Print this Article


සිහි මුළා ව මිය ගියොත් ඉරණම...

සිහි මුළා ව මිය ගියොත් ඉරණම...

සෝතානුදත සූත්‍රයට අනුව බුදුන් වහන්සේ පෙන්වා වදාළේ, දෙව්ලොව උපත ලබන දෙවන දේවතාවා මෙසේ වන බව යි. පළමු දේවතාවා සේ ම දෙවැන්නා ද මනු ලොව දී හොඳින් බණ අසන කෙනෙකි. (සුතා).එසේ ම අසන ධර්මය හොඳින් ධාරණය කරන්නෙකි.(දතා). ඒ ධර්මය වචනයේ පුරුදු පුහුණු කරන්නෙකි(වචසා පරිචිතා), එනම්, සෑම මොහොතක ම මේ ඇස අනිත්‍යය යි. කන අනිත්‍යය යි, නාසය අනිත්‍ය යි, දිව අනිත්‍ය යි. කය අනිත්‍ය යි. යනුවෙන් පුරුදු පුහුණු කරන්නෙකි.

බුදුගුණ සිතමින් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම අරහං, සම්මා සම්බුද්ධ යැ’යි සිතයි. ධර්මය වදනින් නිබඳව ම පුරුදු පුහුණු කරයි. එසේ ම, එය මනසින් නොහොත් නුවණින් විමසයි. (මනසා පෙක්ඛිතා), භාවනා වශයෙන් ගැඹුරින් විමසා බලයි. එලෙස විමසීමේ දී ඒ ධර්මය තමාගේ අවබෝධයෙන් තම නුවණට ටිකෙන් ටික වැටහී යයි.

මේ අයුරින් ධර්මය වඩාගෙන යද්දී, යම් හේතුවකින් කෙනෙක් සිහි මුළාව කාලයක් සිට මිය ගියොත්, ඇතැම් විට රිය අනතුරකින් හෝ සිහිකල්පනාව නොමැති ව මිය ගියොත්, ඔහුගේ ඉරණම මෙසේ යැ’යි බුදුන් වහන්සේ වදාළ සේක. ‘මහණෙනි, පළමු පින්වතා දෙව්ලොව උපත ලැබුවේ පෙර පින නිසයි. ඒ තැනැත්තාට පෙර මතකය තනිව ම මතකයට නැඟෙයි. නමුත්, ‘මහණෙනි, මේ දෙවන පින්වතා ජීවත් ව සිටියදී මනු ලොව දී හොඳින් පින්කම් කළ තැනැත්තෙකි. ඒ නිසා අන්‍යතර දේවනිකායකට, පිනට අනුව ම ඇදී යයි. සිහියෙන් කෙනෙකු මිය ගියොත් සිත පිහිටුවා උපත ලබන්නට පුළුවනි. මා චාතුර්මහාරාජික දෙව්ලොව උපත ලබනවා. මා මෙසේ පින් දහම් කළා යැ’යි සිත පිහිටුවා ගත්විට එහි උපත ලබයි. දේවතානුස්සති වැනි භාවනාවක් වඩා මරණමංචකයේ දී පින බලවත් ව, සිත පිහිටුවාගෙන දෙව් ලොව උපත ලබයි. නමුත්, මරණාසන්න මොහොතේ සිහි මුළා වුණොත් , පිනට අනුව අන්‍යතර දේව නිකායක උපත ලැබූව ද, තමන්ට අවශ්‍ය පරිදි සිත පිහිටුවාගෙන දෙව් ලොව උපත ලබන්නට බැහැ. බුදුන් වහන්සේ වදාළේ, මේ දෙවන පින්වතා අන්‍යතර දේව නිකායක උපත ලබන බවයි. නමුත්, ඒ තැනැත්තාට දෙව් ලොව දී පෙර මතකය නො නැඟෙයි. ඒ දේවතාවා නන්දන වනයට පිවිසෙමින් , දෙවි දේවතාවුන් පිරිවරාගෙන, විනෝදයෙන්, සතුටෙන් පංච කාමයන් තුළ කාලය ගෙවා දමයි. පළමු දේවතාවාට කාලයක් යද්දී තමන් මනු ලොව දී කළ පින්කම් මතකයට නැඟෙයි. දෙවැන්නාට එසේවත් මතකයට නැඟෙන්නට තරම් සිහිය මතු නොවෙයි. එනම් පෙර මතකය නො නැඟෙන බවයි. ඒ දේවතාවා මනු ලොව කළ පිනෙන් දෙව් ලොව ලැබුණු සැප සම්පත් නිසා සතුටෙන් ජීවත් වෙයි. මෙලෙස කාලයක් යද්දී , හදිසියේ ම දෙවි දේවතාවුන් අතර ධර්ම සාකච්ඡා කිරීම අසන්නට ලැබෙන බව සඳහන් වෙනවා. එලෙස බණ ඇසෙන විට, ධර්ම කරුණු ඇසෙන විට, මේ දෙවිවරු පවසන දේ මා දන්නවා නේදැ’යි, මතකයට නැඟෙයි. මා කවදා කොතැනක හෝ මේ ගැන අසා තිබෙනවා නේද? මා දන්නා දෙයක් නේ, මේ දෙවි දේවතාවුන් කතා වෙන්නේ? යනුවෙන් තමන්ට පෙර මතකය, මතකයට නැඟෙයි.

