Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය – බුද්ධත්වයෙන් පසු බරණැස ඉසිපතනයෙහි පැවැත්වුණු ප්‍රථම ධර්ම දේශනාව අවසානයෙහිදී ම දහම් ඇස පාදාගත් (ධම්ම චක්ඛුං උදපාදි) කොණ්ඩඤ්ඤ තවුසාණන්ට “එහි භික්ෂු” භාවයෙන් “පැවිදි උපසම්පදාව“ ප්‍රදානය කළ බුදුරජාණන් වහන්සේ බෞද්ධ ශ්‍රාවක ප්‍රථම භික්ෂූ සංස්ථාව පිහිට වූහ. මෙහි සඳහන් වන “එහි භික්ෂු” භාව පැවිදි උපසම්පදාව යනුවෙන් සඳහන් කරන සංඝ කර්මය කුමක්ද?

පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් ධර්මදූත සේවයෙහි යෙදුණු ශ්‍රාවක භික්ෂූන්ගේ සහ පැවිද්ද අපේක්ෂා කළ නවකයන්ගේ පහසුව පිණිස තිසරණ ගත කිරීමෙන් පැවිදි උපසම්පදාව ප්‍රදානය කිරීම බුදුහිමියන් විසින් භික්ෂූන් වහන්සේලාට පවරා දෙන ලදී. බුදුබණ ඇසීමෙන් අනතුරුව පුරාකෘත පින් මහිමය මුහුකුරා ගිය අයකු බුදුරජාණන් වහන්සේ ‘මහණ මෙහි එවය’ ඇමැතීමෙන් පැවිදි උපසම්පදාව ලැබීම ඒහි භික්ෂූභාවය යි. මුල් යුගයෙහි දී බුදුරජාණන් වහන්සේ වෙතින්ම පැවිද්ද ලබාගත් ක්‍රමය මෙය යි. පසු කාලයේ දී ශ්‍රාවක ආධුනික පිරිස වැඩිවෙත් ම පැවිදි උපසම්පදාව ප්‍රදානය කිරීම සංඝයාටම පවරා දෙන ලදී.

ප්‍රශ්නය – පරිසරය දූෂණය නොකිරීමත්, පිරිසුදුකම ආරක්ෂා කර ගැනීමත් පමණක් නොව පරිසරය අලංකාර කිරීම හා වැඩිදියුණු කිරීමත් බුදුසමයේ අවධාරණය යි. සූත්‍රාගත දේශනා මගින් පැහැදිලි කරන්න.

පිළිතුර - වර්ෂාව හා ජලය මිනිසාට ප්‍රයෝජනවත් අයුරු ‘දේවතා සංයුත්තයේ’ පජ්ජෝත සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි.

චුට්ඨිං අලසං අනලසඤ්මාතා
මාතා පුත්තාච පොසති
වුට්ඨිං භුතුප ජීවන්ති යෙපාණා
පඨවිං සිතාති
(ස.නි. පජ්ජොත සූත්‍ර)

“වැස්ස අලස - අනලස දෙදෙනාම මව දරුවකු පෝෂණය කරන දයාවෙන් පෝෂණය කරයි. පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත්නම් වැස්ස නිසා ජීවත් වෙති. ජලය දූෂණය කිරීම බලවත් වරදකි. ජලයෙහි මළ මුත්‍රා පහ කිරීම, කෙළ ගැසීම භික්ෂුවට දුක්කඨා පත්තියකි.

යො අනාදරියං පටිච්ච උදකෙ
අගිලානො උච්චාරං වා පස්සාවංවා
ඛෙලං වා කරොති ආපත්ති දුක්කස්ස
පාචිත්තිය පාලි

ජලය පානීය ජලය සහ පරිභෝජනීය ජලය කොටස් දෙකකට වෙන්කොට දක්වා ජලය අපිරිසුදු නොකොට පරිභෝජනය කළ යුතු බව අනුදැන වදාළහ.