Print this Article


අම්පිටියේ ධම්මකිත්ති හිමියන්ට දිගාසිරි පතා පින්කම්

අම්පිටියේ ධම්මකිත්ති හිමියන්ට දිගාසිරි පතා පින්කම්

එක්දහස් නවසිය හැටේ දශකයේ සෙංකඩගල මහනුවර සාහිත්‍ය කලාකාමින්, සාහිත්‍ය, කාව්‍ය රසඥයන් ඒකරාශි කරගෙන කඳුරට සාහිත්‍ය සංගමය සාහිත්‍ය රසිකයන්ගේ රසඥතාවය ඔප්නැංවීම මූලික අරමුණ කරගෙන සාහිත්‍යාචාර්ය අම්පිටියේ ධම්මකිත්ති හිමියන් විසින් ආරම්භ කරන ලදී. ධම්මකිත්ති නා හිමියන්ට අවුරුදු 83 ක් සපිරීම දෙසැම්බර් මස 17 වෙනිදාට යෙදී ඇත.

නිහඩව සිය දශක පහකදි පමණ සිදුකළ එම සේවය විශේෂයෙන් පාසල් දරුවන්ට සියැසින් දැක බලා ගැනීමට මාධ්‍ය සේවාවක් ද ආරම්භ කර ඇත්තේ බිත්ති පුවත් හා පුවත්පත්වල පළකරන ලද ලිපි විශේෂාංග එකතුවක්ද මගිනි. එම පුවත්පත් තොරතුරු ධම්මකිත්ති නා හිමියන්ගේ 83 වෙනි ජන්මදිනය යෙදෙන දෙසැම්බර් 17 වෙනිදා මාතලේ, කොහොඹිලිවල බෞද්ධ සේවා මධ්‍යස්ථානයට පැමිණෙන පිරිසට දැක බලා ගැනීමට සලස්වා ඇත.

මෙරට ජාතික නිදහස වෙනුවෙන් ක්‍රියාකළ ජාතික වීරවරයින් අතර පුරන්අප්පු වීරවරයා අනුස්මරණය කිරීම්වස් එම ඓතිහාසික භූමිය සංරක්ෂණය කර රජයේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන අම්පිටියේ ධම්මකිත්ති හිමියෝ කොහොඹිලිවල වීර පුරන්අප්පු පෙදෙස දර්ශනීයත්වයට පත් කර ඇත. ඓතිහාසික අතින් එහි ගරු ගාම්භීරත්වය බෞද්ධ සේවා මධ්‍යස්ථානය තුළින් තහවුරු කර ප්‍රදේශයේ දූ දරුවන්ගේ කුසලතා දියුණු කිරීම් වස් ශ්‍රී ධම්මකිත්ති දහම් පාසල ආරම්භ කර උකුවෙල ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලයේ මෙන්ම මාතලේ දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ උසස් ප්‍රතිඵල දැක්වූ දහම් පාසලක් බවට පත් කර ඇත. එම තත්ත්වය උදාකර ගැනීමට දහම් පාසල් ධර්මාචාර්ය මණ්ඩලයත් විහාර කාර්ය සාධක සමිතිය, ගෝතමි බෞද්ධ කාන්තා සමිතිය ලබා දෙන දායකත්වය අගය කළ යුතු වේ.

බෞද්ධ සේවා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ධම්මකිත්ති දහම් පාසලේ ප්‍රධානාචාර්ය, ජනප්‍රසාදිනි අම්පිටියේ ධම්මකිත්ති නාහිමියන්ට දිගාසිරි ප්‍රාර්ථනා කරමින් ආගමික වැඩසටහන් මාලාවක් සහ ආසිරි ප්‍රාර්ථනා කිරීමේ උත්සවයක්ද බෞද්ධ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.