වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන
නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 15
අරහං නම් ගුණයෙන් යුක්තවන සේක
ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
"ථින මිද්ධ සම්පූර්ණයෙන් ම නැති කරගත්ත නිසා කියන්නේ අරහං කියායි.
උද්ධච්චය කියා කියන්නේ සිතේ නොසන්සුන්කම. සිතේ ඒකාග්‍රතාවයක් නැතිකම. තථාගතයන්
වහන්සේ සිතේ උද්ධච්චය සම්පූර්ණයෙන් ම නැති කළ නිසා ‘අරහං’ නම් වන සේක.""
තථාගතයන් වහන්සේ මානය නැති කළා. අහංකාරකම, උඩඟුකම. නැති කළා. මම කියන මමත්වය, නැති
කළා. ‘සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන’ යන මාන සියල්ල ම නැති කළා. අප නම් කොහොම ද?
කෙනෙක් යමක් කරන විට අප හිතනවා ‘මම තමයි උසස්, මට තරම් එයාට බෑ.’ සමහර වෙලාවට කවුරු
හරි කෙනෙක් කුමක් හෝ කරන කොට ‘මටත් ඔය දේ කරන්න පුළුවන්’ යනුවෙන් අන් අය හා සමව
හිතනවා. සමහර වෙලාවට අපට පුළුවන්කම තියෙද්දී හිතනවා අපට ඕවා කරන්න බැහැනේ කියලා.
පින්වතුන් දන්නව ද අපේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩිය නේ. උරුවේල කාශ්‍යප
කියන්නේ මානයෙන් උමතුවුණු ජටිලයෙක්. රහත් වෙන්න කලින්. පුදුම සහගත මාන්නයක් තිබුණේ.
බුදුරජාණන් වහන්සේ වැඩියා, මෙතුමාට පිරිවර සම්පත්තිය සිටින ආවාසයට ගෝලයෝ පන්සීයයක්
ඉන්නවා. ඉතින් ඉන්ට තැනක් ඉල්ලුවා. ඉන්නෙ කොහේද? අර වැලිගොඩක් උඩ ඉන්න කියලා.
මේ වැලිගොඩේ ඉන්නවා විශාල දරුණු විෂ සහිත නාගයෙක්. මේ වැලිගොඩට පිටත් කළේ ඇයි?
නාගයන් සරණ ගිය මේ ඇත්තෝ නාගයාටත් වැඳුම් පිදුම් කරමින් හිටියේ. මේ නාගයා ලවා
බුදුපියාණන් වහන්සේට අනතුරක් කරවන්නයි. මේ නාගයා විෂ පිට කරමින් ආවා.
නමුත් උන්වහන්සේ කිසිම දෙයක් කළේ නැහැ. ශාන්තව දමනය කළේ. පාත්තරයට දා ගත්තා මේ
නාගයා. දැන් පහුවෙනිදා උදෑසන ම එනවා බලන්න නාගයාට මොකද වෙලා තියෙන්නේ. නැතිනම්
බුදුරජාණන් වහන්සේට කුමක් ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ
තමන් වහන්සේ නාගයා දමනය කළ ආකාරය දේශනා කළා. ඒත් මේ උරුවේල කාශ්‍යප හිතනවා ඒක
වෙන්නත් පුළුවන්. ඒත් මම තරම් රහත් වෙලා නෑ. මම තමයි රහත්. ඔය වගේ එකක් දෙකක්
නෙමෙයි. තවද බුදුරජාණන් වහන්සේට පාංශකූල චීවරයක් ලැබුණා. ඒ වෙලාවේ පස්සෙ පාංශකූල
චීවරය සෝද ගන්ට ජලය ඕනේ, ගලක් ඕනේ, ඒ හැම දෙයක් ම ඕන වුණා. මේ ඔක්කොම සක්දෙව්
රජතුමා මවලා දුන්නා. මෙයින් බුදුරජාණන් වහන්සේට පාංශුකූල චීවරය සෝදලා ලෑස්ති කර
ගත්තා. පහුවෙනිදා උදෑසන උරුවේල කාශ්‍යප ඇවිත් බලන විට කවදාවත් දැකපු නැති දේ මෙතන
දැන් තියෙනවා. කවුද මැව්වේ. කවුද මේවා ගෙනාවේ කියලා අහනවා. ඒ වේලාවේ බුදුරජාණන්
වහන්සේ දේශනා කරනවා මට පාංශකූල චීවරයක් උපන්නා. ඉතින් ඒකට තමයි මේ සක්දෙව් රජතුමා
මේවා මවලා දුන්නේ කියලා. ආ ඒක වෙන්ටත් ඇති. ඒත් මම තරම් රහත් නෑ. හැම වෙලාවේ ම එයා
උසස් කියලා තමයි කතා කරන්නේ. තව දිනක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ ඇත්තන්ගේ
මහා පූජාවක් තියනවා.
