Print this Article


නිරෝගි ජීවිතයකට බුද්ධෝපදේශ

නිරෝගි ජීවිතයකට බුද්ධෝපදේශ

ලෝකයේ සමස්ත ජනතාව ම භයානක රෝග බියක් කරා ගෙන යන්නට කොරෝනා හෙවත් කොවිඩ් - 19 රෝගයට හැකිව ඇත.

බුදු රජාණන් වහන්සේ විසින් මෙලොව දිවිය සාර්ථක කර ගැනීම පිණිස දේශනා කරන ලද ධර්මානුකූල මාර්ගයට පිටුපෑම මේ බියට හේතු සාධක වී ඇති බව පැහැදිලි ය.

බුදුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය පර්යාප්ති හා ප්‍රතිපත්ති යනුවෙන් කොටස් දෙකක් ලෙසින් විග්‍රහ කර දැක්විය හැකි ය. ඒ දෙයාකාර වූ ධර්ම කරුණු විග්‍රහ කර බැලිමේ දී අපට පෙනී යන්නේ ලෝකයේ බොහෝ ගැටලුවලට විසඳුම් ඒ මඟින් සපයා ඇති බවකි. බුදුරජාණන් වහන්සේ විසින් මේ දහම් කරුණු දේශනා කෙළේ ඒ ඔස්සේ යහපත් මෙන් ම නිවැරැදි ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය වන මාර්ගය පෙන්වා දීමට යි.

‘පර්යාප්ති‘ යනුවෙන් උන්වහන්සේ දේශනා කර වදාළේ ධර්මය, ධර්ම කරුණු, පිරිත් දේශනා ආදිය වන අතර, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, පන්සිල්, අටසිල්, දසසිල් ඇතුළු සියල්ල ම ප්‍රතිපත්ති යන්නට අයත් වේ.

එහෙත් ගැටලුව වී ඇත්තේ ලෝකයේ බොහෝ රටවල බොහෝ දෙනාගෙන් මේ වන විට එම දහම් කරුණු ඈත්වීමට පටන් ගෙන තිබීම යි. ධර්මය ඈත් වනවිට සිදුවන්නේ මිනිසා ධර්මයට පරස්පර වූ සිතිවිලිවලින් මනස පුරවා ගැනීම යි.

විශේෂයෙන්ම මේ බව අපට පැහැදිලි වන්නේ ලෝකයේ දියුණු යැයි සම්මත රටවල දෙස බැලීමෙන් පසුව ය.

තණ්හා, දිට්ඨි, හා මාන යනුවෙන් බුදු දහමින් අත්හළ යුතු ම බව පෙන්වා දුන් අකුසල් සිතිවිලි ඇති කර ගන්නට එම රටවල් කටයුතු කර ඇති බව පෙනේ. දියුණු යැයි සම්මත රටවල කටයුතු කරන්නේ තණ්හාවෙන් බරව අනෙක් රටවල අභිභවා යෑමට ය. ඒ අභිභවා යාමට කටයුතු කරන්නේ ද අධර්මයේ මූල ධර්මයේ පිහිටුවා ය.

හැකිතරම් තමන්ගේ රටට, තමන්ගේ ජාතියට, තමන්ගේ වර්ගයාට සියලු සැප සම්පත් ලබා දීම එම රටවල අරමුණ වී ඇත. එය එම රටවලට පමණක් සීමා වී නැත. අපේ රටේ වුව ද ඇතැම් පුද්ගලයින්ගේ කි‍්‍රයාකාරීත්වය මේ හා සමාන ය. එනම් තණ්හාවට මුල් තැනක් ලබා දී ඇත. ඔවුහු බලවත්වීමට උත්සාහ දරති. බලවත්වීමට උත්සාහ ගන්නේ ද අධර්මයෙනි.

උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම් චීනය තම බලය පෙන්වීමට උත්සාහ දරද්දී රුසියාව එයටත් වඩා බලවත් බව පෙන්වීමට උත්සාහ දරයි. රුසියාව ඒ ලෙසින් කටයුතු කරද්දී ඇමරිකාව එය අභිභවා යාමට උත්සාහ දරයි.

මේ ආසාව - තණ්හාව නිසා ලෝකයේ රටවල් අතර අවි ආයුධ නිපදවීමේ සටනක් ආරම්භ වී තිබේ. බල තණ්හාවෙන් මේ රටවල් උදම් වී ඇත.

