අපායේ දී විඳින දුක්
මහනුවර හන්තාන
සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
මාතලී දිව්‍ය පුත්‍රයා විසින් නිමි මහරජතුමාට අපායේ දුක් විඳින නිරි සතුන් පෙන්වනු
ලැබූ ආකාරය පිළිබඳව පසුගිය ලිපි කීපයකදී ම කතා කළා මතකයි නේද? ඉතින් දරුවනේ, දැන්
නිමි මහරජතුමා හොඳටම බියපත්වයි සිටින්නේ. මේ ලිපි පෙළ කියවන මගේ බෝසත් දරුවනුත්
එසේමයි නේද? කළ පාප කර්ම නිසා අපාගත වී අපමණ දුක් විඳින නිරි සතුන් ගැන කියැවෙන මේ
කතා කියවා දැනගෙන, අපායේ බියකරුබව ගැන හොඳට දැනුම්වත් වෙන්න ඕනෑ.
දරුවනේ, මාතලී දිව්‍ය පුත්‍රයා නිමි මහරජතුමා රැගෙන තවත් අපායකට රිය පැදවූවා. මේ
අපායේ නිරි සතුන්ගේ ශරීරය ගවු තුනක් පමණ විශාලයි. යමපල්ලන් විසින් මේ අපාගත
සත්ත්වයන්ගේ ගෙලට ගිනිගෙන දිලිසෙන යකඩ උල්වලින් පහර දෙනවා. හිස කපා දමා ගිනියම් වූ
ලෝදිය හැළියක දමා ඒ දෙස බලමින් සතුටු වෙනවා. දරුවන් දන්නවාද? මොනතරම් වාරයක් හිස
කැපී වෙන් වුණත් මේ නිරි සතුන්ගේ කර්ම ශක්තියෙන් ඔවුන්ගේ හිස් නැවත පහළ වෙනවා.
යමපල්ලන් විසින් ඒවා නැවත නැවත කපා දමමින් ලෝදිය හැළියට දමනු ලබනවා. මේ භයානක දසුන
දුටු නිමි රජතුමා තවත් බියට පත්වුණා. “මේ තරම් භයානක දුක් විඳින්න මොවුන් කළ පාප
කර්ම මොනවාද?”
රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් විමසුවා.
මාතලී දිව්‍ය පුත්‍රයා මෙසේ කියනවා.
යෙ ජීව ලෝකස්මිං සූපාප ධම්මිනො
පක්ඛී ගහෙත්වාන විභෙඨයන්තී
තේ භේඨයත්වා සකුණං ජනින්ද
තෙ ලූද්දකම්මා පසවෙත්වා පාපං
තෙ මේ ජනා ලූත්තරසිරා සයන්ත
මහරජතුමනි, මේ ලෝකයේ යම් කෙනෙක් කුරුල්ලන් අල්ලාගෙනැවිත් අත්තටු කපා, ඉගිලී යන්න
බැරි වන ලෙස ඇති කරනවා නම් ඔහු උපදින්නේ මේ නරකයේ යි. කුරුල්ලන්ගේ ගෙල සිඳ ඝාතනය
කොට ආහාරයට ගන්නවා නම්, කුරුල්ලන් ඝාතනය කොට මාංශවලට විකුණනවා නම්, ඒ අයත් මේ අපායට
වැටිලා හිස සුන් ශරීර ඇතිව උපදිනවා.
