Print this Article


සියලු වියතුනට සිළුමිණක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ

සියලු වියතුනට සිළුමිණක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ

සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ඉතිහාසය පිරික්සීමේ දී කාව්‍ය නිර්මාණයෙහිලා නෛසර්ගික කාර්යශූර භාවයකින් හෙබි විශිෂ්ඨතම යතිවරයන් වහනන්සේ නමක් ලෙස ෂට් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හඳුන්වාදිය හැකි ය.

වර්ෂ 1408 මැයි 08 වන දින ජන්ම ලාභය ලැබූ ශ්‍රී රාහුල හිමියන් ගේ දෙමව්පියන් වූයේ ස්වර්ණවතී නොහොත් සීලවතී දේවිය හා එකල දකුණුලක භාරව සිටි වීරබාහු නම් කුමරු ය. ජයබාහු කුමරු ලෙස ගිහි කල නම් ලැබූ ශ්‍රී රාහුල හිමි ඉතා කලාතුරකින් එළඹෙන ග්‍රහ යෝගයක් සමග ජන්ම ලාභය ලබා ඇත. එය කෙතරම් ප්‍රබල වූවක් ද යත් එවක නක්ෂත්‍ර ආචාරීන්ගේ අනාවැකිය වූයේ මෙම කුමරු ගිහිගෙයි විසුවොත් රජ වන බවත්, පැවිදි දිවියට පිවිසුණහොත් ඒ හා සමාන උසස් තත්ත්වයකට පත්වන බවත් ය. සිය පියා වූ වීරබාහු කුමරුගේ අකල් වියෝවෙන් පසු මෙම කුමරු හදා වඩා ගත්තේ කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජු ය.

එදා සත් හැවිරිදි දරුවෙකු ව සිටිය දී ජයබාහු කුමරු මව සමග හයවන පරාක්‍රමබාහු රජු මුණ ගැසීමට ගිය විට රජු දුක් සැප විමසුවේ ය. එවිට කුඩා කුමරු මෙවන් කවියක් ප්‍රකාශ කොට ඇත.

මා වැනි බිළින්ඳා
වර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා

සත් හැවිරිදි දරුවෙකු ගෙන් රජු මෙවන් හපන්කමක් කිසිසේත් ම බලාපොරොත්තු නොවී ය. මවිතයට පත් රජු මෙම දරුවා ස්වකීය පුත්‍ර ස්නේහයෙන් හදා වඩා ගැනීමට දෙන මෙන් ස්වර්ණවතී මෑණියන් ගෙන් ඉල්ලා සිටියේ ය. පිය සෙනෙහස අහිමි ව සිටි දරුවාට ද මෙවන් පිය සෙනෙහසක් හා රැකවරණයක් අවශ්‍ය ව පැවති හෙයින් මව ඊට කැමති වූවා ය. රජුට ද පිරිමි දරුවන් නොසිටි අතර සිටියේ දියණියන් දෙදෙනෙකි. එදා සිට රජු ජයබාහු කුමරු හදාවඩා ගත්තේ අප්‍රමාණ පුත්‍ර ස්නේහයකිනි.

