පින
කල් දාන්න එපා
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
මාප්පමඤ්ඥේථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති
උදබින්දු නිපාතේන
උදකුම්භො පි පූරති
පූරති ධීරො පුඤ්ඤස්ස
ථොකථොකම්පි ආචිනං
ධම්මපදයේ පාප වර්ගයේ එන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් ජේතවනාරාමයේ දී බිළාල
පාදක සිටුතුමා අරභයා වදාළ ගාථාවක්.
එක්තරා තරුණයෙකුට මහා සංඝරත්නය උදෙසා දානයක් පූජා කිරීමට අවශ්‍ය වුණා. ඔහු “පිරිවර
සමඟ එකතුව දන් දීම යහපති” සිතා දන්න හඳුනන පිරිස වෙත ගොස් තමන් දෙන දානය සඳහා දායක
වන ලෙස ඉල්ලා සිටියා.
මේ ප්‍රදේශයේ ධනවත් ලෝභ සිටුවරයෙක් සිටියා. ඔහු වෙතටත් ගොස් මේ තරුණයා කාරණය කියා
සිටියා. සිටුවරයා “දන් දෙන්න ඕන තමන්ට පුළුවන්නම් විතරයි. අපෙන් එකතු කර දන් දෙන්නේ
මොකට ද?” යැයි සිතා තමාගේ අතේ ඇඟිලි තුනෙන් අල්ලා සුණු සහල් ටිකක් සහ ගිතෙල් ටිකක්
ලබා දුන්නා. මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානය ඉතාමත්
ඉහළින් පූජා කර, දානයට සම්බන්ධ වූ අයට පින් දෙන අවස්ථාවේ දී ඇඟිළි තුනකින් අල්ලා
සුණු සහල් පූජාකළ සිටුවරයාටත්, බොහෝ වියපැහැදම් කළ සැමටත් එක සේ ඒ පින අනුමෝදන්
කළා. සිටුවරයාට මේ කතාව ආරංචි වුණා. ඔහු ඒ ස්ථානයට ගොස් බුදුරජාණන් වහන්සේ බැහැදැක
සිදු වූ සිදුවීම කියා සිටියා. ඇඟිලි තුනෙන් අල්ලා දන් දුන් නිසා ඔහුට බිළාල පාදක
කියා නමක් පටබැඳුණා.
ඒ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ ඉහත ගාථාව දේශනා කොට වදාළා. පින කියන දේ පොඩියි
කියා නො සිතිය යුතුයි. ඒ පිනෙහි විපාක කවර අවස්ථාවක දී හෝ අප කරා පැමිණෙනවා. හරියට
වැස්ස වෙලාවක දී කට ඇර තිබෙන කළයකට වැහි බිංදුව බිංදුව වැටී පිරෙනවා වගේ,
ප්‍රඥාවන්ත පුද්ගලයා පිනෙන් පිරී යන බව වදාළා.
ඒ නිසා පොඩි දෙයක් දානය ලෙස පූජා කළත්, එය යම් දවසක විශාල ලෙස එහි ආනිශංස ගෙන
දෙනවා. ඒ වගේ මලක් සිඹින කාලයක් මෛත්‍රි භාවනාව කරනවා නම්, රහතන් වහන්සේ දහස් නමකට,
පසේ බුදුරජාණන් වහන්සේ සියක් නමකට හෝ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානයට
වඩා වටිනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. ඔබ වාහනයක යනවිට, පොදු දුම්රියක, බස් රථයක යන
වෙලාවට, නිවෙසේ විවේකීව සිටින වෙලාවක මෙසේ භාවනාවක් කළ හැකියි. පාසල් යන දරුවන්
විභාගයට යාමට පෙර, පාසල් යාමට පෙර යම් භාවනාවක් හුරු කරනවානම්, ඉතා වැදගත් වෙනවා.
මේ ආකාරයට සුළුවෙන් හෝ භාවනාවක් කිරීමෙන් එක් දිනක දී කෙ තරම් පිනක් රැස්කර ගන්නට
පුළුවන් ද?