මේ වන විට ලෝක ආපදාවක් බවට පත්ව ඇති කොරෝනා වසංගතය ද මෙහි එක්තරා ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකි ය. එය ආරම්භ වීම ගැන විවිධ මත පැවතිය ද බුද්ධ ශාසනයේ දැක්වෙන අහිවාතක රෝගයේ ලක්ෂණ මෙහි පෙන්නුම් කර තිබේ.

ලෝකයේ ආඥාදායකයකු වීමට උත්සාහ දැරූ හිට්ලර් විසින් විනාඩි කිහිපයකින් ලෝකයේ ජනතාව විනාශ කර දැමිය හැකි විෂබීජ නිෂ්පාදනය කර තිබූ බව ඔහුගේ මරණින් පසු හෙළි විය. හිට්ලර්ට ඒ කාර්යය සිදු කළ නොහැකි වුවත්, එම විෂබීජ නිෂ්පාදනය කළ පුද්ගලයින් සොයා ගත් ඇතැම් බටහිර බලවතුන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් විවිධාකාර නිෂ්පාදන සාදාගත් බව මේ වන විට හෙළිව තිබේ.

මෙහිදී අපට පෙන්වා දිය හැකි විශේෂ කතාවක් ද තිබේ. ඒ දෙවන ලෝක යුද්ධ සමයේ ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නුවර දෙකට පරමාණු බෝම්බ හෙලීමයි. ජපානය පුමුඛ රටවල් විසින් ඇමරිකාවට පහර දෙද්දී, විශේෂයෙන් ම පර්ල් වරායට පහර දීමෙන් පසුව එම නගර දෙකට පරමාණු බෝම්බ හෙළන ලදී.

අදටත් එහි ඵල විපාක විඳීමට සිදුව ඇත. ලෝකයේ පිළිකා රෝගීන් වැඩියෙන් ම බිහි වන්නේ එම නගර දෙක ආශි‍්‍රතව ය. මේ සියල්ල සිදුවන්නේ තණ්හාව නිසා ය. තම බලය අභිමානය රැක ගන්නට යාම නිසා ය.

අදටත් චීනයේ වූහාන් පළාතේ විවිධ අත්හදා බැලීම් සිදුකරන පර්යේෂණාගාර තිබෙන අතර, ඒවායේ සිදු කෙරෙන පර්යේෂණ මොනවාද යන්න ඒ රටේ බොහෝ දෙනාට පවා දැනුමක් නැත. කොරෝනා ව්‍යාප්තිය සිදුවූයේ ද ඒ පළාතෙන් ම වීම නිසා ඒ සම්බන්ධව විචාරශීලී ව සිතා බැලීමට සිදු වේ. මේ එක් කතාවක් පමණි.

තෘෂ්ණාවට අමතරව මානය ද මේ සියලු අධාර්මිකත්වය ඉස්මතු වීමට බලපා ඇති සාධකයකි.

මානය නිසා මේ වන විට ලෝකයේ බොහෝ බලවත් රටවල් දැඩි ආතතියකින් පෙළෙන බවද පෙන්වා දිය යුතු ය. ඇමරිකාව, රුසියාව මෙන්ම එංගලන්තය පවා අනෙක් රටවල් පරයා තම අභිමානය රැක ගැනීම හෙවත් මානයෙන් උදම්වීමට පටන් ගෙන තිබේ. අපට එය සුළු දෙයක් ලෙසින් පෙනුණ ද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ ලෙසින් එය විශාල විනාශකට, අර්බුදයකට මඟ පාදනු ඇත.

එසේ මානයෙන් ඉහළට යන්නට උත්සාහ දරන රටවල් කිසිවකුට අත නොපා තම අභිමානය රැක ගැනීමේ අරමුණින් කටයුතු කරනු ඇත. ඒ ඔස්සේ ඔවුන් විසින් අවි ආයුධ පවා නිෂ්පාදනය කරමින් සිටී.

බුදුරජාණන් වහන්සේ විසින් අවි ආයුධ වෙළෙඳාම නො කළ යුතු බවට දේශනා කර වදාළේ එහි අහිතකර විපාක හොඳීන් ම දැන සිටි හෙයිනි. ඒ අවි ආයුධ නිපදවීම කොතෙක් දියුණුවට පත්ව ඇත්දැයි කිවහොත් අද වන විට ක්ෂණයකින් ලෝකයේ සියලු ජනතාව විනාශ කර දැමීමට පවා සමත් වන මට්ටමට පැමිණ තිබේ.

