විශිෂ්ට ඉණිමඟ
පරිවර්තනය
සමරසිංහ ගුණසේකර
අජාන් බ්‍රහ්මවංසෝ හිමි |
කිසියම් කරදරයක වැටුණු කෙනෙක් හරියට ගැඹුරු ආගාධයක, ගැඹුරු වළක වැටුණු කෙනෙක්
වගෙයි. ඔහු හෝ ඇය සමඟ කතාබස් කර, ඔවුන්ගේ හැඟීම් තේරුම් ගෙන, ඔවුන් මුහුණ පාන
ප්‍රශ්නයේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමට කළ යුත්තේ ,ඔහු හෝ ඇය සිටින එම ගැඹුරු වළට අප
ද බැසීමයි.
ඒ වළ කොතරම් ගැඹුරු වුණත්, කොතරම් අඳුරු වුණත් ඔබ ද ඇය හෝ ඔහු සිටින එම ආගාධයට
බැසිය යුතුමයි .විපතට පත් මිනිසුන් වැටී සිටින ගැඹුරු,අඳුරු ආගාධයට බසින විට මා
අනුගමනය කරන උපක්‍රමය නම් ඉණිමඟක් ද රැගෙන යාමයි. එවිට ගැඹුරු ආගාධයෙන් මට එළියට
එන්න පුළුවන් වෙනවා පමණක් නොව, ආගාධයේ සිටින තැනැත්තන් ද පිටතට රැගෙන එන්නට පුළුවන්
වෙනවා.
මේ විශිෂ්ට එක් ඉණිමඟක් නම් විපතට පත් අයගේ මානසික තත්ත්වය, හැඟීම් තේරුම් ගැනීමයි.
ඒ වගේම ඔවුන්ට සමාව දීම හා ඔවුන් විනිශ්චයකට භාජනය නොකිරීමයි. මිනිසුන් බියට පත්වූ
විට, මිනිසුන් විපතට පත් වු විට, නොමඟට ගිය විට නොකළ යුතු එක දෙයක් නම් විනිශ්චයන්ට
නොඑළඹීමයි. ඔවුන්ගේ කිසියම් වැරැද්දක් තිබෙන්නට පුළුවන්. සමහරුන්ගේ සිතේ තිබෙන තරහ,
වෛරය අසීමිතයි. අති භයංකාරයි. එවැනි තරහක්, වෛරයක් සමනයට පත් කරන්නේ, තුරන් කරන්නේ
කෙසේද? ඔවුන්ට දෝෂාරෝපණය කරනවා වෙනුවට වෛරයෙන්, කෝපයෙන් පිපිරි පිපිරී සිටින විට
ඔවුන් පිළිගත යුතුයි. මෙහිදී මේ සම්බන්ධ විශිෂ්ට කතාවක් මට සිහිපත් වෙනවා. එවැනි
උපමා කතාවලින් ඉගෙන ගත හැකි පාඩම් අප්‍රමාණයි. මෙය රාජමාළිගාවට පැමිණි භූතයා පිළිබඳ
කතාවයි. මා මේ කතාව කෙටියෙන් කියන්නම්.
රජතුමා පිටතට ගිය අවස්ථාවක භයංකාර භුතයෙක් රජමාලිගාවට ආවා. මේ භයංකාර භූතයා
රාජමාලිගාව මැදටම ඇවිත්. රජතුමාගේ සිංහාසනයේ වාඩිවුණා. රජතුමා මේ අවස්ථාවේ මාලිගාවේ
සිටියේ නැති වුණත් සොල්දාදුවෝ මේ භූතයාට කෑගැසුවා.
“මෙතනින් පලයන්. උඹ මෙතනට සුදුසු කෙනෙක් නොවෙයි”.
මේ වචන ටික ඇහුණ හැටියේ මේ භූතයාගේ පෙනුම තවත් භයංකාර වුණා. ශරීරය තවත් විශාල වූණා.
දුගඳ වැඩි වුණා.
“මෙතනින් පලයන්. උඹ කවුරු කියලද හිතුවේ. මේක රාජමාළිගාව. උඹ වාඩිවෙලා ඉන්නේ
රජතුමාගේ සිංහාසනයේ. වහාම මෙතනින් පලයන්.”සොල්දාදුවෝ කෑගැසුවා.
මෙහෙම කෑගහන කොට, මේ භූතයාගේ ශරීරය තව තවත් ලොකු වුණා.
රජතුමා මාළිගාවට ආපසු එනවිට යෝධ භයංකාර පෙනුමක් ඇති භූතයෙක් උන්වහන්සේගේ සිංහාසනයේ
වාඩිවී සිටිනවා දැක්කා.
රජතුමා මොකක්ද කළේ.
“ආයුබෝවන් භූතයෝ. මා බැහැ දකින්න ආවාට බොහොම ස්තුතියි. මෙහාට එන්න මෙච්චර කල්පහු
කළේ ඇයි?”
මේ කරුණාවන්ත වචන කිහිපය ඇසුණ සැණෙන් අර භයංකාර භූතයා එන්න එන්න පුංචි වුණා.
“ආපු එක කොච්චර දෙයක්ද? අපි තේ එකක් බොමුද? මොනවා හරි කමුද? කියා රජතුමා කරුණාවන්ත
ලෙස කතා කළා.
හැම කාරුණික වචනයකින් ම භූතයා එන්න එන්න පුංචි වුණා. රජතුමා තව තවත් කරුණාවන්ත
වුණාම භූතයා සම්පූර්ණයෙන් ම එතැනින් අතුරුදහන් වුණා.
බුදුරදුන් දෙසු මේ දේශනාවෙන්, කෝපය ආහාරයට ගන්නා භුතයන් ගැන අපට දැනගන්න පුළුවන්
වෙනවා. ඔවුන් තරහ ගැස්සුවාම, ඔවුන් යහපත් අතට හැරෙන්නේ නැහැ. තව තවත් භයංකාර වෙනවා.
තව තවත් නරක අතට හැරෙනවා. මේ විදිහට කිසියම් කෙනෙක් ගැටලුවකට මැදිවී සිටින විට,
කරදරයකට ගොදුරු වී සිටින විට ඔවුන්ට තව තවත් කරුණාවන්ත වෙන්න, එවිට ගැටලුව,
ප්‍රශ්නය තව තවත් අඩුවේවි. මඟහැරී යාවි. |