Print this Article


සසර තරණය 09: හේතූන්ගෙන් පෙළිීම

සසර තරණය 09:

හේතූන්ගෙන් පෙළීම

අනිත්‍ය ධර්මතාවය තුළ දුක්ඛ ලක්ෂණය කියන ස්වභාවයක් තියෙනවා. ඒකියන්නේ දුක්ඛ ලක්ෂණය කියන එක දුක, වේදනාව නෙවෙයි, දුක්ඛ ලක්ෂණයක්. වේදනාවකින් නොගත හැකි, ලක්ෂණයකින් ගත හැකි ධර්මයක්.

ඒ ලක්ෂණය තමයි, පළවෙනි කාරණාව පීලනාර්ථය. පීලනාර්ථයේ දුක, පීලනාර්ථය කියලා කියන්නේ පෙළීම කියන එකට යි. පෙළීම කියන්නේ අප හිතෙන්, කයෙන් පෙළීම කියන එක නෙවෙයි. පීලනාර්ථය කියලා කියන්නේ හේතූන්ගෙන් පෙළෙනවා කියන එක යි. හේතු ධර්මතාවයෙන් පෙළෙනවා. ඒ කියන්නේ මේ හේතු ටික ඇති කල්හි හටගෙන හේතු ඉතිරි නැතිවම හේතු නැති කල්හි නැතිවෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒ හේතු ටික ඕන විදිහට මේ ඵලය පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඔබට එක රූපයක් දකින්න පුළුවන්, එක මොහොතකට විතරයි. මොකද? ඒ හේතු ක්ෂණික යි. එක මොහොතයි පවතින්නේ. ඒ හේතු ටිකට ඕන විදිහට පවතින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. තමන්ට ඕන විදිහට හේතු පවත්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එවිට මේ හේතූන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්ත නිසා ම මේ හේතූන්ගේ තිබෙන පීලනාර්ථය ගත යුතු යි දුක අවබෝධ කරන විට. මේ පීලනාර්ථය දුක්ඛ ලක්ෂණයක් කිව්වේ ඒක නිස යි. ඒ කියන්නේ මේ ඵලය හදලා දෙන්නේ යම් හේතුවක් නිසාත් , හේතු ටික වෙනස්වෙන කොට ඵලය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ඵලය වෙනස්වෙන බවට හේතු වුණේ කුමක්ද? හේතු ධර්මතාවයන්ගේ අනිත්‍ය ස්වභාවයට පත්වීම, හේතූන්ට ඕන විදිහට පවතින්න බැරි කම යි. ඒ බැරිකම නිසා හේතු ටික පෙළෙනවා. හේතු ටික පෙළෙනකම තමයි, පීලනාර්ථයෙන් දුක කියලා කථා කළේ. ඔය දුක බොහොම ගැඹුරු යි. ඔය දුක අවබෝධ කරගන්න නුවණක් ඕනේ. ඇයි? ඔය ටික අවබෝධ කරගන්නවා කියලා කියන්නේ, අප කලින් ස්කන්ධ ධර්මතා ටික කථා කරපු කාරණය පැත්තෙන්ම අවබෝධ කර ගත්තා කියන එක යි. ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතිරු නැතිව නැති වෙලා යනවා, මේ හේතු ටික නැතිවෙලා යනකොට. එතකොට ඒ දර්ශනය යි, මේ දුක කියලා කතා කළේ. ඒ වගේම සංඛතට්ඨ සංඛතාර්ථයෙන්, හේතූන්ගෙන් පිළයෙළ කරපු අර්ථයෙන්. විපරිනාමට්ඨ විපරිනාමර්ථය වෙනස්වන ස්වභාවයකින්. සංථාපට්ඨ තවල ලක්ෂණයකින්. මෙන්න මේ කියන ආකාරයන්ගෙන් අපට දුක කියන දේ පිළිබඳව අවබෝධ කරගන්න වෙනවා.

එවිට මේ දුක නොදන්නාකම තමයි, අවිද්‍යාව, මෙය ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ කියන්නේ අප දුක අවබෝධ කළ යුතු යි. සමුදය ප්‍රහාණය කළ යුතු යි. සමුදය කියන කොට අප හිතාගෙන ඉන්නේ, තණ්හාව කියන විට මේ බාහිර වස්තු වලට තණ්හාව තමයි, සමුදය කියලා. ඒකත් සමුදය තමයි. හැබැයි, ඒක ඊට වඩා බොහොම සියුම් වෙනවා. මේසයට, පුටුවට , ගේ දොරවලට, තණ්හාව නෙවෙයි, මෙතන තියෙන ප්‍රධාන ම දේ තමයි, අපි ඒ , ඒ තැන සතුටු වන බව තියෙනවා. අප අපායටත් තණ්හා කරනවා. දැන්නම්, කියයි අපායට යන්න බැහැ කියලා. හැබැයි, අපායටත් අප තණ්හා කරනවා. ඇයි? අපායටත් තණ්හා කරනවා කියන්නේ. නිරය දුක හදලා දෙන්නේ යම් ස්කන්ධ ටිකක් නිසානම්, ඒ ස්කන්ධ ටිකටත් තණ්හාවේ යෙදෙනවා. ඒ නිසා තමයි, එතනිනුත් මිදෙන්නේ නැත්තේ. අප ලෝකයේ හැම වේලාවක දී ම තණ්හාව කියන දේ, හැම තැනකම යෙදෙනවා. ඒ තණ්හාව මේ බාහිර වස්තුවට යෙදෙන තණ්හාව විතරක් නෙවෙයි, මේ කථා කරන්නේ. ඒ නිසා කියනවා, තණ්හාව අප ලක්ෂණ විදිහට කථා කළොත්?

මේ තණ්හාවේ තිබෙන ලක්ෂණයක් තමයි, ආයුනාර්ථය, රැස් කරනවා. නැවත, නැවත රැස්කරන ස්වභාවයකින් යුක්ත කමත්, තණ්හාවෙ තියෙන ලක්ෂණයක්. එතකොට දැන් අපි මේ තණ්හාව කියන දේ ඇත්තටම සිද්ධ කරන්නේ, බාහිර වස්තුවකට නෙවෙයි. මේ වස්තුව ඇති තැනක , වස්තුව හදලා දෙන, ස්කන්ධ ධර්මතා ටිකකට කරන තණ්හාවකට. ඒ නිසා, ලෝකයේ හැමෝම වැඩි පුරම ආසා කරන්නේ මොකට ද? තණ්හා කරන්නේ මොකට ද? තමාටම යි, ස්කන්ධ ටිකටම යි කියන ගණයට යනවා. යම් ස්කන්ධ ටිකක් නිසානම්, තමන් ඉන්නේ, ඒ තමන්ටම තමයි, ලෝකයේ කවුරුත් කැමැති. අප ගේ දොරටයි කැමැති, අප දරුවට යි ආදරේ, දෙමාපියන්ට යි ආදරේ කියලා. හැබැයි, අප නොදන්න දේ තමයි, අප මව්පියන්ට ආදරේ, අප දරුවට යි ආදරේ කියන තැනක, අප ඇත්තට ම ආදරය කරන්නේ දරුවට ද? තමන්ට ද? අප ආදරය කරන්නේ තමන්ට. ඇයි? දරුවා හදලා දෙන මානසික මට්ටමටනේ, අප කැමැති. ඔය රූපෙ දරුවා කරලා දෙන ස්වභාවය නිසා, ඒ ස්වභාවයට නෙමෙයි ද, අප ආදරය කරන්නේ? ඔය රූපෙට නෙවෙයි, අප ආදරය කරන්නේ.