ජයබාහු කුමරු ස්වකීය මව ගේ ද කැමැත්ත ඇතිව ක්‍රි.ව.1425 දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට පත්වූයේ කෑරගල වනරතන සංඝරාජ හිමියන් ගේ ආචාර්යත්වයෙනි. ඒ වන විට වයස අවුරුදු 17 කි. එහි දී පැවිදි නාමය වූයේ දෙමටාටගම වාචිස්සර යන්නයි. උපසම්පදාව ලබා ගත්තේ වර්ෂ 1438 දී ය. වාචිස්සර හිමියන් ගේ මුල් පන්සල වුයේ ද ස්වකීය මුත්තණුවන් වූ උත්තරමූල රාහුල හිමියන්ගේ මුල් පන්සල වූ ප්‍රතිරාජ පිරිවෙණ බද ගණේගොඩැල්ල විහාරස්ථානය යි. මෙම විහාරස්ථානය ඉදිකොට ප්‍රදේශය ද දියුණු කොට ඇත්තේ දේවපතිරාජ ඇමතිවරයා ය. පසුව එම විහාරස්ථානය අනෝමදස්සි හා වේදේහ යන මහතෙරුන් වහන්සේලා වෙත පුද කළේ ය. වාචිස්සර හිමි ද මෙම විහාරස්ථානයට පැමිණ තත් ප්‍රතිරාජ පිරිවෙණින් අධ්‍යාපනය ලැබී ය. සයවන පරාක්‍රමබාහු රජු වාචිස්සර හිමියන්ට ආධාර වන පිණිස මෙම ප්‍රදේශයේ තිබූ සශ්‍රීක කුඹුරක් වූ මහවෙල හා ගොඩපිටිය යන ගම ද උත්තරමූල රාහුල හිමියන්ට පූජා කළේ ය. උත්තරමූල හිමියන් ගේ ඇවෑමෙන් තොටගමු පිරිවෙණ හා විහාරයේ අධිපතීන් වහන්සේ ලෙස රජතුමා පත් කළේ එවකට ගණේගොඩැල්ල පන්සලේ වැඩසිටි වාචිස්සර හිමියන් ය. මෙය රටේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන්නේ එයින් පසුව යි. තෙල්වත්තේ රන්පත් වෙහෙර නමින් ද එකල විජයබාහු පිරිවෙණ හැඳීන්විණ.

උත්තරමූල රාහුල හිමියන් ගේ අපවත්වීමෙන් පසු වාචිස්සර හිමි ස්වකීය මුත්තණුවන් වූ ශ්‍රී රාහුල හිමියන් ගේ නාමය ස්වකීය නමට එක්කොට ගත්තේ ය. තොටගමුවේ පිරිවෙණෙහි වැඩසිටි නිසා උන්වහන්සේ “තොටගමුවේ ශ්‍රී රාහුල හිමි” නම් විය. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සතු ස්මරණ ශක්තිය විශ්මයජනක එකක් ම විය. ඒ පිළිබඳ සඳහන් වන ජනප්‍රවාදයක් පවතියි. දිනක් වීදාගම හිමි ධර්ම දේශනයකට වැඩමවීමට පෙර බලගතු සරස්වතී තෙල් බඳුනකට අශ්ව කෙන්දක් දමා සත් වරක් ගසා දමා එය දිවේ ගා ගන්නා අයුරු කුඩා රාහුල හිමි බලා සිටියේ ය. ගුරු හිමියන් පන්සලෙන් පිටත් වූ විගස කුඩා රාහුල හිමියන් කළේ එම තෙල් බඳුන ගෙන පානය කිරීම යි. එය බලවත් ඖෂධයක් වූ නිසා රහල් හිමි සිහිමූර්ජා වී ඇද වැටුණි. වහාම මේ බව ගුරුහිමියන්ට දන්වන ලදුව උන්වහන්සේ සැණෙකින් ආපසු පැමිණ බෙහෙත් ඔරුවක දමා කුඩා රාහුල හිමි සුවපත් කළ හ. මෙම ඖෂධයේ බලගතුකම නිසා රාහුල හිමි මතක ශක්තියෙන් අගතැන්පත් වූ බව මෙම ජනප්‍රවාදයෙන් කිය වේ.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගෞරව සම්මානයට පාත්‍ර වූයේ “ෂට්භාෂා පරමේශ්වර” යන නාමයෙනි. එයට හේතුව සංස්කෘත, ප්‍රාකෘත, පෛශාවි, සෞරසේනි අප්‍රභංශ යන භාෂා සය පිළිබඳ පෘථුල දැනුමක් උන් වහන්සේ සතු වීම යි. එසේම ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය (තෙවලා වදනිසුරු) යන ගෞරව නාමය ද උන්වහන්සේට හිමි විය. ශ්‍රී රාහුල හිමි ස්වකීය පාණ්ඩිත්‍යය කාව්‍යශේඛරයේ දී දක්වන්නේ මහත් අභිමානයෙන් යුක්තව යි.

සව්සත කෙළ පැමිණි
ගුරුවන් දෙරණ සපැමිණි
පිරිසිදු සිල් ගිහිණි
සියල්ලෝ වියතුන්ට සිළුමිණි

තමා සියලු ශිල්ප ශාස්ත්‍රයන් හි පාරප්‍රාප්ත කෙනෙකි. ඒ නිසා පොළොවට බැසගත් බ්‍රහස්පතී හා සමාන ය. එසේම පිරිසිදු සීලයෙන් යුක්ත ය. සියලු පඬිවරුන්ට සිළුමිණක් හා සමාන වටිනාකමින් යුක්ත ය.