යාග හෝම පූජාවක්. මේ පූජාවට දැන් අංග, මගධ කියන ජනපදවලින් බොහෝ ජනකායක් එනවා. ‘දැන්
උරුවේල කාශ්‍යප හිතනවා බැරිවෙලාවත් මේ ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ හිටියොත් එහෙම
මගේ දායකයෝ ටික නැති වෙනවා. මගේ දායකයො කැඩිලා යනවා. ඉතින් ශ්‍රමණ භවත් ගෞතමයෝ හෙට
මේ පැත්තට වැඩියෙ නැත්නම් හොඳයි. කියලා හිතනවා.
බුදුරජාණන් වහන්සේ ඒ හිත දැක්කා. දැකලා උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතයේ වැඩම කරලා
අනෝතප්ත විලෙන් පැන් පහසු වෙලා දන් වළඳලා හවස් වෙලා වැඩියා. උරුවේල් කාශ්‍යප
පිරිසත් එක්ක ගිහින් අහනවා ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ වැඩියෙ නෑ. කොහොද හිටියේ?.
අන්න ඉතින් මතක් කරනවා මම මෙහෙන් වැඩියා කියලා. ඒක වෙන්ටත් ඇති. මම තරම් නම් රහත්
නෑ. ඊට පස්සේ මේ ඇත්තෝ විශාල පූජාවක් ලෑස්ති කරනවා දර පූජාවක්, ගිනි මැල ගහන්ට දර
කොටන් පන්සීයක් පලන්ට ඕනේ. ඒ දර එකතු කරන්ට ඕනේ ගිනි මැල ගහන්ට ඕනේ. නමුත්
බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා දර පැලෙන්න එපා කියලා. දැන් ඒ දර පැලෙන්නෙ නෑ.
අධිෂ්ඨාන කරනවා දර පැලෙන්න කියල ඔන්න පැලෙනවා. ගිනිපත්තු කරන්න හදනකොට බුදුරජාණන්
වහන්සේ අධිෂ්ඨාන කරනවා පත්තු නොවේවා කියලා. එතකොට පත්තු කරන්න බෑ. අධිෂ්ඨාන කරනවා
ගිනි පත්තු වේවා කියලා. එතකොට පත්තු වෙනවා. මෙලෙස බුදුරජාණන් වහන්සේ එක එක
ආශ්චර්යමත් දේ කළා. ඊට පස්සෙ ටික ටික මේ ඇත්තෝ දමනය වුණා.
ඊට පස්සෙ මොකද වුණේ? මහා විශාල ගං වතුර ගලලා, මහා වැහි වැහැලා, විශාල ගං වතුරක් ගලන
කොට මේ වතුර ගලාගෙන යන කොට බුදුරජාණන් වහන්සේ අර ගලාගෙන යන වතුර මැද සක්මනක් මවාගෙන
සක්මන් කරනවා. මේ ගඟ මැද. එතකොට මේ උරුවේල කාශ්‍යපයි මේ පිරිසයි හිතනවා. ඉක්මනින්
යන්න ඕනේ ශ්‍රමණ ගෞතමයන් ගහගෙන යනවද දන්නෑ කියලා. මේ ඇත්තෝ ඔරු, බෝට්ටු අරගෙන යනවා
උන්වහන්සේ බේරගන්න. යනකොට බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා මෙන්න මේවා දැක්කට පස්සෙ
කොහොම කොහොම හරි තමයි මේ ඇත්තගෙ මානය නැතිකරගෙන බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා
රහත් භාවය ලැබුවේ.