දුටුවා නේද දරුවනේ, මේ පරිසරයේ නිදහසේ ජීවත්වන කුරුල්ලන් අල්ලාගෙන කූඩුවල සිරකර
තැබීමේ ආදීනව? සතුන් නිදහසේ සැරි සරන දෙස බලා සතුටුවනවා හැර හිංසා කිරීමෙන්
සතුටුවීමට ගියොත් යන්නට වෙන්නේත් මේ අපායටම තමයි. ගිරවුන්, පරෙවියන්, මයිනන් ආදී
සතුන් කූඩුවල දමා ඇති කරනවා නම් අදම ඒ සතුන් මුදා හරින්නට ඕනෑ. ඒ වගේම කිසිම සතෙකුට
හිංසා කරන්නට එපා. සමහර දරුවන් කැටපෝල හදාගෙන කුරුල්ලන්ට විදිනවා. හරියට කුරුලු
වැද්දන් වගේ. අන්තිමේ දී මේ ආත්මයේදී ම අතපය කඩාගෙන දුක් විඳිනවා. මිය ගියාට පසුව
අපාගත වෙනවා. තමන් සතෙක් නො මරා, වෙනත් අයලවා එය සිදු කරනවානම්, සතුන් මැරීමට අනුබල
දෙනවා නම් ඒ අයට උපදින්න වෙන්නේත් මේ අපායේ ම තමයි.
මාතලී දිව්‍ය පුත්‍රයා නිමි මහරජතුමා තවත් අපායක් වෙත ගෙන ගියා. ඒ අතරමඟ නො ගැඹුරු
ගංගාවක් ගලා බහිනවා. ඉතාම රමණීය යි. ගින්නෙන් දැවෙන, රත්වෙන නිරි සතුන් ජලය බිඳක්
සොයාගෙන ගිනි පොළොව පාගමින් ඒ ගඟට දිය සොයාගෙන දිව එනවා. ගඟ දුටුහැටියේ ම ඊට
පනිනවා. දරුවනේ එවිට සිදුවන්නේ කුමක් ද? සිහිල් දිය ගලා ගිය ඒ රමණීය ගංගාව ඒ මොහොතේ
ම ගිනි ගන්නවා. එහි ගලායන ජලය ලෝදිය ගංගාවක් බවට පත්වෙනවා. ඉතින් පිපාසය ඉවසා දරා
ගන්නට නොහැකි අපාගත සතුන් ඒ ලෝදිය බොන්නට පටන් ගන්නවා. ගිනියම් ලෝ දියෙන් මුළු
ශරීරයම දැවී යනවා ලෝදිය ශරීරයෙන් පිටවෙන විට දැනෙන වේදනාව ඉවසා දරාගන්නට නො හැකිව
ඔවුන් දෑතින් හිස අල්ලාගෙන මහ හඬින් හඬනවා. නිමි රජතුමා මේ නිරි සතුන්ගේ ස්වභාවය
දැක තව තවත් බියට පත්වෙනවා.
“මේ තරම් දුක් විඳින්නේ මොන වගේ අකුසලයක් කළාට ද?”
රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අසනවා.
යේ සුද්ධ ධඤ්ඤං පලපේන මිස්සං
අසුද්ධ කම්මා කයිනො දදන්තී
සම්මා භි තත්තානං පිපාසිතානං
පිවතඤච තේ සං භූ සංභොති පාණී
දිව්‍ය පුත්‍රයා පිළිතුරු දෙනවා.
එයින් කියැවෙන්නේ කුමක් ද? දරුවනේ, සමහරු ධාන්‍ය වර්ග වෙළෙඳාම් කරනවිට ඒවාට ගල්
වැලි මිශ්‍ර කරනවා. බර වැඩි කිරීමට, වර්ණ ගැන්වීමට විවිධ අපද්‍රව්‍ය එක් කරනවා.
පාරිභෝගිකයින් රවටනවා. දරුවනේ, එය බරපතළ පාපයක්. එවැනි අයහපත් වැඩ කරන අය උපදින්නේ
ඉහත සඳහන් කළ නරකයේ යි. නො වටිනා දේ වටිනවා යැයි මුසා කියමින් අන්අයට මුදලට ලබා දෙන
අයත් උපදින්නේ මේ නරකයේ ම තමයි. දරුවනේ, මේ ගැන වැඩිහිටියන් දැනුම්වත් කරන්නට ඕනෑ.
ඒ වගේම මේ පින්වත් දරුවන් අධිෂ්ඨාන කරගන්නට ඕනෑ කවදා හෝ දිනෙක තමන් වෙළහෙළදාම්
කරනවා නම්, මෙවැනි රැවටිලි සහගත දේ නො කරන බවට.
- රමණී සුබසිංහ |