ප්‍රසන්න මනසකින් ලොව දෙස බලන්න
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි
වෛරයෙන් වෛරය නො සංසිදෙන්නේ ය. අවෛරයෙන් ම වෛරය සංසිදෙන්නේ ය. ළඟ මිස දුර නොබලනතාක්
අනුවණයා වෛර සිතිවිලි ම වර්ධනය කරමින් අවස්ථාව එළඹෙන තුරු බලා සිටින්නේ ය.
එහෙත්, තමනුත් නොදැනීම ඔවුන් වැටෙන්නේ මුළාවක ය. වෛරී සිත දවන්නේ අනුන් නොව තමන් ම
බව වටහා ගන්නට, අයහපත් වන්නේ තමන්ගේ ම ක්‍රියාකාරකම් බව හඳුනා ගන්නට බොහෝවිට ජීවිතය
දෙස ආපසු හැරී බැලීම වුව ප්‍රමාණවත් ය.
ගෙවුණු ජීවිතයේ අන්‍යයන් ගැන මොනතරම් වෛරී සිතිවිලි පහළ වී තිබුණා ද? එයින්
සිදුවුණේ යහපතක් ද? අයහපතක් ද? මෛත්‍රිය කළා නම්, ඉන් ලැබුණු සැනසීම මොන තරම් ද? ඒ
සිතිවිලි ප්‍රශ්න විසඳා ගැනීමට මොන තරම් පහසු වූ වා ද? එසේ කල්පනා කරන, නුවණින්
විමසන පුද්ගලයාට වෛරී සිතිවිලිවලින් බැහැරව මෛත්‍රී සිත වැඩීම අපහසු නොවන්නේ ය.
තමන්ට කෙනෙක් වෛර කරනවා නම්, පෙරළා තමන් ද ඒ පුද්ගලයාට වෛර කරනවා නම් එහි කෙළවරක්
දකින්නේ කෙලෙස ද? ඉපදෙමින් මිය යන සසර ගමන පුරාම දිගින් දිගටම එකිනෙකාට වෛර කරමින්,
පලි ගනිමින් දුක් වේදනා පිරුණු ගමනක් යනවා මිස සැපතක් නම් නොලැබෙන්නේ ය.
බෞද්ධ කතා සාහිත්‍යයේ එන කාල යක්ෂණියගේ කතාව ඊට හොඳම උදාහරණයකි. ඇය එක් ආත්ම භවයක
වඳ ස්ත්‍රියකි. ඇය දරුවන් නො ලද හෙයින් සැමියා තවත් විවාහයක් කර ගත්තේ ය. ගැබ් ගත්
අලුත් බිරිය ගැන ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධ සිතින්, වෛරයෙන් ඒ දරුගැබ විනාශ කරවන්නට ඇය
නො පසුබට වූවා ය.
මේ සිදුවීම පදනම් කර ගනිමින් ඒ කාන්තාවන් දෙදෙනා අතර ඇති වු වෛරය කිකිළියක සහ
බැළලියක ලෙස ඉපදුණ ආත්ම භවයේ දී මතුව ආවේ ය. කිකිළිය දමන බිත්තර සියල්ල බැළලිය
විසින් කා දමනු ලැබුවා ය. ඊළඟ ආත්ම භවයක ඔවුන් මුව දෙනක හා දිවි දෙනක ව ඉපදුණි.
දිවි දෙන මුවදෙනගේ පැටවුන් සියල්ල කා දැමුවා ය. ඊළඟ භවයේ මුව දෙන යක්ෂණියක ව
ඉපදුණි. දිවි දෙන මනුෂ්‍ය ස්ත්‍රියක ව ඉපදුණි. පෙර භවයේ තම පැටවුන් කා දැමීමේ වරදට
වෛරී සිතින් දුන් දඬුවම මනුෂ්‍ය ස්ත්‍රියගේ දරුවන් දෙදෙනා විනාශ කිරීම ය. මේ,
නොසන්සිඳුණු වෛරය සංසාරගතව ක්‍රියාත්මක වූ සැටිය. තුන්වැනි දරුවා ද විනාශ කරන්නට
සැරසුණ ද බුදුහිමියන්ගේ මහා කරුණාව නිසා ඒ වෛරය සංසිඳුවාගන්නට හැකි විය.
දොස් නගන්නට කැමැති වුව දොස් අසන්නට නම් බොහෝ අය අකැමැති ය. නින්දා අපහාස, ඇනුම්
බැණුම් ඉදිරියේ නිහඬ වනවා වෙනුවට පෙරළා අනෙකාටද ඒ ලෙසම පිළිතුරු දෙන්නට ඇතැම් අය
ලජ්ජා නොවෙති. බණ පොතේ සඳහන් වන ලෙස එය, කෙළවලින්, සොටුවලින්, මළ මුත්‍රවලින්
අපිරිසුදු වු තැනක් පිරිසුදු කරන්නට ඒ අයුරින්ම කෙළ, සොටු, මළ මුත්‍රා යොදාගැනීමක්
හා සමාන ය. එහි අවසන් ඵලය කුමක් වේ ද? සිතා ගැන්ම ම පිළිකුල් ය. වෛරී සිතිවිලි ද
එවැනි ය. වෛරයට වෛරයෙන් පිළිතුරු දීම තුළ නිර්මාණය වන පිළිකුල, අයහපත ප්‍රමාණ කළ නො
හැකි ය. ඔවුනොවුන්ට වෛර කරන්නෝ මේ ජීවිතයේ ම මානසික රෝගීහු වෙති. කායික රෝගීහු
වෙති. සංසාරගත ව ද රෝගී වෙති.