බුදුන් වහන්සේ වදාළේ, ‘මහණෙනි, පෙර මතකය, මතකයට නැඟෙන විට ඒ දේවතාවා දිව්‍ය කාමයන් තුළ සතුටෙන් , ප්‍රමාදයෙන් සිටියා නම්, මා මෙලෙස විනෝදයෙන් කාලය කා දැමීම උචිත නැතැ’යි සිතනවා, ඉක්මනින් ම ධර්මය කරා යොමු විය යුතු යැ’යි සිතා ඒ දේවතාවා ධර්මය කරා ම යොමු වෙනවා. බුදුන් වහන්සේ එයට ද ලස්සන උපමාවක් සඳහන් කළ සේක. ‘මහණෙනි, යම් කෙනෙක් කැළයක අතරමංව පාරක් සොයමින් මංමුළාවූවකු සේ, කැළයතුළ ඈතින් ඈතට ඇසෙන බෙර හඬ ඔස්සේ ඇදී යයි. අන්න, බෙර හඬක් යැ’යි ඇසෙන හඬ හඳුනා ගනියි. එසේනම්, මේ සමීපයේ ම ගම්මානයක් තිබෙන බව හඳුනා ගනියි. ඒ නිසා මට රැකවරණයක් ද ඇත, යනුවෙන් අතරමං වූ දේවතාවා ඇසෙන බෙර හඬ ඔස්සේ ගම්මානයට ඇදෙන්නා සේ, ඇසෙන ධර්මය කරා පිය නඟයි. බුදුන් වහන්සේ වදාළේ, ‘මහණෙනි, මනුලොව හොඳින් පින් දහම් කර ධර්මය දියුණු කළ පුද්ගලයා මෙලෙස වේ, යනුවෙනි.

එසේනම්, යම් අනතුරකින් හෝ යම් හේතුවකින් මනු ලොව කෙනෙකු සිහි මුළාව මිය ගිය ද, පිනට අනුව දෙව් ලොව උපත ලබයි. නමුත්, මිය යද්දී සිහි කල්පනාව නොමැති වුණොත්, දෙව් ලොව උපත ලබන දේවතාවාට පෙර මතකය එකවර ම මතු වන්නේ නැහැ. ලැබූ සැප සම්පතින් විනෝදයෙන් කාලය ගෙවා දමනවා. ඒ දේවතාවා කැළේ අතරමං වුණා සේ, දිව්‍ය ලෝකයේ සැප සම්පත්වල මුසපත් ව සිටිනවා. ඒ දේවතාවාට, දෙවි දේවතාවුන් ධර්ම සාකච්ඡා කරන හඬ ඇසෙන විට ම බෙර හඬ ඔස්සේ ගම්මානය සොයා යන්නා සේ ධර්මය කරා ම යොමු වන බව සඳහන් වෙයි.

බුදුරජාණන් වහන්සේ වදාළේ, ‘මහණෙනි, ඒ පින්බර දේවතාවා රැකවරණය පිණිස මිස නැවත දුගතිය කරා යොමු නොවන බව යි. එලෙස සෝතානුදත සූත්‍රයට අනුව නිවන කරාම යොමු වන්නේ, මනු ලොව පින් කළ දෙවන පින්වතා වෙයි.

මීළඟ ලිපියෙන් සෝතානුදත සූත්‍රයට අනුව තෙවැනි පින්වතා යනු කවු ද?