ඒ වගේම බුදුගුණ මෙනෙහි කිරීමෙන් ද, ඉතාමත් හොඳින් පින් රැස්කර ගන්නට පුළුවන්.
ශරීරයේ අසුභ ස්වභාවය මෙනෙහි කර පින් රැස්කර ගන්නට පුළුවන්. අපගේ කය පිරිසුදු කරන
විට දී සිහියෙන් ඒ දෙස බලාගෙන අපට කුණුවෙලා දුගඳ හමන ශරීරයක් නේද මේ පරිහරණය කරන්නේ
කියා පිළිකුල් ශරීරය ගැන මෙනෙහි කරමින් පිළිකුල් බව වඩන්න පුළුවන්. මේ ඇස, කන,
නාසය, දිව, කය, මනසේ ඇතිවන අනිත්‍යභාවය යම් කෙනෙක් මෙනෙහි කරනවා නමි ඔහුට මහත්ඵල
මහානිශංස පිනක් රැස් වෙනවා.
පංචශීලය රකින පුද්ගලයාටත් මහත් වූ පිනක් රැස්කර ගත හැකි යි. මේ සිල්පද පහෙන් එක
සිල් පදයක් හෝ රකිනවා නම් එයින් යහපතක් ම වෙනවාම යි. පොඩි පොඩි පින එකතු වෙලා කවදා
හෝ විශාල පිනක් ලෙසට එය පත් වෙනවා. අප සතෙකුට කෑම වේලක් දුන්නොත් ආනිශංස සියයක්
ලැබෙනවා. නැතිබැරි කෙනෙකුට කෑම ටිකක් දුන්නොත් ආනිශංස දහසක් ලැබෙනවා. අන්‍ය ආගමික
සිල් රකින පුද්ගලයෙකුට දානයක් දුන්නොත් ආනිශංස ලක්ෂයක් ලැබෙනවා. ඕනෑම ආගමක
භාවනායෝගී වීතරාගි පුද්ගලයෙකුªට දානයක් දුන්නොත් ආනිශංස ලක්ෂ කෝටි වාරයක් ලැබෙනවා.
තිසරණය තුළ ස්ථාපිත වෙලා සිටින ශ්‍රද්ධානුසාරි, ධම්මානුසාරි කෙනෙකුට දෙන දානයේ
ප්‍රමාණය මෙ තරම් යැයි කිව නොහැකි ය. එසේනම් සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත්
උතුමන්ට දෙන දානයේ ආනිශංස ගැන කවර කතාද? කියා බුදුරජාණන් වහන්සේ 'දක්ඛිණ විභංග'
සූත්‍රයේ දී වදාළා.
එනිසා අපට නිවසේ දී භාග්‍යවතුන් වහන්සේ උදෙසා බුද්ධ පුජාව, පැන් පාත්තරයක්, මල්,
සුවඳ දුම් ආදිය පූජාවක් කළ හැකිනම්, මවුපියන්ට සැලකීමත්, ඔවුන් පෝෂණය කිරීම
තුළිණුත් දරුවන්ට අසීමිත පිනක් රැස් වෙනවා. මෙසේ කරන විට අපටත් නො දැනීම පින එකතු
වෙලා මහා සාගරයක් සේ රැස් වෙනවා. වතුරේ සිටින කුඩා කූඹියෙකුගේ ජීවිතය බේරා ගත්තත්
එයින් අභය දානය දුන්නා වෙනවා. දුගී දරුවෙකුට පොතක් පැන්සලක් අරගෙන දුන්නත් එයින්
අපට පිනක් රැස් වෙනවා. මේ සියලු දෙයට ම අවශ්‍ය වන්නේ අපගේ පිරිසුදු සිතයි. ඒ නිසා
පින කල් දාන්නේ නැතිව ටික ටික හෝ පින අපේ ජීවිතවලට එකතු කර ගන්නට අප දක්ෂ වෙන්නට
ඕනෑ.
- නයනා නිල්මිණි |