Print this Article


පහන් සිතක කවි

හෙළ බොදු අවුරුදු

මව් පියො දූ දරුවො පන්සල් වෙත ඇදෙන
පව් පින් සිතට වැද තිසරණ සරණ යන
කැව් කිරි බත් සුවඳ වසරක් බැඳ තැබෙන
අවුරුදු සිරිය, බොදු හෙළ යහ සුවඳ එන

වැදූ මා පියන්ගේ ගුණ හදවතට එන
හැදූ වැඩූ දූ දරුවො විත් දෙපතුල් සිඹින
රුදු අයකුට වුවත් අඬගා අහර දෙන
බොදු හෙළ එකමුතුව බක්මහ උළෙල වන

ඉඳහිට අයෙක් අවුරුදු යැ’යි කියාගෙන
අතමිට යොදා සූදුව, මත් දිය සොයන
සතුටට එරෙහි පාපයනට කිම බැඳෙන
දහමට අනුව අවුරුදු සිරි ගමු තුටින


සැනසිල්ල

සත් පුරුෂ ඇසුර දිවි මඟට මිණි පහනක් ය
මත් වතුර දුම් වැටිය රටට කොඩි විනයක් ය
සිත් බිමේ තැනිය යුතු දැහැමි සුර විමනක් ය
රත්තරං දරුවනගෙ හද සුසුම් යොමුවක් ය

තුරන් කොට හදවතින් ලැගුම් ගත් උඩඟුකම
උතුම් මිනිසත් බවට දෙනු මැනවි වටිනකම
මතින් තොර කරන්නට බුදුන් වැඩි සිහල බිම
ගමන්කළ යුතුව ඇත සමගියෙන් පෙරට හැම


පොහෝ දා


පුර හඳ පායා
ගුවනේ දිලෙනවා
පුළුන් වළාකුළු
අහසේ පාවී යනවා
සඳරැස් ආලෝකය
දසත දිලෙනවා
සිලි සිලි ගා
බෝ සමිඳුගෙ
සිසිල දැනෙනවා
මල් සුවඳට, සිල් සුවඳත්
මුසුවී යනවා
සුවඳ දුමින් බෝ මළුව ම
ඉතිරී යනවා
සංසාරෙන් එතෙර වන්න
අපි දුර යනවා


පරම සත්‍යය
 

උදා වූ හිරු
උදා වූ සඳු
නිති බැස යන ලෙසේ
සියලු දිවි ලොවේ ඇති
ගිලෙයි මරණය තුළ නිති