Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


වඳිමු බුදුහිමි

සිදුහත් බෝසතාණෝ මෙලොවට බිහි වුණා
\කෙලෙස් නසා වෙසඟේ බුදුබව ලැබුවා
සැමට යහපත සදන්නට නිති කැප වූවා
බුදු සමිඳුන් පිරිනිවෙන දින උදා වුණා

ඉඳුරන් දමනය කළහැකි බව දෙසුව බුදුරදුන්
කරුණා දහම් ගුණයෙන් සිත නිවන උතුම්
තෙල් මල් රැගෙන බුදු හිමියන් නැමඳ උදෙන්
යහගුණ පුරමු මෙත් කරුණා පිරුණු සිතින්

දුක් විඳිනුන්ට දුක නසනා මඟ පෙන් වා
සැමදා දහම් එළියෙන් ලොව එළිය කළා
බුදුහිමි සිහිකර වෙසඟේ මල් පහන් පුදා
සිරිපතුල නමදිමු වෙසඟේ පොහෝදා


සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

488 ඩී.එම්. නෙත්මි නයනදිනි දිසානායක
07 ශ්‍රේණිය
මහින්ද රාජපක්ෂ විදුහල, හෝමාගම

489 එම් ඉරාගී නිම්තුරා මොනරවිල
02 වසර
පාරමී ධර්මාශ්‍රමය, දංඕවිට

490 ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්. ගායානි මධුභාෂක
08 ශ්‍රේණිය
ශ්‍රී ගෝතම දහම් පාසල – රිදීමාලියද්ද

491 බිනායා මහිදිනී
01 ශ්‍රේණිය
සිරි දහම් දහම් පාසල, ගොරකාන

492 ඩබ්.ඒ. නිහාරා විශ්මිණි
07 ශ්‍රේණිය
ශ්‍රී සුමංගල දහම් පාසල, නිවන්දම


ගංගා කොමළිය

නිල් කඳු මුදුනතින් පහළට බැස යයි
ගල් පරවල හැපි හැපී පෙණපිඬු නංවයි
ගොඩ මඩ සරු කොට අටු කොටු පුරවයි
සැමගේ සිත් තුළ සොම්නස් පුබුදයි

සිව් මහ ගංඟා දසතම දිවයයි
සමනොළ කන්දෙන් පහළට බැසයයි
මෑණියගේ නිල් වරලස සිහිවෙයි
මහ ගංඟාවෙන් මුහුදට එක්වෙයි

වනපෙත මැදින් ගලනා මහ ගංගාවයි
කැළේ සතුනගේ පිපාසය සංසිඳුවයි
පුංචි පුංචි මාළු පැටව් දුව පනිමින් නටයි
පුංචි ළමෝ ඇවිදින් එහි දියකෙළි නංවයි


සැදැහැ ගී

සම්බුදු පහසින් තෙවරක් පුද ලැබූ සිරිලක් දෙරණේ බොදු දරුවෝ
සැදැහෙන් පිරිපුන් කැකුළු ළමා පෙළ බුදු සිරිපා මුල වැඳ වැතිරී
සුපිපුන කුසුමක් මුනි සිරිපා මුල මැලවී යන යුරු සිහිකෙරුවෝ
සසරේ අනියත දිවිමඟ නවතා නිදුකාණන් දුටු මග සොයනා
අපි වෙමු මේ සිරිලක් දෙරණේ බොදු දරුවෝ.


පුරාවස්තු සුරකිමු

ඕනෑම රටක අතීත ශ්‍රී විභූතිය කියාපාන්නේ එම රටේ ඇති ඉපැරැණි පෞරාණික පුරා වස්තූන් ය. වර්තමානය ගොඩ නැඟෙන්නේ ඒ අතීත ශ්‍රී විභූතිය මත ය. එනිසා ඒ අතීත ශ්‍රී විභූතියෙහි මතකය වර්තමානය තුළ සුරැකී පැවතිය යුතු ය. එසේ වූ විට වර්තමානය හා අනාගතය ඉතා පහසුවෙන් ගොඩනැඟිය හැකිවනු ඇත. එදා රජ දවස අප රටෙහි පැවැති වටාපිටාව තුළ තිබූ ගොඩනැගිලි, ඉදිකිරීම්, ගෘහ නිර්මාණ, උපකරණ, සංස්කෘතිකාංග වැනි කැඩී බිඳී ඉතිරි වූ දේ පුරාවස්තු වශයෙන් මෙහිලා හැඳින්විය හැකි ය.

අනුරාධපුර, පොළොන්නරුව, රුහුණු මාගම්පුර ප්‍රදේශය වැනි අප රටේ බොහෝ ප්‍රදේශ එකල සශි‍්‍රකව පැවැති බව ශේෂ වී ඇති පුරාවස්තු සාක්ෂි සපයයි. දැනට එම නටබුන් අතර සෙල් ලිපි 4000 ට වැඩි ප්‍රමාණයක් ඇති අතර, ඒවා ඉතිහාසගත උරුමය කියාපෑමට ඇති කදිම සාක්ෂින් ය. මෙවැනි පුරාවස්තු ඉපැරැණි බව පමණක් නොව එකල ජනයාගේ නිසැඟ කලා හැකියාවන් පෙන්වන කදිම නිදසුන් ය. සීගිරිය, සමාධි පිළිමය, අවුකන පිළිමය, කලා වැව ඒවාට උදාහරණ කිහිපයකි. සඳකඩ පහණ, මුරගල වැනි කලා කෘතීන්වල වටිනාකම කියා නිමකළ නොහැකි ය.



විහාරස්ථානයක අංග

දාගැබ් වහන්සේ

විහාරස්ථානයේ පූජනීය වස්තුව වේ. වෙහෙර වහන්සේ, ශාරීරික චෛත්‍යය ආදී නම්වලින් හැඳින්වේ. ශාරීරික ධාතු තැන්පත් කර ඇති බැවින් ප්‍රධාන තැනක් හිමි වේ. උස් භූමියක පිහිටා ඇත.

බෝධීන් වහන්සේ

පූජනීය වස්තු අතරින් දෙවැන්න වේ. පාරිභෝගික චෛත්‍ය ලෙස හැඳින්වෙන්නේ, බෝසතුන් බුදුවීම සඳහාත්, සතියක් විමුක්ති සුවයක් ගත කිරීමෙන් ද අනිමිස ලෝචන පූජාවෙන් පාරිභෝග කිරීම නිසා ය.

බුදු මැදුර

බුදුරජාණන් වහන්සේ වැඩසිටින කුටිය බුදු මැදුරයි. බුදුරදුන් උදෙසා ඉදිකළ බැවින් උද්දේසික චෛත්‍ය ලෙස හැඳින්වේ.

ධාතු මන්දිරය

බොහෝ විට මෙය ඉදිකරන්නේ ඉතාමත් උස් ස්ථානයක ය. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇත.

සංඝාවාසය

භික්ෂූන් වහන්සේගේ ලැගුම් ගෙය සංඝාවාසය යි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසය අතරින් සේනාසන යන්නට අයත් වේ.


පෙරහර

පියති බිහන්සා
4 ශ්‍රේණිය
රුහුණු විජයබා ප්‍රාථමික විදුහල


අපේ පන්සල

ඊ.ඩී.සදුල් සහන්යා
01 ශ්‍රේණිය
ශ්‍රී ගුණතිස්ස දහම් පාසල, මීතිරිගල