Print this Article


සැබෑ ලොව දකිමු

සැබෑ ලොව දකිමු

ශෝකයක් ඇති වූ විටෙක සිත අඳුරු වේ. එම අඳුරු ස්වභාවය නිසා ම සිතෙහි තනිකම, පාළුව, එපාවීම, කළකිරීම, කිසිවක් කෙරේ උනන්දුවක් නැති බව ආදී දුර්වල සිතිවිලි ඇතිවේ. මෙය තරහව මුල් කොටගත් සිතිවිල්ලකි. තරහව අකුසලයක් බැවින් ශෝකය අකුසල් රැස්වීමට ද හේතුවකි. සිතේ ශෝකයක් නැති බව උතුම් කරුණක් වන්නේ එබැවිනි.

ශෝකයට මූලික හේතුව නම් සිතෙහි හටගන්නා වූ ඇලීමයි. ප්‍රේමය, ඇල්ම, වස්තුකාමය සහ තෘෂ්ණාව ආදිය නිසා සිතක ශෝකය උපදී.

ශෝකයෙන් බැහැරවීම පිණීස කළ යුත්තේ කුමක් ද? තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය මැනවින් තේරුම් ගැනීම ය. එනම් මේ ලෝකයෙහි පවත්නා සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක එනම් ජීවි, අජීවි සියලු දේ සම්මුතිය සහ පරමාර්ථය අනුව තේරුම් ගැනීම ය.

පරමාර්ථය පිළිබඳව අවබෝධයක්, වැටහීමක් පළමුව තිබිය යුතු ය. එනම් මෙලොව සියල්ලම අනිත්‍ය හෙවත් අස්ථිර බව ය. සෑම දෙයක් ම දිරාගෙන යයි. වෙනස්වෙයි. ස්ථිර නැත. මරණයට පත්වෙයි. තමාගේ ශරීරයම ලෙඩවෙන විට, දිරාගෙන යන විට, මහලු වන විට අපට පාලනයක් කළ නොහැක. තමාවත් තමාට පාලනයක් නැතිනම්, තවත් අයෙක් ගැන ‘මගේ’ යැයි සිතන්නේ, තව කෙනෙක් පාලනය කරන්නට සිතන්නේ කෙසේ ද? දරුවන්, ස්වාමි, භාර්යා, සොහොයුරු, සොහොයුරියන් මෙන් ම සිත්වලින් ඔවුනොවුන් ට සමීප වූ අය පවා මේ පරමාර්ථ ධර්මය තේරුම් ගත යුතු ය.

‘මගේ ය’ ‘ඔබ මගේ’ ‘මම ඔබේ’ ‘අපි අපේ’ ආදී ලෙසින් පැවසුව ද එය යථාර්ථය හෙවත් සත්‍ය නොවන බව පැහැදිලියි. එසේ නම් කළ යුත්තේ කුමක් ද? පරමාර්ථය නම්, යථාර්ථය දැනගෙන ම සම්මුතියෙහි පිහිටා කටයුතු කිරීම ය. . සම්මුතියට අනුව මවුපියන්, දරුවන්, ස්වාමි භාර්යාවන් විසින් ‘මගේ’ හෝ ‘අපේ’ යැයි කියයි. මවුපියන් විසින් දරුවන්ට ‘පුතේ නුඹ මගේ’ ‘දුවේ නුඹ මගේ’ යැයි කියනු ලබයි. මෙය සම්මුතිය අනුව වරදක් නොවේ.

එනමුත් ඔබ තේරුම් ගත යුතු පරමාර්ථ දහම අමතක කළ යුතු නැත. එනම් අනිත්‍ය ලොවේ දී තමාට තමා කෙරේවත්, අනුන් කෙරේවත් පාලනයක් නොමැති බව ය. මේ බව තේරුම් ගෙන ජීවත්වීම අපට කළ හැකි ය. ඉන් කියන්නේ යුතුකම්, වගකීම් අමතක කර දැමිය යුතු බව නොවේ. දරුවන්ට ගුණ නුවණ මෙන් ම ශිල්ප ශාස්ත්‍රය ද ලබාදෙමින් මවුපිය යුතුකම් ඉටු කිරීම ද වටී. ලොකු මහත්වන දරුවන් ද මවුපියන්ට මැනවින් යුතුකම් ඉටු කළ යුතු ය. ස්වාමිපුරුෂයෙක් සහ භාර්යාවක් විසින් ද මේ ආකාරයෙන් ම ගුණ දහම් මතුකරගෙන ම කරුණා මෛත්‍රීයෙන් කටයුතු කළ යුතුම ය. අපගේ වචනයෙන් සඳහන් කරන්නේ නම් ‘ආදරයෙන්’ තම ජීවිත පැවැත් ම සකසා ගත යුතු ය. වෙනස්වන ජීවි හෝ අජීවි වස්තු නිසා සිතෙහි තද ආශාව, තෘෂ්ණාව, ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී කෙලෙස් ඇතිකර ගැනීම දුකට හේතුවකි. ශෝකයට මුල් කාරණයයි. වෙනස්වන ලෝකයේ, ඉඩම් කඩම්, ධනය හෝ වස්තු නිසා කොපමණ ශෝකයෙන් සිටින්නේ ද? ඒ දැඩි තෘෂ්ණාවයි. වස්තුකාමයයි.

මේ ලෞකික ලෝකයේ ඔබ කොපමණ සමීපව සිටිය ද? සම්මුතියට ‘මම මගේ’ යැයි පැවසුව ද කිසිවක් ස්ථිර නැති බව අමතක නොකළ යුතු ය. හමු වී, ළංවී සිටින අය කවර මොහොතක හෝ වෙන් වී යාවිදෝයි පැවසිය නොහැකි ය. එය අද රාත්‍රියෙහි වුවත්, මේ මොහොතෙහි වුවත් සිදුවිය හැකි ය. මෙම පරමාර්ථ ධර්මය මැනවින් අවබෝධ කරගෙන උතුම් මිනිස් ගුණ මතුකර ගන්නට උත්සාහ කරන්න.