Print this Article


ලස්සනවෙන්න ධර්මයෙන් ඖෂධයක්

ලස්සනවෙන්න ධර්මයෙන් ඖෂධයක්

මිනිසුන් විවිධ, විෂම අයුරින් උපදියි. වරක් සුභ මානවක බුදු හිමියන්ගෙන් ඒ පිළිබඳ ප්‍රශ්නකළ කල්හි බුදු හිමි දේශනා කළේ ‘කම්මස්සකා මානව සත්තා කම්මයොනි, කම්ම බන්ධු, කම්ම පටිසරණා, කම්මං සත්තෙ විභජති යදිදං හිනප්පණිතතායාති’ යනුවෙනි.

මඞනිඞ චුල්ලකම්ම විභංග සූත්‍රය තුළින් සුබ මානවකයාට පහදා දෙන්නේ මානවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහු ය. කර්මය තුළින් සත්ත්වයා උස් පහත් වශයෙන් බෙදෙන්නේ ය යනුවෙනි.

කරන ලද කුසලාකුසල කර්ම සත්ත්වයාගේ සියලු ම දේ නිර්ණය කරන අයුරු අමුතුවෙන් කිවයුතු නැත. ඒ සම්බන්ධ ව සූකර, මුඛ ප්‍රේතයාගේ කතා වස්තුව ඉතා වැදගත් වේ. ශරීරය රන්වන් වූවත් මුහුණ ඌරෙකුගේ මෙන් අසෝභන ය. එසේ ම කුස රජතුමාගේ කතාව ද වැදගත් වේ. ඔහු රජ කෙනෙකු වුව ද මුහුණ විරූපී ව පිහිටියේ ය. රූප සම්පත්තිය ගත් කල්හි බුදුරදු දවස විශාඛා, කෝසල මල්ලිකා උප්පලවන්නා, ආනන්ද හාමුදුරුවෝ ආදී චරිත කතා කියවීම වැදගත් වේ.

ලස්සන වීමට උත්සාහ කළ ද, බොහෝ දුරට එය සසර කරන ලද පිනත් සමඟ මිනිසෙකුට ලැබෙන සම්පත්තියකි. බුදු හිමිගේ රූප සම්පත්තියට සම කළ හැකි කිසිවෙකු මිහිපිට නැති තරම් ය. උන්වහන්සේ දෙතිස් මහාපුරුෂලක්ෂණවලින් හා අසීති අනුව්‍යාංජනවලින් සැදුම් ලත් උත්තමයෙකි. එයට හේතුව වන්නේ සසර කරන ලද අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියයි. නමුදු මෙම ආත්මයේ දී වුවද කෙනෙකුට ලස්සනවීමට අවශ්‍ය නම්, බාහිර වශයෙන් විකෘති වීම් නො කොට ගෙන ධර්මයෙන් අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට පුළුවන. ඒ සඳහා ධර්මයේ උගන්වා වදාළ කරුණු කාරණා උපදෙස් පිළිපැදිය යුතු ය.

බුදු හිමි මෙත්තානිසංස සූත්‍රය තුළින් මෛත්‍රී වැඩීමේ අනුසස් දේශනා කිරීමේ දී “මුඛ වණ්ණෝ විප්පසීදති” යනුවෙන් මුහුණ පැහැපත්වීම පිළිබඳ දේශනා කොට ඇත. කෙනෙකුගේ හදවත මුහුණෙන් කීමට පුළුවන. හදවත පිරිසුදුනම්, සිතේ අකුසල සිතිවිලි අඩුනම්, එය ශරීර වර්ණය සඳහා බලපානු ඇත.

දන්දීමේ අනුසස් අතර වුව ද ‘වණ්ණ’ යනුවෙන් වර්ණය සම්බන්ධ ව දේශනා කළේ ශරීර වර්ණය යි. ශරීරයක් සීයට සීයක් අංග සම්පූර්ණ ව පිහිටීම කලාතුරකින් දැකිය හැකි ලක්ෂණයකි. කුමන හෝ අඩුවක් ඉස්මතු වී ඇත. සියලු දෙනාගේ ම මුහුණ ඇස්, කන්, නාස කට තිබුණට මුහුණෙන් මුහුණ වෙනස් ව පවතී. “නානත්ත කායා, නානත්ත සඤ්ඤා” ලොව සියල්ලෝ ම එක් කෙනෙකුට එක්කෙනෙක් කයින් වෙනස් වේ. රූප කාය අතින් ටිකක් හෝ සමාන වුවත් මිනිසුන් සිතින් නම් බොහෝ වෙනස්ව පවතී. එය බුද්ධ දේශනය යි.

උපතින් මේ සිත ප්‍රභාස්වර වුව ද බාහිර ව එන කෙලෙස් තුළින් සිත අපවිත්‍ර වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම වැනි සිත කිලිටි කරන සිතිවිලි ශරීරයට ද බලපානු ඇත. ඒ තුළින් ලේ ධාතුව අපවිත්‍ර වී රූපය ද විරූපී වේ. ඒ අනුව මෛත්‍රීය ප්‍රගුණ කිරීම තුළින් ලේ ධාතුව පිරිසුදු කොටගෙන රූපය ද වර්ණවත් කර ගැනීමට පුළුවන. ලෝ වැඩ සඟරාවෙහි මෛත්‍රී වැඩීමෙන් මෙලොව පරලොව කායික මානසික සුවය සලසා දෙන අයුරු පැහැදිලි කොට ඇත.

යහපත නොසිතන සැටි මේ දනයා
කිපිසත උනුනට දෙති වේදනයා
හැම සත වෙත කළ මෙත් භාවනයා
සැක නැත සඟමොක් සැප සාදනයා

ලෝකයා යහපත ගැන නො සිතන සැටි බලව්. කෝප වූ අය උනුනුන් හට දුක් වේදනා දෙත්. හැම සතන් වෙත කළ මෛත්‍රී භාවනාව ස්වර්ගමෝක්ෂ සම්පත් සාදා දෙනු නිසැකයි.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන ලස්සනවීමට කැමැත්තෝ මෛත්‍රී භාවනාව නිතර ප්‍රගුණ කළ යුතුව ඇත. බාහිර වශයෙන් ශරීරයට අගුණ ආලේපනවලට වියදම් කරනවාට වඩා නොමිලේ ම මහන්සියකින් තොරව ලස්සනවීමට බුදු හිමි අවශ්‍ය කරුණු දේශනා කළහ. ඒවා සිතට ගෙන පුළුවන් තරම් සිත ම පවිත්‍ර කරගත යුතු ය. තමන්ටත් ලෝක සත්ත්වයාටත් නිතර මෛත්‍රීය පැතිර විය යුතු ය. ඒ තුළින් මනස ලස්සන වීමත් ඊට පසු එය සෘජුව ම කයට සම්බන්ධ වී රූප කායත් ලස්සන වෙනු නියත ය. මෙලොව දිවිය සේ ම පරලොව දිවිය ද රූපවත් ව හා සැප සම්පත්වලින් අනූනව ඉපදීමට ද එය බලපානු ඇත. ලස්සන, පිවිතුරු නිර්මල සිතිවිලි තමනට පමණක් නොව මුළු විශ්වයට ම දැනෙනවා සේ ම එතුළින් ලෝක සත්ත්වයාට ම යහපතක් ම සිදු වනු ඇත.

වෙත්වා සව්සත සැමකල් නිදුකී
පත්වා සැපතට භව දුක් වැළකී
යෙත්වා නිවනට සමඟින් මුනිකී
මෙත් භාවනනම් වැඩි පින් කමකී