Print this Article


සිහළවත්ථු කතා ඇසුරෙනි : පින ඇවැසි අය

සිහළවත්ථු කතා ඇසුරෙනි

පින ඇවැසි අය

පෙර ලක්දිව ‘තිස්සදන’ නමින් නගරයක් තිබුණි. ඒ නගරයේ ‘වත්තේගම’ ලෙසින් ගමක් විය. ඒ ගමෙහි ධාර්මිකව ජීවිකාව කළ තුණුරුවන් කෙරෙහි බොහෝ ශ්‍රද්ධාවෙන් පැහැදී සිටි මහාදේව නම් උපාසකයෙක් වාසය කළේ ය.

ඔහු ජීවිකාව ලෙස ඈත වනයේ කුඹුරක් වපුරයි. ගොයම් කපන කාලයේ ඒ කුඹුරු අසල පැලක් සාදාගෙන ගොයම රකියි.

දිනක් මැදියම් රැයේ දී එක්තරා පේ‍්‍රතයෙක් හඬමින්, විලාප කියමින්, ආහාර ඉල්ලමින් මහමඟ යමින් සිටියේ ය. ඒ ශබ්දය ඇසුණු මහාදේව “මිනිසුන් නැති වනයේ රාත්‍රියේ දී ආහාර ඉල්ලමින් දුකසේ හඬමින්, වැළපෙමින් මෙසේ ගමන් කරන නුඹ කවරෙක්දැයි” ඇසී ය.

”මිත්‍රය, මම මනුස්ස ලෝකයේ ජීවත් වූ අයෙක්මි. ඒ ජීවිතයේ මසුරුබව නිසාම මරණින් පසු පේ‍්‍රත ලෝකයේ ඉපදුණි.මා කළ පව්කම් බොහෝ ය. මා අවට සිටින පේ‍්‍රතයන්ට බොහෝ සැප තිබේ. ඔවුන් කා බී සැපසේ සිටිති. බොහෝ ආභරණවලින් සැරසී ඇත්, අස්, රිය ආදියෙහි නැඟී කැමැති දිශාවලට ගමන් කරති.

”ඔබට නැති, ඔවුන්ට ඇති මේ සැප කො තැනින් ලබන්නේ ද?” මහාදේව ඇසී ය.

”උපාසකය, සිංහල ද්වීපයේ රුහුණු පෙදෙසෙහි බෝපිටිය ගමේ මිනිසුන් ආහාරපාන වස්ත්‍ර, පැන් ආදිය දන් දී ඤාතී පේ‍්‍රතයන්ට ඒ පින අනුමෝදන් කරති. ඒ පින අනුමෝදන් වන පේ‍්‍රතයන් සියලු සැප සම්පත් ලබයි. මම ඔවුන් දැක හඬමින් වැළපෙමි. ශෝක කරමි. ඔවුන් සතු සැපය ඉල්ලමින් පසුපස යමි. උපාසකය, යම් කෙනෙක් පරලොව ගිය පසු නෑයෝ පින් දෙන්නේ නම්, පරලොව ගිය ඤාතියාට මහත් වූ යහපතක් සැලසෙන්නේ ය.

පේ‍්‍රතය, මට නුඹ ගැන බොහෝ අනුකම්පා ඇතිවෙයි. හෙට දිනයේ දී භික්ෂූ සංඝයා මාගේ නිවසට වඩමවා ආහාර පාන පූජා කරමි. ඒ පින නුඹ සතුටු සිතින් අනුමෝදන් වේවා” කී ය.

”ඒ සියලු පින් අනුමෝදන්ව මා සා පිපාසයෙන් මිදෙන්නෙමි. මා කෙරෙහි අනුකම්පා උපදවා ගත් ඔබට බොහෝ පින්සිදු වේවා” කියා පේ‍්‍රතයා නො පෙනී ගියේ ය.

