Print this Article


ධර්මයෙහි ම සිත පිහිටුවමු

ධර්මයෙහි ම සිත පිහිටුවමු

තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙහි ප්‍රඥා වර්ග තුනක් පිළිබඳව සඳහන් වේ. එනම් දහම් ඇසීමෙන් ඇති කර ගන්නා දැනුම නම් වූ ‘සුතමය ප්‍රඥාව’ය. ඇසූ ධර්මය නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඇතිවන දැනුම නම් වූ ‘චින්තාමය ප්‍රඥාව’ය. ඇසූ දහම නැවත ආවර්ජනය කොට එය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීම නම් වූ ‘භාවනාමය ප්‍රඥාව’ ය.

මෙම ත්‍රිවිධ ප්‍රඥාවන් නිවන් අවබෝධයට ඍජුවම උපකාරී වේ. සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ආනිසංස පහක් පිලිබඳ ධර්මයෙහි සඳහන් ය. ඒවා නම් නොඇසූ දහම් කරුණු ඇසීමට ලැබීම, ඇසූ දහම වඩ වඩාත් නිරවුල් ව වැටහීම, දහම පිළිබඳ ව ඇති සැක සංකා දුරුවීම, නිවන පිළිබඳ ඇති නිවැරදි දැක්ම හෙවත් සම්මා දිට්ඨිය ස්ථිර වීම හා සිත පිරිසුදු වීම යි.

එලෙස ම නිවන අරමුණු කර ගත්, සසර විමුක්තිය පිණිස වූ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් සෝවාන් මාර්ගයට අවතීර්ණ වන යම් පුද්ගලයකු අනතුරුව එම ධර්මය මනාව අවබෝධ කරගැනීම තුළින් ලෝකයේ පවතින සියලු යථාර්ථය මනාව පිරිසිඳ දැන සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන සතර මග සතර ඵලයන්ට පත්වේ. අනතුරුව සාංසාරික වශයෙන් ගමන් කරන ගමන නවතා උතුම් වූ නිවන් අවබෝධය ලබයි. සෝතාපත්ති අංගයක් වශයෙන් සද්ධර්ම ශ්‍රවණය නිවන් අවබෝධය පිණිස හේතු වන්නකි. නිවන් අවබෝධය උදෙසා එනම් සසර නැවැත්ම පිණිස ම දේශනා කළ ධර්මය නිරන්තර ශ්‍රවණය කිරීමත් එම ධර්මය නැවත නැවත මෙනෙහි කිරීමත් කළ යුතු ය.

සිත මනා ලෙස ධර්මය කෙරෙහි ම යොමු කරමින් එම දහම් කරුණු විමසීමෙන් ලැබෙන අවබෝධය පුද්ගලයා නිවැරදි මාර්ගයට යොමුකරවයි. සෝවාන් මාර්ගයට අවතීර්ණ වීමට අවශ්‍ය යම් පුද්ගලයෙක් වේ ද ඔහු විසින් තමන් ශ්‍රවණය කළ යුතු ධර්මය මැනවින් තෝරාගත යුතු ය. බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාගේ මෙලොව දියුණුව හෙවත් යහපත් සාර්ථක ජීවිතයක් ඇති කරගැනීම පිණිස උපදෙස් ලබා දෙමින් දෙසූ ධර්මය ශ්‍රවණය කිරීමට වඩා ඔහු විසින් බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධය ම අරමුණු කොට දේශනා කළ ධර්මය ඇසුරු කළ යුතු ය.

එසේ ම ඇතැම් පුද්ගලයන් විවිධ දේ පිළිබඳ ව සිත මෙහෙයවමින් ධර්මය කෙරෙහි තම සිහිය මනාව පිහිටුවා නොගනිමින් ධර්මය ශ්‍රවණය කරනු දක්නට ලැබේ. ඉන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත්නොවේ. එබැවින් ධර්මශ්‍රවණයේ දී නිරතුරු ව අපගේ සිත එම ධර්මය කෙරෙහි ම යොමු කළ යුතු වේ. එසේ ම උගත් දහම් කරුණු හොඳීන් සිතෙහි ධාරණය කරගැනීම ඉතා වැදගත් වේ. ධාරණයෙන් තොර වූ ධර්ම ශ්‍රවණය තුළින් කිසිදු ප්‍රයෝජනයක් ධර්මය ශ්‍රවණය කරන්නාට එනම්, ශ්‍රාවකයාට අත් නොවේ.

එම නිසා තමන් විවිධ අවස්ථාවන් තුළ දී ඇසූ ධර්මය නිරතුරුව මෙනෙහි කරමින්, තම ජීවිතයට ගළපා ගනිමින්, ඒ පිළිබඳ නුවණින් විමසමින්, එම දහම් උපදේශ තම ජීවිතයට එක් කරගනිමින් ඒවාට අනුව තම දිවිය හැඩගස්වා ගනිමින් අත්හළ යුතු දේ අත්හරිමින්, වැඩිය යුතු දේ වඩමින්, අවබෝධ කළයුතු දෙය මනා ව අවබෝධ කරගනිමින් නිවන් අවබෝධය පිණිස වීර්යය කළ යුතු වේ. මෙලෙස නිවන් අවබෝධය කැමැති නුවණැති ආර්ය ශ්‍රාවකයා සෝවාන් මාර්ගයට පිවිසීම පිණිස සද්ධර්ම ශ්‍රවණය නිරතුරු ව සිදු කළ යුතු ය.