Print this Article


ත්‍රිපිටක දහම-20: ධර්මයන්ගේ නිරෝධය

ත්‍රිපිටක දහම-20:

ධර්මයන්ගේ නිරෝධය


නිරුද්ධ වූ ධර්මය නිරුද්ධ වුණා ම යි, හටගෙන නැතිවෙලා ගිය දේ නැති වුණා ම යි ඒ පිළිබඳ ව අපට නුවණක් තියෙනවා. එතකොට හටගත් ධර්මය නැති වුණ බව නුවණ නෙවෙයි, නමුත් හටගත් ධර්මය ඉතිරි නැතිව නැතිවන බව තේරුම් ගත් පසුව ඒ දේ විඳින්නට පුළුවන් කෙනෙක් හෝ දෙයක් හෝ හට නොගන්නා බවට පත් කරලා, අපට පුළුවන් මේ දුක් රැස හට නොගන්නා තැනට පත් කරන්න.

මෙතැන දී පැහැදිලිව ම අපට නිරෝධය පැහැදිලි යි, හටගත් ධර්මය කෙනෙකුගේ මරණය සේ ම හටගත් ධර්මයන්ගේ නැතිව යෑම, මරණය කියන දේ නිරෝධය යි. එවිට ඒ කෙනාගේ මරණය පිළිබඳ ව අවබෝධ කරගෙන අවුරුදු පහ හයකට පෙර මිය ගිය කෙනා ගැන දැනගෙන ඒ කෙනා දෙස බලා සතුටුවන්නටවත්, ඒ කෙනා සමඟ දුක් වන්නටවත්, ඒ දෙස බලා ඒ කෙනා සමඟ තරහක් ඇති කරගන්නටවත් අප යන්නේ නැහැ. එලෙසම අපට ඇලෙන්න සහ ගැටෙන්න හේතු කාරණා නැති වෙනවා, මොකද? අප දන්නවා, හටගත් ධර්මය ඉතිරි නැතිව නිරුද්ධ වන බව.

එහෙමනම්, අප තරහ ගන්නේ හටගෙන නිරුද්ධ වුණ වර්ණ සටහන ගැන ද? එහෙම නැතිනම්, හටගෙන නිරුද්ධ වුණ ඇස ගැන ද? අප තරහ ගන්නේ. එහෙමත් නැතිනම්, ඒ වේලාවේ හටගත් නාම ධර්මතා ටික පිළිබඳව ද අප තරහ ගන්නේ. අප දන්නවා නම්, ඒ ටික ඉතිරි නැතිව නැතිවුණා කියලා ඇත්තටම අපට තරහ ගන්න පුද්ගලයෙක් නේද අපට හට නොගන්නා බවට පත්වෙලා තියෙන්නේ? එහිදී අපට නිස්සරණයක් තියෙනවා. නික්මීමක් තියෙනවා. අප ඉවත් වෙලා තියෙනවා, යම් දෙයකින්. කුමකින් ද, ඉවත්වෙලා තියෙන්නේ? උපාදාන වශයෙන් මේ ලෝකය දැඩිව ග්‍රහණය කරගත් මනෝ භාවයෙන් අප නිස්සරණයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ‘නිස්සරණට්ඨො’ යනුවෙන් සඳහන් කරනවා. නික්මෙන ස්වභාවය අපට නිවනේ, නිරෝධයේ තියෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ නිස්සරණාර්ථය යි. ඒ නිස්සරණාර්ථය ඉතාම වැදගත් අපට. මේ ධර්මය තේරුම් ගන්නා විට, නිවනෙහි ඇති ලක්ෂණය නිස්සරණාර්ථය වශයෙන් තේරුම් ගැනීම ඉතාම ප්‍රායෝගික ව අපට අවශ්‍ය වන කාරණාවක්. ධර්මයක් අවබෝධ කරන්නට යන විට, තේරුම් ගන්න යන විට, නිස්සරණාර්ථය තේරුම් නොගෙන අපට කවදාවත් නිරෝධය පිළිබඳ ව අදහසක් ඇති වෙන්නේ නැහැ. එවිට කායික, මානසික වශයෙන් අපට බාහිර වස්තූන් මතට පතිත වීම ලෝකය තුළ තියෙනවා නම්, එනම්, මව් පියවරු සිටිනවා, දූ දරුවෝ සිටිනවා, ගේ දොර , යාන වාහන තිබෙනවා යනුවෙන් සිතද්දී අප දකින්නේ නැහැ, හටගත් ධර්මයන්ගේ ඉතිරි නැතිව නිරුද්ධ වන බව.

මෙලෙස සඳහන් කරන්නේ මව් පියන් මිය යනවා, යනුවෙන් පුද්ගලයන්ගේ නැතිවන ස්වභාවයක් ගැන නො වෙයි. ධර්මයන්ගේ නිරෝධය ගැන යි. එනම්, ඇස, රූප දෙක හටගෙන නිරුද්ධ යි. ඇස රූප දෙක නිරුද්ධ යි යනුවෙන් සඳහන් කරද්දී අපට දුටු වර්ණ සටහනක්, දුටු රූපයක් නැවත කවදාකවත් දකින්න පුළුවන්කමක් නැතැ’යි යන බවට නුවණක් තියෙනවා.