි. එහි තෙවැන්න වනුයේ නොයෙක් රෝගාබාධ හටගැනීමයි.

මත්ද්‍රව්‍ය , මත්වතුර ආදිය භාවිත කිරීමෙන් මාරාන්තික රෝග පීඩාවන්ට ගොදුරු වී සිටින ජන සංඛ්‍යාව ද ලෝකයේ ඉතා විශාල ය. එබැවින් අද වන විට මධ්‍යසාර භාවිතය මුළු මහත් සමාජයට ම බලවත්ම ව්‍යසනයක් වී තිබේ. ශරීරයට බොහෙවින් ම අහිතකර මෙම නුසුදුසු පුරුදු නිසා අනන්ත රෝගාබාධවලට ගොදුරු වූවන් සමාජයේ කොතෙකුත් දැකිය හැකි ය. සමහරු දවසේ වැඩ නිමකොට අධික වෙහෙස මහන්සිය දුරුකර ගැනීමේ පහසු මගක් ලෙස ද, මානසික පීඩාවන් අවමකර ගැනීමට ද, ඇතැම් වේදනාවන් තාවකාලිකව යටපත් කර ගැනීමට ද , විකෘති සතුටක් ලබා ගැනීමට ද මෙම දුසිරිතෙහි පිහිට සොයති.

මත්ද්‍රව්‍ය හා මත්වතුර ඉතා ඉක්මනින් සිරුරේ රුධිරය හා මිශ්‍රවී මුළු සිරුරට ම උත්තේජනයක් ලබාදෙයි. එහෙත් එය අහිතකරය . මෙම උත්තේජනයට හුරුවූවෝ නැවත නැවතත් එහිම ඇලිී , එහි ඇති තාවකාලික සුවය ම සොයා යති. අවසානයේ සිදුවන්නේ උපතින් ම මනුෂ්‍යයෙකුට උරුම වූ මහාර්ඝ සම්පතක් වන මොළයෙහි සෛල විශාල ප්‍රමාණයක් අකාලයේ විනාශ වී යාම ය. මෙම තත්ත්වය නුවණින් වටහා නොගැනීම නිසා මේ වන විට විනාශ වූ ධනය ද, ජීවිත සංඛ්‍යාව ද ඉතා විශාල ය. හෘදයාබාධ, පිළිකා, අක්මාවේ රෝග සහ වකුගඩු රෝගවලට ද ප්‍රධාන හේතුවක් වන්නේ මධ්‍යසාර භාවිතය යි.

රෝගවලට අත වැනීම

දුම්බීම කායික සෞඛ්‍ය දුර්වල කරන තවත් ප්‍රධාන හේතුවකි. මුඛ පිළිකා හා හෘද රෝගවලටත් ස්වසන පද්ධතියේ මෙන් ම ශරීරයේ සෙසු අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ගේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමටත් ප්‍රධාන හේතුවක් වන්නේ දුම්බීම යි. වෙනත් පුද්ගලයින් අප ඉදිරිපිට දුම්බීම අපගේ සෞඛ්‍යයට ද අහිතකර ලෙස බලපාන බව වෛද්‍ය මතය යි. ජනතාව නිතර ගැවසෙන පොදු ස්ථානවල සිට ඇතැම්හු නීතියටත්, සදාචාරයටත් පටහැනිව දුම් උරති. එය එම ස්ථානවල සැරිසරන්නන්ට මහත් පීඩාවකි. දුම්බීම තම සමාජ තත්ත්වය ඉහළ තලයක රඳවා ගැනීමට හේතුවක් ලෙස ඇතැමුන් විශ්වාස කළ කාලයක් තිබුණි. එහෙත් අද සමාජයේ මිනිස්සු කායික ලෙඩ රෝග පිළිබඳව වෙනදා නොවූ විරූ අවධානයකින් පසු වෙති. එවන් මිනිසුන් අතුරෙහි දුම්බොන පුද්ගලයා කොන්වීම නිරායාසයෙන් ම සිදු වන්නකි. එබැවින් අද එය ආඩම්බර වීමට කරුණක් නො වන බව සමාජය විසින් ම පිළිගෙන ඇත. මුල දී අනවබෝධය නිසා මෙම මාරාන්තික ව්‍යසනයට ගොදුරු වූ බොහෝ දෙනෙකු දැන් ඒවායින් දුරුවී සිටිනු ද දැකිය හැකි ය.

භයානකම උවදුරක්

පසුගිය දශක දෙකක පමණ කාලයක සිට ටිකෙන් ටික පැතිරී ජනතාව විනාශ මුඛයට ඇදගෙන යන භයානකම උවදුර මත්කුඩු භාවිතයයි. ඒවා භාවිතයේ දුර්විපාක කෙතරම් භයානක ද යත්, එය සිරුරෙහි සාරය උකහා බී පුද්ගලයෙකු හුදු ඇටසැකිල්ලක් බවට පත්කරයි. හැම අතින්ම ඔහු ගේ පිරිහීම ප්‍රකට වෙයි. කායික ඉන්ද්‍රියයන් ගේ ක්‍රියාකාරිත්වයට බලවත් බාධාවක් මිස කායික සෞඛ්‍යයට හිතකර වූ කිසිදු ප්‍රයෝජනයක් මත්ද්‍රව්‍යයන්ගෙන් මිනිසාට නොලැබේ. කායික නිරෝගිතාවයෙන් තොර පුද්ගලයන්ගෙන් පිරි සමාජයකට රට, ජාතිය. ආගම පෝෂණය කළ නො හැකිය. ආරක්ෂා කළ නො හැකිය. යහපත් කායික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට මත්ද්‍රව්‍ය බලවත් ම බාධාවක් වන හෙයින්, කවර බලපෑම් පැමිණිය ද ඒවාට හසු නොවී ක්‍රියා කිරීම සිදුකළ යුතු ම ය.

