Print this Article


අවවාදය හා ආදර්ශය

අවවාදය හා ආදර්ශය

" ජාති, ආගම්, කුලමල භේද නොතකා මානව වර්ගයාගේ මෙලොව ජීවිත සාර්ථක කර ගැනීමටත්, ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීමටත්, කරුණාවෙන් අවවාද ලබා දුන් උතුමන් වූයේ බුදුවරුන් හා බෝසත්වරුන් ම ය,"
 

රන්, රිදී, මුතු, මැණික් වලටත් වඩා අවවාදය ශ්‍රේෂ්ඨයි. අවවාද දීමත්, එය පිළිගැනීමත්, නොපිළිගැනීමත් යන ධර්මතාවන් ලෝකයේ ආරම්භයේ පටන් අද දක්වා පැවත එන්නක්. අවවාද හොඳින් ඇසූ අයගේ ජීවිත ආලෝකමත් ය. අවවාද නොපිළිගන්නා අයගේ ජීවිත අඳුරුයි.

නරක ඇසුරෙන් වෙන් වී යහපත් අධ්‍යාපනයක් ලබා, යහපත් රැකියාවක් කරන්නේ සමාජයේ අසවල් පුද්ගලයා ලබාදුන් අවවාද නිසා යැයි සමහරු කියනවා, කොතෙකුත් අපට ඇසෙනවා. අහංකාරකමත්, මුරණ්ඩුකමත්, මෝඩකමත් නිසා සමහරු තව කෙනකුගේ අවවාද අනුශාසනා පිළිගන්නේ නෑ.

ජීවිතයේ වැරදුණු දා මුලදි අසවලාගේ අවවාද පිළිගත්තා නම්, මට මෙසේ නොවන්නේ යැයි කියමින් පසුතැවිලි වෙනවා. හැමෝටම අවවාද දීමට නොහැකි ය. අවවාද දෙනු ලබන්නා සියලු වරදින් මිදී, ගුණ දහමින් පෝෂණය වූ, ආදර්ශමත් කෙනෙකුම විය යුතු ය.

ජාති, ආගම්, කුලමල භේද නොතකා මානව වර්ගයාගේ මෙලොව ජීවිත සාර්ථක කර ගැනීමටත්, ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීමටත්, කරුණාවෙන් අවවාද ලබා දුන් උතුමන් වූයේ බුදුවරුන් හා බෝසත්වරුන් ම ය, උන්වහන්සේ අපට කියාදුන් ඒ ශ්‍රී සද්ධර්මය පුරා ගලා යන අවවාද, අනුශාසනා පුද්ගලයෙකුට පමණක් නොව මුළු මහත් ප්‍රජාවටම ආශිර්වාදයකි. ඒ තුළ ලෞකික සැපතත්, ලෝකෝත්තර සැපතත් විද්‍යමාන වේ. ගුරු දෙගුරු උපදෙස් ලැබ දෛනික ජීවිතයේ සාර්ථකත්වයට මංගල, පරාභව, වසල, සිඟාලෝවාද, කරණීයමෙත්ත, වැනි සූත්‍ර වලින් ලැබෙන පිටුවහල අකාලික වූවකි.

ලස්සන ලොවක් තනන්නට ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යයෙකුට ලැබෙන අවවාදය ප්‍රධාන අවියකි. තමන් යටතේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා තම දරුවන් ලෙසටත්, තමන්ට අධ්‍යාපනය ලබාදෙන ගුරුවරයා තම පියා ලෙසටත්, සලකා අධ්‍යාපන කටයුතු කරගන්නවා. එසේ වුව ද අද වන විට ගුරුවෘත්තිය වාණිජමය ග්‍රහණයට හසු වී අගෞරවයටත්, අපකීර්තියටත් පත්ව ඇති බව පෙනේ. එදා දෙවියෙකු වූ ගුරුවරයා අද වන විට අදේවත්වයට පත්ව ඇත. ආදර්ශමත් ශිෂ්‍යයන් කෙරෙහි ආදරය ඇති ගුරුවරු ද සිටිනවා. ඔවුන් පොත පතේ දැනුම ලබාදෙමින් ගුණ නැණ දෙකෙන් පරිපූර්ණ අයකු කර ගැනීමට අවවාදයෙන් ලබාදෙන සේවය පැසසුම් කටයුතු ය.

මව්පියන්ට දරු සම්පත තරම් සම්පතක් තවත් නැත. ඔවුන් වෙනුවෙන් තම මුළු කාලයම යොදවති. තම දරුවන් දුක් විඳිනවා දකින්නට ඔවුන් කිසිදා කැමති නැත. සමාජයේ උසස් තැන්වල සිටිනවා දකින්නට කැමති ය. මේනිසා ළමා කාලයේ සිට නරක ඇසුරෙන් මුදවා අධ්‍යාපනයේ වටිනාකම කියාදෙනවා. හොඳම පාසල සොයා දෙමින් අධ්‍යාපනය ලබා දෙනවා. විශ්වවිද්‍යාල දක්වා උගන්වනවා. හොඳ නරක කියා දෙනවා. දියුණුවේ මාවත කියාදෙනවා. මරණ මංචකය තෙක් අවවාද අනුශාසනා ලබාදෙනවා. සමහරු අවවාද කොතෙක් ලබාදුන්නත් පිළිගන්නේ නැහැ. මව්පියන්ගේ නැති වැරදි කියනවා . මෙබඳු දරුවෝ මව්පියන්ට බරකි. ඔවුන් නිසා මව්පියෝ ද දුක් විඳිති. ජන සමාජයේ එවැනි සිදුවීම් ගැන පැරණි රස කතාවෝ ද නැත්තේ නොවේ. මේ එවැනි සිදුවීමක් ගැන ය.

