Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය – පරිසරය පිළිබඳව බුදුසමය අවධාරිත දේශනා වර්තමානිකයනට බෙහෙවින් ප්‍රායෝගික ය. බෞද්ධ අධ්‍යයනයෙහි දී විශේෂයෙන් ම දහම් පාසලේ දී ගුරු ශිෂ්‍ය දෙපිරිසම අවධානය යොමුකළ යුතු ය. වාතය (සුළඟ) දූෂණය වළක්වා ගැනීම සඳහා දේශනා පාඨයන්හි සඳහන් කරුණු පැහැදිලි කරන්න.

පිළිතුර – (චුල්ලවග්ග පාලි වත්තක්ඛන්ධ)

දෛනික ජීවිතයෙහි දී වාතය දූෂණයෙන් වළක්වා ගැනීම සඳහා ඉහත සඳහන් ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. ඉදින් පෙරදිග වූ දූවිලි සහිත වාතයෝ හමත් නම් පෙරදිගට අයත් (වාබොන) ජනෙල් වැසිය යුතු. ඉදින් පැසීම් දිගට, උතුරු දිගට දකුණු දිගට, උණුසුම් කාලයක නම් (වාකවුළු) ජනෙල් වසා තබා රාත්‍රී විවෘත කළ යුතු ය. ශීත කාලය වී නම් රාත්‍රිය ද වසා තැබිය යුතුය. දවල් විවෘත කළ යුතු ය. නිවහන සහ වටාපිටාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව මෙසේ සඳහන් වෙයි. ඉඳින් පිරිවෙන (විහාර ප්‍රාකාර අතර පෙදෙස) කැළි කසළ සහිත වී නම් එය නැමැදිය යුතුය. එසේම දොරකොටුව, උවටැන්හල, ගිනිහල, වැසිකිළිය පැන් නොවී නම් පැන් එලවා තැබිය යුතු ය. වැසිකිළියේ ප්‍රයෝජනයට ගන්නා ජලය බහාලන භාජනයෙහි ජලය නොවේ නම් එහි ජලය පුරවාලිය යුතු ය.

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරි පුරයට වැඩම වූ කල එක්තරා ගෘහපතිනි දෙපළක් බුදුරදුන් දුටු විගස “පුතා ඔබ හැර මෙතෙක් දා හැසුරුණේ කොහිදැයි හඬන්නට වූහ. මේ අඹුසැමි, යුවළ කවුරුන්ද? අවස්ථාව කුමක් ද?

පිළිතුර – බුදුරජාණන් වහන්සේට නකුල මාතා සහ නකුල පිතු – පන්සිය වාරයක් දෙමව්පියන් වූහ. බුදුන් වහන්සේ ඔවුන්ගේ සිත් තුළින් පුත්‍ර ස්නේහය පහ වනතෙක් ම වැඩසිට දහම් දෙසූහ. සදහම් ඇසූ දෙමහල්ලෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.

ප්‍රශ්නය – සුජාත ජාතක කතාව සුමනා නම් සිටු දියණිය අරභයා දේශනා කොට වදාළ ජාතක කතාවකි. විවාහය පිළිබඳව පමණක් සලකා භාර්යාවකගේ වර්ගීකරණයක් මෙම ජාතක කතාවට ඇතුළත්ව ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර – භාර්යාවෝ සත් දෙනෙකි.

1. වධක භාර්යාව - (ස්වාමි සේවක අසල්වැසි සියලු දෙනාට කරදර ගෙන දෙන්නාවූ)

2. චොර භාර්යාව - (ස්වාමියා උපයන වස්තුව විනාශ කරයි)

3. ආර්ය භාර්යාව - (ස්වාමියා අවමානයට ලක් කරන භාර්යාව)

4. මාතු භාර්යා - (ආදරණීය බව සියලු දෙනා වෙත පවත්නා තම එකම පුතු ආරක්ෂා කරන මවක් මෙන් සිටින භාර්යාව ය)

5. භගිනි භාර්යාව - (සැමියට සොහොයුරු දයාවෙන් සලකන භාර්යාවයි)

6.සඛී භාර්යාව - (ස්වාමියාට මිත්‍ර ස්නේහයෙන් කටයුතු කරන භාර්යාවයි)

7. දාසි භාර්යාව - (සන්සුන් සිත් ඇති සැමියාගේ වදනට කීකරු බිරිය දාසි භාර්යාවය.)

මෙයින් – මාතු – භගිනී සහ දාසී යන භාර්යාවන් මරණින් මතු දෙව්ලොව උපදනා යහපත් භාර්යාවන් බව බෞද්ධ සාහිත්‍යයෙහි එයි.

ප්‍රශ්නය – බුද්ධ ප්‍රතිමාවක දක්නට ලැබෙන මූලික අංග අතර එහි අන්තර්ගත මුද්‍රාවට විශේෂ තැනක් හිමි වෙයි. බෞද්ධ ප්‍රතිමාවන්හි දක්නට ලැබෙන්නේ ‘මුද්‍රා’ හයක් පමණි. එයින් භූ ස්පර්ශ (භූමි) මුද්‍රාව එකකි. එම මුද්‍රාවෙහි සුවිශේෂත්වය කුමක්ද?

පිළිතුර – වචනාර්ථයට අනුව භූමිය හෙවත් මහ පොළොව ස්පර්ශ කිරීම යි. හින්දු ප්‍රතිමා නිර්මාණවල දක්නට නොලැබෙන මෙය බුද්ධ හා බෝධි සත්ව ප්‍රතිමාවලට පමණක් ආවේණික වූ මුද්‍රා විශේෂයකි. එසේම මෙම මුද්‍රාව බුද්ධ ප්‍රතිමා අතර ද හිඳි පිළිම හෙවත් වැඩ සිටින පිළිමවල පමණක් දක්නට ලැබෙන මුද්‍රාවකි.

වැඩි වශයෙන්ම පද්මාසනාරුවඩව වැඩසිටි ආකාරයේ නිර්මාණය කර ඇති භූමි ස්පර්ශ මුද්‍රා ප්‍රතිමාවන්හි විශේෂත්වය දක්ෂිණ හස්තය දකුණු දණහිසින් අත්ල ඇතුළට සිටින සේ සියලු ඇඟිලි දිග හැර පහතට යොමුව තිබීම යි.