ආහාරයේ අරමුණ

කායික නිරෝගීතාව අඩපණ කරවන තවත් සාධකයක් වන්නේ ආහාර පිළිබඳ අනිසි හුරුපුරුදුකම් ය.ආහාරය කායික රෝගී බවට මෙන්ම නිරෝගී බවටද බලපෑමක් ඇති කරයි. බුදුදහම අනුව කුසගින්න ලොව බලවත් ම රෝගය යි. සියලු සත්ත්වයන් ජීවත්වන්නේ ආහාරයෙනි. ආහාර ගැනීමෙන් අප බලාපොරොත්තු විය යුතු ප්‍රධාන කරුණු කිහියක් මෙසේ ය.

ශරීරයේ යහපත් පැවැත්ම, යැපීම, උපන් කුසගිනි වේදනා දුරුකර ගැනීම, නූපන් කුසගිනි වේදනා වැළැක්වීම, ආයුෂ, වර්ණය, සැපය, බලය, මෙන්ම නුවණ ද වැඩදියුණුවීම

මේ අනුව සුදුසු ආහාර, සුදුසු පරිදි අනුභව කිරීම කායික සෞඛ්‍යය සුරැකීමේ අත්‍යවශ්‍ය පියවරක් ලෙස දැක්විය හැකි ය. ප්‍රමාණයට වඩා ආහාර අනුභව කිරීම කායික සෞඛ්‍යයට කිසිසේත් ම හිතකර නොවේ. පමණ ඉක්මවා ආහාර ගත් කොසොල් මහරජුට බුදුරදුන් වදාළ පරිදි, සිහි බුද්ධියෙන් ක්‍රියකරන මිනිසුන් පමණ දැන ආහාර ගත යුතු ය. එවිට කුසගින්න මෙන්ම තවත් කායික වේදනාවෝ ද නැති වෙති. ගන්නා ආහාර සැණෙකින් දිරවයි. ආයු සම්පත් වැඩිදියුණු වෙයි. අධිපෝෂණය සිරුරට අහිතකරය. මේදය අධිකවීම හේතුවෙන් වැළඳෙන රෝගී තත්ත්වයන් සමාජය තුළ බහුලව දැකිය හැකි ය. ආහාර වැඩියෙන්, අනුභව කිරීමත් ඊට සරිලන පරිදි කායික වෙහෙසීමක් සිදු නොවීමත් මෙම රෝගවලට ප්‍රධාන හේතුවකි. එය පාලනය කරගත නො හැකි වුවහොත් මුළු ජීවිත කාලය ම ඒ නිසාම පීඩා විඳීමට සිදුවෙයි. ආහාර අනුභවයේ දි අප සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.

ශරීරයට හිතකර වූ ආහාර වේලක් තෝරා ගැනීම

එළවළු හා පලා වර්ග ආහාරයට ගැනීම

පළතුරු වර්ග හැකිතාක් ආහාර වේලට එක්කර ගැනීම

පිළිකා කාරක කෘත්‍රිම රසායනික වර්ග අඩංගු නොවන ස්වභාවික ආහාරපාන භාවිතය

රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් කෘත්‍රිම ලෙස වර්ණ ගැන්වූ ආහාරපාන භාවිතයට නො ගැනීම

ඉහත කී කරුණු සියල්ල සැලකිල්ලට ගත් විට නිරෝගීකම උතුම් ම ලාභයක් බව නොයෙක් අයුරින් පැහැදිලි වේ. එසේ ම බුදුදහමට අනුව නිවනින් මෙ පිට පුද්ගලයෙකුට ලබාගත හැකි උත්තරීතර සැපතක් ලෙසද නිරෝගීකම ඇගයිය හැකි ය. නිවැරැදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් යහපත් නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ. මේ වකවානුව තුළ මුළු ලොවට ම බලවත් සෞඛ්‍ය තර්ජනයක් ගෙන දුන් මාරාන්තික කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගත රෝගයෙන් මිදිය හැකි එකම මග ද නිසි සෞඛ්‍ය පිළිවෙත් සුරැකීමයි. වෛද්‍ය විශේෂඥයින් සේ ම ඒ පිළිබඳ දැනුමැති පුද්ගලයින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් මෙම කොරෝනා සමය තුළ මතු නො ව යාවත්කාලීන ව පිළිපැදීමට හුරුපුරුදුවීම වඩාත් බුද්ධිගෝචර ක්‍රියා පිළිවෙතක් සේ පෙන්වාදිය හැකි ය.