Print this Article


බෝසත් දරුවන්ට : පෙර කළ කර්මයෙන් ගින්නට දිවි දුන් කපුටා

පෙර කළ කර්මයෙන් ගින්නට දිවි දුන් කපුටා

පින්වත් දරුවනේ, එක් සමයක අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ සමඟ දෙව්රම් වෙහෙර වැඩ සිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්නට බොහෝ දුර බැහැර සිට භික්ෂූන් වහන්සේ දෙව්රම් වෙහෙරට වැඩම කරනවා.

එසේ පැමිණෙන අතරමග උන්වහන්සේලා අවට ගම්මානවලට පිණ්ඩපාතයේ වඩිනවා. ගම් වැසියන් බොහොම ශ්‍රද්ධාවෙන් ආහාරපාන පිළියෙළ කොට දානය පිළිගන්වනවා. බොහෝ පින් දහම් සිදුකර ගන්නවා.

මේ අතර, එක් පිදුරු සෙවිලි කළ පැල්පතක් තිබුණා. එහි සිටි කාන්තාවක් බත්, ව්‍යාංජන පිළියෙළ කරමින් සිටියා. එක්වර ම ලිපෙන් නැගුණු ගිනි පුපුරක් අර පිදුරු වහලයට ගියා. ටිකෙන් ටික මහා විශාල ගින්නක් බවට පත්වුණා. අහස උසට ගිනිදැල් නැඟුණා. මේ අතරේ ඒ නිවසට ඉහළ ආකාශයේ කපුටෙක් පියාඹා යමින් සිටියා.

කපුටා එක්වරම පහත්වී ගිනිගෙන දැවෙන වහලයට හිස දමා බැලුවා. එවිටම කපුටාගේ හිස දැවී, මුළු සිරුර ම පිච්චී ගියා. පිණ්ඩපාතයේ වැඩම කරන භික්ෂූන් වහන්සේලා මේ සිදුවීම දුටුවා.

“ඇවැත්නි, මේ නම් මහා පුදුමයක්. අහසින් ගිය කපුටා කිසිම හේතුවක් නැතිව මේ ගිනි ගොඩට හිස දමන්නට ගොස් මැරී වැටුණානේ. අනේ! මේ සතා කළ අකුසල කර්මය දන්නෙ අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරුද? අපි, දෙව්රම් වෙහෙරේ දී බුදුරජාණන් වහන්සේ මුණගැසුණු විට මේ ගැන අසා දැන ගනිමු.” යනුවෙන් භික්ෂූන් වහන්සේ කතා වුණා. දරුවනේ, දෙව්රම් වෙහෙරබලා යන භික්ෂූන් වහන්සේලා තවත් පුදුම සහගත සිදුවීම්වලට මුහුණ දුන්නා. මේ හැම සිදුවීමකටම පෙර අත් භවයන්හි කළ කර්මයන් හේතු වුණා. ඒ පිළිබඳ ව එළඹෙන අමාවක පෝදා ( 23) පුවත්පතින් කියවමු.