Print this Article


සිතට අමනාපය ආවේ ඇයි?

සිතට අමනාපය ආවේ ඇයි?

වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ පුද්ගලයන් පිළිබඳ ව විමසිලිමත්වීමේ දී පැහැදිලි වන කරුණ නම්, වැඩි පිරිසක් අසතුටෙන් සහ නොමනාපයෙන් ජීවත්වන බව යි.

තමාගේ සිත එබඳු ස්වභාවයකට පත්වීමට හේතු වන සාධක කවරේදැයි විමර්ෂණය කළ යුතු ය. විවිධ පුද්ගලයන් ඒ සඳහා විවිධ විවිධ වූ හේතු කාරණා දක්වනු ලබයි. සාමාන්‍යයෙන් බොහෝ මිනිසුන් වැඩිපුර ම රුචිකත්වයක් දක්වන්නේ ජීවිතයේ අසතුට හා නොමනාපයට ද, නැතිනම් සතුට හා මනාපයට ද යන්න සොයා බැලිය යුතු ය. ඒ පිළිබඳව විමර්ෂණය කිරීමට තෝරාගත යුතු සුදුසුම පුද්ගලයා ඔබම ය. ඔබ ඔබ පිළිබඳ ව සිතන පතන ආකාරය ගැන ය.

සාමාන්‍යයෙන් ඔබ වැඩිපුරම රුචිකත්වයක් දක්වන්නේ කුමකට ද? පසුගිය දින කිහිපය හා අතීතයට මතකය රැගෙන ගිය විට ඔබට ඔබ පිළිබඳ ව නිවැරැදි අධ්‍යයනයක් කළ හැකි ය. සිය ජීවිත පැවැත්ම පිළිබඳ ව බැලුවහොත් ඔබ අසතුටෙන් සහ නොමනාපයෙන් ගත කළ කාලය වැඩි බව ඔබට වැටහේවි. එසේ වැඩි කාලයක් ගතකොට ඇත්තේ සතුට සහ මනාපය හා සාපේක්ෂ ව බලන අවස්ථාවේදී ය.

සාමාන්‍ය වශයෙන් අනුවණ මිනිසුන් නො සතුටින් කාලය ගත කරන්න කැමැති බව ද, වඩාත් රුචි කරන බව ද මෙයින් පෙනෙයි. ඔබ පැහැදිලිව කල්පනා කර බලන විට ඔබට ඇතිවී තිබෙන්නේ ධනාත්මක සිතිවිලි ද නැතිනම්, වෙනත් දෙයක් ද? අසීමිත ආසාවන්ගෙන් පිරුණු පුද්ගලයෝ ජීවිතයේ තෘප්තිය නොලබති. තමා ලබා ඇති දේ අනිවාර්යයෙන් ම තමන්ට ලැබිය යුතු දෙයක් යැයි සිතන මිනිසා, නොලැබුණූ දෙය පිළිබඳ ව අත දිගු කරයි. එයටම ලොබ බඳියි.එහි අවසානය අතෘප්තිකර බවයි. (අත්‍රාණෝ ලොකෝ) අනාරක්ෂිත බවයි. ලෝකයේ ස්වභාවය ඒ ආකාරයයි. සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය ද එබඳුයි. බුදු දහම සාමාන්‍ය පුද්ගලයන් සඳහා නොව විශේෂ අය සඳහා වූවකි. යමක් සිතන්නේ ද, ක්‍රියාත්මක කරන්නේ ද විශේෂ ක්‍රමයටයි. ඒ බෞද්ධයාගේ ස්වභාව ය යි. ඔහුගේ වැඩ කටයුතු සියල්ල අනෙක් සාමාන්‍ය මිනිසුන් වගේ නොවෙ යි. ඔබ පිළිබඳව වුව ද එපමණයි. ඔබ කටයුතු කරනු ලබන්නේ ද? සිතනු ලබන්නේ ද විශේෂිත ලෙස නම් පමණක් ඔබ බෞද්ධයෙකි. එසේ නොමැතිනම්, ඔබ බෞද්ධයකු නොවෙයි. බෞද්ධ නම අලවාගත් එබඳු පුද්ගලයෝ වර්තමාන සමාජයේ වුව ද බහුලව දැකිය හැකි ය.

