Print this Article


මල් සොරකම් කළේ කවුද?

මල් සොරකම් කළේ කවුද?

කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජ දවස රජුට අයත් වටිනා සුගන්ධවත් පුෂ්ප පිරි මල් උයනක් තිබුණා. මේ මල් උයන රැක බලා ගන්නට උයන් පාලකයෙක් ද සිටියා. ඒත් සෑම රාත්‍රියක ම උයනට සොරෙක් එනවා. උයනේ පිපී තිබෙන සුගන්ධවත් පුෂ්ප, වටිනා මල් නෙළා ගෙන යනවා.

උයනේ පිපෙන මල් කවුරුන් හෝ සොරා ගන්නා බව රජුට දැන ගන්නට ලැබුණා. මල් සොරා අල්ලා ගන්නට නොයෙක් උපක්‍රම යෙදුවා.ඒත් ඒ සෑම උත්සාහයක් ම අසාර්ථක වුණා. අවසානයේ දී රජු, මල් සොරා අල්ලා දෙන අයෙකුට වටිනා තෑගි බෝග දෙන බව ප්‍රචාරය කළා. රට පුරා අණබෙර යැව්වා. පුවත ඇසූ වැදිකුලයේ උපන් එක් දුගී දෙපා නැති පුද්ගලයෙක් එම අභියෝගය භාර ගත්තා. උද්‍යානයේ පැලක් සාදවා එහි සිට ඔහු සතිපට්ඨානය සජ්ඣායනා කරන්න පටන් ගත්තා. දින දෙකක් ගත වුණා. ඒත් උයනේ මල් අඩුවෙනවා. තවමත් සොරා අල්ලා ගන්නට බැරිවුණා.තෙවන දිනයේදීත් ඔහු සතිපට්ඨානය සජ්ඣායනා කළා. මිහිරි දේශනා හඬ කාගේ දැයි බලන්නට උයනේ මල් නෙළන සුරංගනාවන්ට ආශාවක් ඇතිවුණා.

බණ දෙසතේ දොර වහගෙන කවුරු ද
ඔය ලෙසිනේ බණ දෙසනෝ ඇසුව ද
දොර හරිනේ තබා අපි කියන ලෙ ද
අප විසිනේ බණ අහනේ සිතුලෙ ද

පැල අබියසට ආ සුරංගනාවෝ ඉල්ලා සිටියා. එවිට ඒ පුද්ගලයා සත්‍ය තොරතුරු කීවා. දොර ඇරීමේ අහසුතාවය ගැනත් කීවා. සුරංඟනාවියන්ට මහත් දුකක් ඇතිවුණා. බාලම සුරඟනාවිය තමන්ගේ සඵව දොර කවුළුවෙන් කුටිය තුළට දැම්මා. දෙපා අහිමි පුද්ගලයා එම සළුව කාමරයතුළට ඇද ගත්තා. පසුදාට පහන් වුණා. සළුව හිමි සුරංඟනාවිය හැර අන් සුරංඟනාවියන් ආපසු යන්නට ගියා. සළුව හිමිකාරිය උයනේ තනිවුණා.

ඒ සැනෙන් දෙපා අහිමි පුද්ගලයාට අත් පා මැවුණා. උයනේ සැරි සරන විට රජුට මුණ ගැසුණා. රජුට මොහු හඳුනාගැනීමට අපහසුව උයනේ සිටි කොටා කොහේ දැයි ඇසුවා.එවිට ඔහු තුන් දිනක් පුරා මා බණ කී නිසා අත් පා ලැබුණු බව පවසමින් රාත්‍රිය ගත කරන විට සිදු වූ සියලු විස්තර කියා දිව සළුව රජුට දුන්නා.

රජු ඒ දිව සළුව ඇල්ලීමට හොඳ නැති බව පවසමින් එය මානෙල් මල් විලෙන් සෝදා සුවඳ ධූප ගල්වන ලෙස අණ කළා. එසේ කළ පසු සුරංඟනාවිය පැමිණ එය ආපසු ලබා ගත්තා. මල් සොරකමේ රහස සුරංඟනාවියගෙන් විමසූ රජුට දැනගන්නට ලැබුණේ මුනි සිරිපාද වඳින්නට පුදන්නට මල් නෙළා ගෙන යන බවයි. එහි යන මඟ පෙන්වීමට ද ඇය පොරොන්දු වුණා.

මග සලකුණු අනුව රජතුමා ඇතුළු පිරිස සමනොළ ගිරිහිස මුනි සිරිපා වන්දනාවට පිටත් වුණා.