ඉන් පසු නදී කාශ්‍යප, ගයා කාශ්‍යප, දහසක් දෙනා රහත් වුණා. ඉතින් බලන්න මාන්නය.
බුදුපියාණන් වහන්සේ මේ සියලු මානයන් දුරු කරලා තිබුණා. මෙලෙස මාන්නය අධික
බ්‍රාහ්මණයන්, සිටුවරු, ධනවත් අය පසු කාලයේ මාන්නය නැති කර ගත්තා. තථාගතයන් වහන්සේ
මෙලෙස මාන්නය හැම තැනක දී ම නැතිකරල තිබුණ නිසා කියන්නෙ අරහං කියලයි.
විචිකිච්ඡාව හෙවත් සැකය. සැකය කියනකොට උන්වහන්සේට මේ ලෝකයේ කිසිම දෙයක් ගැන සැකයක්
නෑ. කොතැනකවත් සැකයක් නෑ. ධර්මය ගැනවත්, මේ ශාසනය ගැන, මේ ලෝකය ගැන, කිසි සැකයක්
නෑ. හැබැයි තථාගතයන් වහන්සේ හැම දෙයක් ම දේශනා කළේ නෑ. දවසක් ඇට්ටේරියා වනයක දී අතට
කොළ ටිකක් අරගෙන භික්ෂූන් වහන්සේලා අමතා ‘මගේ අතේ තියෙන කොළ ද වැඩි මේ කැළයේ තියෙන
කොළද වැඩි?’ ‘කැළේ තියෙන කොළ වැඩි’ ‘එහෙනම් මහණෙනි මම නුඹලාට දේශනා කරලා තිබෙන
ධර්මය මගේ අතේ තියෙන කොළ ටික හා සමානයි.’ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරලා
තියෙන්නේ අපට නිර්වාණ මාර්ගය විතරයි. මේ නිර්වාණයෙන් බාහිර දේශනාවන් දේශනා කළේ නෑ.
අද විද්‍යාඥයෝ බොහෝ වෙහෙස වී එක් එක් දේ හදන්න පටන් ගන්නවා. කරන්න පටන් ගන්නවා.
හොයන්න පටන් ගන්නවා.
නමුත් තථාගතයන් වහන්සේ මේ හැම දෙයක් ම දන්නවා. අවස්ථානුකූලව අපට දේශනා කරලා
තියෙනවා. දැන් එකී කරුණු කාරණා ඉස්සරහට අප කියන කොට මේ ඇත්තන්ට තේරෙයි. අද
විද්‍යාවෙන් හොයාගන්න පුංචි දේ ඒ කාලයේ බුදුපියාණන් වහන්සේ හොයාගෙන තියෙන්නෙ කියලා.
ඉතින් මෙන්න මේ කියන සැකය, තථාගතයන් වහන්සේ විශේෂයෙන් පෙර ජීවිත, මතු ජීවිත
පටිච්චසමුප්පාද ආදී සියලු ම සැක උන්වහන්සේ නැතිකර ගත්ත නිසා තිණ්ණ විචිකිච්ඡා නම්
ගුණයෙන් සමන්නාගතයි. අරහං කියලා කියන්නෙත්. මේ විචිකිච්ඡාව නැති කරගත් නිසයි.
ථින යන්නට මිද්ධත් අයිති වෙනවා. මෙතන ථින මිද්ධ කියන්නෙ සිතේ සහ චෛතසිකයේ හැකිලුණු
ගතිය. උන්වහන්සේ කිසි වේලාවක කිසිම දවසක සිතේ, සහ චෛතසිකයන්ගේ හැකිලීමෙන් කටයුතු
කළේ නෑ. උන්වහන්සේ හකුලගත්තේ නෑ. හැකිලෙනවා කියලා කියන්නෙ අකුසල්. උන්වහන්සේ මේ
කියන ථින මිද්ධ සම්පූර්ණයෙන් ම නැති කරගත්ත නිසා කියන්නේ අරහං කියායි.
උද්ධච්චය කියා කියන්නේ සිතේ නොසන්සුන්කම. සිතේ ඒකාග්‍රතාවයක් නැතිකම තථාගතයන්
වහන්සේ සිතේ උද්ධච්චය සම්පූර්ණයෙන් ම නැති කළ නිසා ‘අරහං’ නම් වෙනවා. |