ඒ සඳහා යොදන ලද මුදල්, ශ්‍රමය, කාලය ලෝකයේ දිළිඳු රටවල් නඟා සිටුවීමට යෙදවූයේ නම්, අද ලෝකයේ ආර්ථික අවපාත කිසිවක් සිදු නොවනු ඇත. එවිට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ ලෙසින් හැමට සමානාත්මතාවෙන් යුතුව දිවි ගෙවීමට හැකි වනු ඇත.

අද ආර්ථික බලවතුන් යැයි පවසා ගනිමින් ජපානය ඇතුළු දියුණු වෙමින් පවතින රටවල් ඔවුන්ගේ ණය ලබා ගන්නා රටවල් යටත් රාජ්‍යයන් බවට පත් කරගෙන ඇත.

ඔවුන්ගෙන් යැපිය යුතු පිරිසක් බවට පත් කරගෙන ඇත.

‘තමා වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් හෝ වැරැදි අයුරින් දරුවකු, ධනයක් හෝ රටක් නො පතන අධර්මයෙන් තම සමෘද්ධිය නො පතන, තැනැත්තා සිල්වතකු බවයි. නුවණැති ධාර්මිකයෙක් බවයි.

එමෙන් ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ දෘෂ්ටිය සම්බන්ධ විවරණය ද මෙහිදී විශේෂයෙන් ම අප මෙනෙහි කළ යුතු වේ. සම්මා දෘෂ්ටිය මෙන්ම, මිථ්‍යා දෘෂ්ටිය යන දෙකින් ඇතැම් රටවල් අනුගමනය කරන්නේ මිථ්‍යා දෘෂ්ටිය පමණි. විශේෂයෙන් ම සමාජවාදය පවත්නා රටවල ජනතාවට සමාජ මාධ්‍ය , අන්තර්ජාල පහසුකම් නොමැත. ලෝකයේ අනෙක් රටවල් හා සබඳකම් පැවැත්වීමට ඒ ජනතාවට හැකියාවක් නොමැත. ඔවුන් සිතන්නේ තම රට විසින් අනුගමනය කරනු ලබන දෘෂ්ටිය නිවැරැදි බවයි. බුදු හිමියන් විසින් මේ මිථ්‍යා දෘෂ්ටිය පැහැදිලිව ම ප්‍රතික්ෂේප කරනු ලැබූහ. නිවැරැදි මනසින් විමසා බලා, නිවැරැදි දෘෂ්ටිය පිළිබඳ අවබෝධය ලබා ගන්නවා හැරෙන්නට තම මතයෙහිම එල්බ ගෙන සිටීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ නැත.

ඇතැම් ශී‍්‍ර ලංකාවාසීන්ගේ කි‍්‍රයාකලාපය ද ලෝකවාසීන්ගේ මේ ක්‍රමවේදයට දෙවැනි නැත. මෙරට සැලකිය යුතු පිරිසක් නිරතුරුව ම කටයුතු කරන්නේ තමන් පමණක් ජීවත්වීමේ, තමන් පමණක් ඉස්මතුව කටයුතු කිරීමේ අරමුණින් යුක්තව ය. එහෙත් අවසානයේ සියලු දෙනාට ම බහුවිධ රෝගවලට පත් වන්නට සිදුව ඇත. කෙසෙල් කැන් ඉදවන්නට යොදන රසායනික දේ මෙන් ම, මත්ස්‍යයන් කල් තබා ගන්නට යොදන රසායනික දේ ඔස්සේ සිදුවන්නේ සියලු දෙනාගේ ම විනාශය බවට මේ වන විට පසක් වී ඇත. ප්‍රමිතියෙන් බාල ආහාර මෙන්ම කල් ඉකුත් වූ ආහාර අලෙවිය මඟින් තමන් ද කෙදිනක හෝ එහි ගොදුරක් බවට පත්වනු නියත ය.

බුදුරජාණන් වහන්සේ නීරෝගී දිවියක් පිණිස අවශ්‍ය උපදෙස් සූත්‍ර ආදිය ඇසුරින් ගෙන හැර දැක්වූයේ ජනතාවගේ දීර්ඝායුධ පිණිස ය. එය අහිමි කර ගන්නේ අප විසින් ම බව මෙයින් තේරුම් ගත යුතු ය.