සිතන්න අනුන්ගේ සම්පත් දැක, දියුණුව උසස්කම් දැක, කීර්තිය දැන ඒ දෙස වපර ඇසින් බලා,
ඒ ගැන ම සිතමින් වෛරී සිතිවිලි උපදවනවා නම් ඒ සෑම මොහොතක් පාසා ම සිත මොන තරම්
ගිනියම් වෙනවා ද?
තමන් වෛර නො කරන්නා සේ ම, තමන්ට වෛර කරන අය ගැන ද අනුකම්පා සිතින් බලන්න. ඔහු
මානසික රෝගියකු බව සලකන්න. පිළිගත්ත ද නොපිළිගත්ත ද වෛර කිරීමේ වරද ඔහුට කියා
දෙන්න.
මිනිසුන් ලෙස අප හැමදෙනා කෙරෙහි ම විවිධ දුර්වලකම් විවිධ මට්ටමින් පවතී. ඊර්ෂ්‍යාව,
ක්‍රෝධය, වෛරය, පලිගැනීම, ආශාව යන මේ සිතිවිලි සැමට පොදු ය. ගැටලු උපදින්නේ
මේවායෙහි දුර්විපාක අවබෝධ කර නො ගැනීම නිසා ය. ලෞකික වින්දනයන් ම සොයමින්, ඒ පසුපස
ම හඹායන අප අතර වන තරගකාරීත්වය, අතෘප්තිකර ආශාව හෙවත් අසීමිත තණ්හාව ඉහත කී නරක
සිතිවිලි උපදින්නට මුලික හේතුවයි. එහි ප්‍රතිඵලය දුක් කන්දරාවක උරුමයයි.
සිතෙහි ඉපදී සිත ම දවන, ගත වෙහෙසන මේ දුර්විපාක හඳුනා ගැනීම සතුටුදායක ජීවිතයකට
අත්‍යවශ්‍ය ය. ඒ සතුරු සිතිවිලි අයින් කර ගන්නට අවධානය ඇවැසි ය. උත්සාහය ඇවැසි ය.
සතුරාටත් කරුණාව දක්වන්නට උත්සාහ කරන්න. අන්‍යයන් තමන්ට වෛර කරන්නේ, ඊර්ෂ්‍යා
කරන්නේ ඔවුන් සිත ඒ පිළිබඳව වන අනවබෝධය නිසා ය. එනම්, අවිද්‍යාව නිසා ය.
නින්දා, අපහාස ගැන සිත සිතා ඔවුන් විවේචනය කරන්නට සූදානම් නොවන්න. ඒ තුළ තම සිතෙහි
ද වැඩෙන්නේ වෛරයම ය. එය දුක්ඛදායක වන බව වේදනාත්මක බව තේරුම් ගන්න.
වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන්න නොවෙනස්වන සදාතනික ධර්මතාවකි. අඩුම තරමේ වෛර කරන්නාට
කිසිදු ප්‍රතිචාරයක් නො දක්වා සිටින්නට හැකි නම් එය ද අගය කරමු.
වෛර කරන්නා රෝගියෙකු ලෙස සිතන්න. රෝගියකු සුවපත් කිරීමේ අදහසින් ඔහු දෙස බලන්න.
කාරුණික සිතින් සුවතාවයකට මඟ පෙන්විය හැකි නම්, තමන් ගුණවන්තයෙකි. තමන්ගේ, අනුන්ගේ
සතුට, සොම්නස සුරැකීම සමාජයට සැනසිල්ලකි. ජීවිතයේ සතුටට හා දුකට මුල් වන්නේ සිත ය.
හිමිදිරි උදයේත්, රැයේ නින්දට යන්නට පෙරත් තමන්ගේ සිත දෙස බලන්නට මොහොතක් වෙන්
කරන්න.
ගෙවුණු දිනයේ නරක සිතිවිලි, වෛරී අදහස් මතු වූ අවස්ථා විමසන්න. පාලනයකින් තොරව
වචනයෙන්, හැසිරීමෙන් ඒවා ක්‍රියාවට නැඟූ සැටි දකින්නට උත්සාහ ගන්න. ඉන් ඇතිවු
අවැඩදායක ප්‍රතිඵල ගැන සිතන්න. උදා වු දවස, හෙට දවස මෙබඳු දුක්ඛදායක සිතිවිලිවලින්
ඉවත්ව කටයුතු කරන්නට අධිෂ්ඨාන කරගන්න. ප්‍රසන්න මනසකින් අලුත් දිනයට පා තබන්න.
වාසනාවන්ත ජීවිතයකට පදනම ඒ තුළ ගොඩ නැගෙනවා නො අනුමාන ය.
- රමණී සුබසිංහ |