එක්තරා ධනපති පවුලකට එකම පුතෙක් සිටියා. පාරම්පරික ධනයට හිමිකරුවෙකි. මේ නිසාම ඔහුට අධ්‍යාපනය ලබා නොදුන්හ. කා , බී. සැනසී සිටින්නට එයම ප්‍රමාණවත් යැයි සිතූ මව්පියන් අසීමිත සැප සම්පත් දී මේ පුතා තනන ලදී. අධ්‍යාපනය නොලත්, දේපළවල වටිනාකම නොදත් මේ මෝඩ පුතා මුදල් ණයට දුන්නා. මත්වතුර පානයටත්, දූකෙළියටත්, විෂමාචාරවලටත්, පුරුදු වුණා. ක්‍රමයෙන් දේපළ හානියට පත් කළා. මහලුවියේ පසු වූ මව්පියන් තමන්ගෙන් පසු තම පුතුට කුමන කලදසාවක් යාවි දැයි සිතා ළඟට කැඳවා අන්තිම වරට මේ අවවාදය ලබා දුන්නා.

ණයට මුදල් දීලා ඉල්ලන්ට එපා

ගමනක් ගොසින් එළියක් ගෙන එන්ට එපා

දහඩිය නොවැටෙනා කෑමක් කන්ට එපා

සිරුර කිස පිණිස ගොස් නැගිටින්ට එපා

යනුවෙනි. මව්පියන්ගේ අන්තිම අවවාදය වූ මෙය ද පිළිපැදිය යුතු යැයි සිතු මේ මෝඩ පුතා දීපු ණයවත්, දෙන ණයවත්, නොඉල්ලයි. ඉතුරු ව යමක් තිබුණා නම් එයත් ණයට දී ඉවර කළේ ය. අන්ධකාර වී ගෙදර එන විට ගල්මුල් වල හැපෙමින් ආවා මිස එළියක් ගෙනාවේ නැත.

ආහාර ළිපේ තිබිය දී ම අත කට පිළිස්සී, පිළිස්සී දහඩිය වගුරවමින් ආහාරය අනුභව කරයි. ශරීර කෘත්‍ය සඳහා ගොස් තව එකකු පැමිණ නැඟිටවනතුරු එහිම බිම වාඩිවී සිටියේ ය.

ටික දිනකින් මේ මෝඩ පුතුට ඉන්න, හිටින්න, කන්න, බොන්න දෙයක් නැතිව හිඟමනට වැටුණා. දවසක් අම්බලමක සිටින දුගී ස්ත්‍රියක් හමුවුණා. ඇය තොරතුරු ඇසු විට මව්පියන් ලියා දුන්නු මේ අවවාදය අනුව ජීවත් වන බව කියන ලදී. මේ ස්ත්‍රිය බුද්ධිමත් කාන්තාවකි. මෙහි ඇති වටිනාකම දැනගෙන මේ පිළිබඳ අනවබෝධයෙන් සිටි ඔහුට මෙයින් ප්‍රකාශ වන වටිනාකම පහදා දුන්නා. ඒ අනුව මේ දෙදෙනා කටයුතු කළා . දුන් ණය ඉල්ලා ගත්තා. දුන් ඉඩකඩම් ගැන සොයා බලා නැවත ලබාගත්තා. අතහැර තිබු කර්මාන්ත ආරම්භ කළා. වීර්යවන්ත වුණා. මහන්සි වුණා. ඥානවන්තයෙක් වුණා. පෙර පරිදි වස්තුව ඒකරාශි කරගෙන එම කාන්තාව විවාහයට පත්කරගෙන සැපවත් ජීවිතයක් ගත කළා.

දරුවන් තනන මව්පියන් කුඩා කාලයේ පටන් අවවාදයෙන්, ආදර්ශයෙන් දරුවන් තැනිය යුතුම වෙයි. කකුළුවා ගමන් කරන්නේ හරහට ය. එහෙත් ඔහු තමන්ගේ දරුවන්ට කෙළින් ගමන් කරන්නට අවවාද දෙයි. නමුත් පැටවුන් ද ගමන් කරන්නේ හරහට ම ය . එනිසා අවවාද මෙන්ම ආදර්ශය ද වැදගත් වේ.

අවවාදයෙන් තොරව තනන දරුවා” හැඳි නොගා පිසින හොද්ද මෙනි” හොඳ නොහොඳ නොදනී. ගරු කළ යුත්තන්ට ගරු නොකරති. ගසක් වැලක් පොඩි දා සිට හොඳින් රැකබලා ගත් විට ඉන් ලැබෙන ප්‍රයෝජනය ඉමහත් ය. සැරියුත් මහරහතන් වහන්සේ සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක් සිවුරු පොට බිම ගෑවෙන බව පෙන්වා දුන් පසු සිවුරු පොට සකසා ගත්තේ නිහතමානීව ය. ඒනිසා දරුවන් විසින් ද ගුරුවරුන්, මව්පියන්, පැවිද්දන්, වැඩිහිටියන්, විසින් ලබාදෙන අවවාද අනුශාසනා හොඳින් අසා, හොඳින් පිළිපැද ලස්සන ලොවක්, ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්නට කටයුතු කළ යුතු ව ඇත.