කෙනෙකුට මෙය ආත්ම වර්ණනාවක් සේ පෙණුන ද රාහුල හිමි තමා ගැන කරන මෙම අභිමානාත්මක වර්ණනාව ව්‍යාජයක් නොවේ. සත්‍යයකි. එ නිසා මෙය බහුශ්‍රැත පඬිවරයෙකු තම පාණ්ඩිත්‍යය අභිමානයෙන් පළ කළ අවස්ථාවකි.

ශ්‍රී රාහුල හිමි විජයබා පිරිවෙණහි වැඩවසමින් සිදු කළ ශාස්ත්‍රීය සේවාව මෙරට පමණක් නොව නොයෙක් ශාස්ත්‍රයන් හි දැනුමැති විදේශිකයන් අතර පවා බෙහෙවින් ප්‍රචලිත විය. උන්වහන්සේ ගේ දැනීම් සම්භාරයට සම කළ හැකි කිසිවෙකු එකල මෙරට නොවූ බව ගිරා සංදේශයෙහි මෙම කව තුළින් පැහැදිලි වෙයි.

ගැඹුරු විජම් පෙළ කිරි සයුර ඇමවිට
සොඳුරු නුවන් වෙර පහරින් සකොබ කොට
මියුරු පද අරුත් අම ගෙනදෙන ලොවට
කවුරු සිදිසි වෙති මෙලකට එ යතිඳුහට

ශ්‍රී රාහුල හිමියන්ගේ භාෂා සාහිත්‍ය සේවාව සලකා බැලීමේ දී උන් වහන්සේ විසින් රචනා කරන ලද ග්‍රන්ථ සමූහය ඉතා වැදගත් වෙයි.

පරෙවි සංදේශය, කාව්‍ය ශේඛරය, සැලළිහිණි සංදේශය, පංචිකාප්‍රදීපය, බුද්ධිප්පසාදනිය, වුත්තමාලාව, යෝගරත්නාකරය භාෂා සාහිත්‍යය පමණක් නොව ජ්‍යෝතිෂය සම්බන්ධයෙන් එකල මූලස්ථානය වූයේ තොටගමුව හා වීදාගම යි. ශ්‍රී රාහුල හිමියන් ගේ ශිෂ්‍ය වෑත්තෑවේ හිමි ලියූ ගුත්තිල කාව්‍යයට සිංහල කාව්‍ය ග්‍රන්ථාවලියේ වැදගත් තැනක් හිමි වෙයි. මෙම කාලය තුළ ගිරා සංදේශය ලියා ඇත්තේ ද වෑත්තෑවේ හිමියන් බව කිය වේ. ශ්‍රී රාහුල හිමියන් ගෙන් සේ ම තත් ශිෂ්‍ය වෑත්තෑවේ හිමියන් ගෙන් ද සිංහල සාහිත්‍යයට සිදු වී ඇති සේවය ඉතා විශිෂ්ඨ මට්ටමක පවත්නා බව ඒ අනුව පැහැදිලි ය.

ශ්‍රී රාහුල හිමියන්ගේ අවසාන කාලය අම්බන ඉඳුරුගල ලෙන් විහාරය ආශ්‍රිත ව වැඩ සිටියේ ය.

අපවත් වීමෙන් පසු ශ්‍රී දේහය ලෙනෙහි තබා ප්‍රදේශයේ ජනතාව නිති වැඳුම් පිදුම් කිරීමට සලස්වා ඇත. ජීවත්ව සිටිය දී “සිද්ධායුලෝක රසායනය“ නමැති තෙලක් භාවිතා කළ හෙයින් ශ්‍රී දේහය වසර 2712 ක් නරක් නොවී තිබිය යුතු බවට විශ්වාසයක් ඇත. ශ්‍රී රාහුල හිමි දේහය ගෝවට රැගෙන ගිය පසු අම්බන ප්‍රදේශයම පාළු වී ජනශූන්‍ය වූ බව කියැ වේ.