මහාදේව උපාසක පසුදින විහාරයට ගොස් භික්ෂූන් වහන්සේ අට නමක් වඩමවා ගෙනවිත් හිඳුවා ඉතා ප්‍රණීත දානයක් සකසා පූජා කළේ ය. ඉන්පසු පැන්,කැඳ, කැවිලි, මල් ද, විවිධ දේ පූජා කොට පේ‍්‍රතයාට ඒ සියලු පින් අනුමෝදන් කළේ ය. පසුදින මැදියම් රාත්‍රියේ දී පැන් බී ආහාර අනුභව කොට මලින් සැරසුණු පේ‍්‍රතයා සුන්දර ශරීරයකින් යුතුව පැමිණ නුදුරු ස්ථානයක සිටගෙන මෙසේ කී ය.

”මිත්‍රය නැගිටිනු මැනව. ඔබගේ දානයේ විපාක බලනු මැනව. කල්‍යාණ මිත්‍රයෙකු ලබා මම උතුම් සැපතට පත් වුණෙමි” යැයි කී ය.

”මිත්‍රය ඔබ බොහෝ දුරින් නොවැ සිටින්නේ. මා සමීපයට නො එන්නේ මන්ද? නුඹ ලජ්ජාවෙන් මෙන් වසන් වී සිටින්නේ කිමදැ’යි මහදේව ඇසී ය.

”මිත්‍රය මම නිර්වස්ත්‍රව සිටිමි. සියල්ලම සම්පූර්ණ වුව ද, මට වස්ත්‍ර ලැබුණේ නැත. එනිසා මම ලජ්ජාවට පත්ව සිටිමි. ඔබ සිල්වතුන්ට වස්ත්‍රයක් පූජා කොට ඒ පින අනුමෝදන් කරනු මැන.

මහාදේව නැවත භික්ෂූන් වහන්සේ වඩමවා දන් පිළිගන්වා එක් එක් භික්ෂූන් වහන්සේට සිවුරු පූජා කර “ස්වාමිනි මේ වස්ත්‍ර පූජා කළ පිනෙන් ඒ පේ‍්‍රතයාට වස්ත්‍ර ලැබේවා” කියා ප්‍රාර්ථනාවක් ද කළේ ය.

උපාසකයා, වෙනදා මෙන්ම පැලට ගොස් නිදා ගත්තේ ය. මධ්‍යම රාත්‍රියේ පේ‍්‍රතයා දිව්‍ය වස්ත්‍රයෙන් සැරසී දිශාවන් බබුළුවාගෙන පැමිණ මහාදේව ඉදිරියේ පෙනී සිටියේ ය.

”ඔබ විසින් මට කළ උපකාරය මාගේ මවුපියන් හෝ නෑයෙක් හෝ ලේ නෑයෙක් විසින් කරන ලද්දක් නොවේ. ඔබ මට බොහෝ සැප ගෙන දුන්නේ ය. ඒ සඳහා මම ද ඔබට ප්‍රති උපකාර කරන්නෙමි”යි කියා මහාදේව නුග ගසක් මුලට කැඳවාගෙන ගොස් නිදන් තුනක් පෙන්වී ය. ඉන් එක් භාජනයක් රනින් ද, එකක් රිදියෙන් ද, අනෙක කහවනුවලින් ද පිරී තිබුණි.

”උපාසකතුමනි, මේ නිධානය ඔබ පරිහරණය කරනු මැනව. මේ ධනය මනා සේ වියදම් කොට මා හට ද, පෙර මියගිය මිත්‍රයන්, දෙවියන්, ඥාතීන් උදෙසා පින් අනුමෝදන් කරනු මැනව. යමෙක් නිතර නිතර දන් දෙයිනම් ඔහු මෙලොව දී සැප ලබයි. පරලොව සුගතියට යයි. කටුක ලොවක නූපදි යි. යම් කෙනෙක් තමන්ගේ අභිවෘද්ධිය කැමැතිනම් මෛත්‍රී සහගතව අනුන්ගේ යහපත කැමැතිව, මසුරුමල හැර දමා දන් දීමෙහි ම කැමැති විය යුතු වෙයි. එවිට මෙලොව යහපත මෙන් ම පරලොව සුගතිය ද හිමි වේ. උපාසකතුමනි, මියගිය ඥාතියාට දිය හැක්කේ පින පමණයි” කියා පේ‍්‍රතයා නො පෙනී ගියේ ය.