අසතුට හා අමනාපය නිතර ඇතිවන්නේ එය ලෝකයේ සාමාන්‍ය ස්වභාවය නිසා ය. ඔබ යා යුත්තේ ද, පිරිස කැඳවාගත යුත්තේ ද එම තත්වයට නොවේ. ඉන් විශේෂිත තත්ත්වයටයි. එබඳු පුද්ගලයා නිතර නිවැරැදි ලෙස මධ්‍යස්ථ ආකාරයට සිතන්නට පුරුදුවෙයි. මගේ සිතට අමනාපය ආවේ ඇයි?

නොසතුට ආවේ ඇයි?

පෙරළා තමාගෙන් ම ප්‍රශ්න කරයි. තමා තමාගෙන් ම විමසන එම ප්‍රශ්නය සද්භාවයෙන් නගන්නක්නම්, එයට නිවැරැදි පිළිතුර ඔහුට ලැබෙයි. ඒ අනුව සිතෙහි පවතින නොසන්සුන්කම අඩුකර ගැනීම පිණිස පිළියම් යොදයි.

ඇතැම්විට ඔබම කළ අනුවණ කටයුතු පිළිබඳ ව තැවෙන පුද්ගලයකු විය හැකිය. ඔබ තැවෙන්නේ ඔබේ ජීවිතයේ වැඩියෙන් ම එයට පි‍්‍රය කරන නිසා නොවේ ද? ඔබ කළ යම්ක්‍රියාවක් අනුවණ බව ඔබට වැටහේ නම්, එය ඔබගේ දියුණුව පිණිස පවතින ක්‍රියාවකි.

බුදුදහම උගන්වන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිසා සිතන ආකාරයට වඩා සුවිශේෂී ආකාරයට කල්පනා කරන්නට ය. ජීවිතය පිළිබඳව ඒ ආකාරයට තීන්දු තීරණ ගන්නට ය. චදැන් ඔබ පිළිබඳ ව ඒ ආකාරයට සිතා බලමු. ඔබ ලැබූ සියලු දේ පසෙක ලා නොලැබුණු දේ පිළිබඳ ව දුක් වෙනවා නොවේද? ඔබට ලැබී ඇති දේ නොලැබුණු පුද්ගලයන් තව කොපමණ මේ සමාජයේ සිටිනවා ද? ඒ අය අතර ඔබ වාසනාවන්ත පුද්ගලයෙකි.

ඔබ ජීවිතයේ කෙතරම්දේ ලැබුවත්, එයට වඩා එම අවශ්‍යතාවන් වැඩිපුර ලැබූ පුද්ගලයෝ සිටිති. ඒ පුද්ගලයන් පිළිබඳව ඔබ කම්පාවක් ඇතිකර ගනු ලබන්නේ ඇයි? එය වරදකි. එම වරදට විපාක ලබන්නේ ඔබ ය. ඒ හේතුවෙන් අසතුට හා අමනාපය ඔබගේ සිතිවිලි අතරට පැමිණෙයි. එම සිතිවිල්ල කවදාකවත් ඔබගේ ජීවිතයට සැහැල්ලුව හා සැනසුම ළඟා කරන්නේ නැත.

පිරිසුදුව සිටීම සතුට හා සැනසුම ළඟාකර ගැනීමට හේතුවන කරුණක් වෙයි. නිවස, කාමරය ආදි වශයෙන් තමා නිතර රැඳෙන ස්ථාන ඇඳුම් පැළඳුම්, පිරිසුදුව තබා නොගැනීම, ඔබගේ ද, අවට සමාජයෙහි ද ගැටලු වැඩිකිරීමට හේතු වෙයි. අවට සමාජයට වඩා පළමුව ඉන් හානිය සිදුවන්නේ ඔබට යි. මෙයින් පැහැදිලි වුණේ කායික පිරිසුදුකම පිළිබඳව ය. මානසික අපිරිසුදුකම හා පිරිසුදුකම එයට වඩා ප්‍රබල වෙයි. අපිරිසුදු වූ මනස ඔබට විශාල හානියක් සිදුකරයි. ඇතැම් විට එය ජීවිත කාලය පුරාම පවතින්නක් විය හැකිය. සිත පිරිසුදුව තබා ගැනීමෙන් ඔබට හානියක් සිදුනොවෙයි. ඔබ සිදු කරගත් බොහෝ විනාශයනට හේතුව සිත පිරිසුදුව තබා ගැනීමට ඔබ අසමත් වීමය.