Print this Article


ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ 9 වන අවස්ථාව මෙය වන අතර පසුගිය රැස්වීම්වලදී සාකච්ඡා කළ කරුණු ඉදිරියට ක්‍රියාත්මක වන අන්දම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. පිරිවෙන් සඳහා ඩෙස් බංකු ලබාදීමට ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ ඩෙස් බංකු කට්ටල දස දහසක් පමණ මේ වන විට සකස්කර අවසන්ව තිබෙන අතර ඉදිරියේ දී ඒවා පිරිවෙන් සඳහා බෙදාදීමට හැකි බව සඳහන් කෙරිණි. එමෙන්ම බුද්ධ ජයන්ති නව ත්‍රිපිටක ග්‍රන්ථ සංස්කරණය සහ මුද්‍රණය පිළිබඳ ප්‍රගතිය ද සාකච්ඡාවට බඳුන් විය. පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා ගෙන යන වැඩපිළිවෙළ හා ඒ සඳහා නව පුස්තකාලයක් ඉදිකිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ජනවර්ග අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු වූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අන්තර් ආගමික කමිටු පිහිටුවීම සහ ඒ සඳහා ආගමික නායකයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම පිළිබඳව ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවට බඳුන් විය. මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමීන් වහන්සේ, ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේ, නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ, මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ඇතුළු ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුළු නිලධාරීහු එම හමුවට එක්ව සිටියහ.