Print this Article


නිවන් මග හෙළි කරන සිත පිරිසුදු කර ගැනීම

නිවන් මග හෙළි කරන සිත පිරිසුදු කර ගැනීම

සීල විසුද්ධියෙන් පිරිසුදු ව තමන්ගේ කය හා වචනය මැනවින් හික්මවා ගත් තැනැත්තා අනතුරු ව තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම නම් වූ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීමට දෙවන පියවර තබයි. ඒ පඤ්ච නීවරණයන්ගෙන් තමන්ගේ සිත මුදවා ගෙන අභ්‍යන්තරික පාරිශුද්ධත්වය ලැබීමට ය. මෙහි ලා පඤ්ච නීවරණ නමින් සැලකෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන කෙලෙසුන් ය.

රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ යන පඤ්චකාමයන් කෙරෙහි ඇති කර ගන්නා බැඳීම, ඇල්ම, ආශාව කාමච්ඡන්දය නමින් හැඳින්වෙයි. තරහව, ක්‍රෝධය, ද්වේෂය යන නමිවලින් හැඳින්වෙන්නේ ව්‍යාපාදය යි. ථීනමිද්ධය නම් චිත්ත චෛතසිකයන්ගේ පවත්නා අරමුණු ගැනීමේ අදක්ෂතාව, හෙවත් සිත, කය දෙකේ පවතින අකර්මණ්‍යතාවයි. උද්ධච්චය නම් සිතේ ඇතිවන නො සන්සුන් බවයි. කුක්කුච්ච නො කළ කුසල් ගැනත්, කළ අකුසල් ගැනත්, සිත - සිතා පසුතැවිලි වීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ආදී කරුණු අටක් සම්බන්ධ සැක කිරීම විචිකිච්ඡාව යි. මෙම කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණ නමින් හැඳින්වෙන්නේ ද ඒ අර්ථය සලකා ගෙන ය. එසේ ම ප්‍රඥාව නමැති ඇස වසාලන නිසා ද නීවරණ යැයි කියයි.

සීල විසුද්ධියෙන් යුතු පුද්ගලයා කායික – වාචසික ශික්ෂණය ඇති කෙනෙකි. එහෙත් ඔහු සිතින් පිරිසුදු වූවෙක් නො වේ. කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී පඤ්ච නීවරණයන්ගෙන් වහා අපිරිසුදු වන සිතැත්තෙකි. එයින් පීඩනයට, මංමුලාවට පත් වන්නෙකි. ඒ නිසා මානසික ව සැනසිල්ලක් ලැබීමට නම් කෙලෙසුන්ගෙන් ආවරණය වී ඇති තමාගේ සිත නිරාවරණය කරගත යුතු ය. ඒ සඳහා චිත්ත විසුද්ධි මාර්ගයෙහි ගමන් කිරීමට සිදු වේ. එය හිතුමතේ යා යුතු ගමනක් නොවේ. පළමු කොට කල්‍යාණ මිත්‍රයෙකු තෝරාගෙන, ඔහුගේ මාර්ගෝපදේශ ලබා ගත යුතු ය. මාර්ගෝපදේශකයා තෝරා බේරා ගැනීමේ දී ද සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය යි. තම මාර්ගෝපදේශකයා පි‍්‍රය උපදවන, ගරු කටයුතු, වත් පිළිවෙත් සරු, ගැටලු නිරාකරණය කර දීමෙහි සමත්, ගැඹුරු වූ ද, අරුත් බර වූ ද කතා බහ ඇති, තම අනුගාමිකයන් නො මගෙහි නො යොදවන කෙනෙකු විය යුතු ය. එසේ ම රාග, දෝස, මෝහ, විතක්ක, සද්ධා, බුද්ධි යන චරිත ලක්ෂණවලින් තම අනුගාමිකයා කිනම් චරිතයකට අයත් වන්නේ දැයි වටහාගෙන නිවැරැදි මාර්ගෝපදේශ දීමෙහි සමත් කෙනෙකු විය යුතු ය. ඒ ඒ චරිතවලට ගැළපෙන කර්මස්ථාන හතළිහක් විසුද්ධි මාර්ගයෙහි දැක්වේ.

රාග චරිතයට – දසඅසුභ, කාය ගතාසති, ද්වේශ චරිතයට - මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා මෝහ චරිතයට – ආනාපානසතිය ද, චිතක්ක චරිතයට – ආනාපාන සතිය ද, සද්ධා චරිතයට – බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, උපසමානුස්සති, ආනාපානසති යද, බුද්ධි චරිතයට – මරණානුස්සති, උපසමානුස්සති ද ගැළපෙන කර්මස්ථානයන් ය.

චරිතානුරූප වූ කර්මස්ථානයක් තෝරා ගැනීම පළපුරුදු කල්‍යාණ මිත්‍ර ආචාර්යවරයකුගේ මාර්ගෝපදේශය අනුව විය යුත්තකි. එසේ තෝරා ගත් කමටහන අනුව බවුන් වැඩීමට පළමු පහත දැක්වෙන කරුණු සපුරා ගැනීම ද කල්‍යාණ මිත්‍ර ආචාර්යවරයකුගේ මඟ පෙන්වීම අනුවම විය යුතු ය.

භාවනාව සඳහා අටළොස් දෝෂයන්ගෙන් තොර වූ ස්ථානයක් තෝරාගත යුතු බව විසුද්ධි මාර්ගයෙහි දැක්වෙයි. පහත දැක්වෙන්නේ දෝෂ සහිත එම අටළොස් ස්ථාන පිළිබඳ නාම ලේඛනයකි.මහා විහාර, අභිනව විහාර, දිරාපත් විහාර, මහාමාර්ගාසන්න විහාර, පැන්කෙම් ඇති විහාර, පලා කොළ ඇති විහාර, මල් ඇති විහාර, පලතුරු ගස් ඇති විහාර, බොහෝ දෙනා නිතර ගැවසෙන විහාර, නගරාශි‍්‍රත විහාර, දැව ඇති විහාර, ක්ෂේත්‍ර සීමා ඇති විහාර, විෂමභාග පුද්ගලයන් ඇති විහාර, මුහුදු වෙරළ ඇසුරු කළ විහාර, ඈත පිටිසර විහාර, රාජ්‍ය සීමාවෙ ඇති විහාර, අමනුෂ්‍ය භය සහිත විහාර, කල්‍යාණ මිත්‍රයන් නැති විහාර.

මෙවැනි විහාර කමටහන් වැඩීමට නුසුදුසු ස්ථාන වශයෙන් නම් කොට ඇත. (විසුද්ධි මාර්ගය 4 පරිච්ඡේදය)

භාවනාරම්භයට පළමු පහත දැක්වෙන පරිදි සූදානම් වීම ද අවශ්‍ය ය. දිග් නියපොතු ආදිය කපා දැමීම, දිරාගියය සිවුරු ඇඳුම් ආදිය මසා ගැනීම, කිළිටි වූ ඇඳුම් ආදිය සෝදා ගැනීම, පාත්‍රය කෝප්පය, පිරිසුදු කර ගැනීම, දත් මැදීම, ජල ස්නානය කිරීම වශයෙනි භාවනා වැඩීමට ඇති පලිබෝධ දහයකි.

“ආවාසෝච කුලං ලාභො
ගණෝ කම්මඤ්ච පඤ්චමං
අද්ධානං ඤාති ආබාධො
ගන්ථා ඉද්ධීච තේ දස”

යන ගාථාවෙහි ඒ පළිබෝධ දහය සංග්‍රහ කොට ඇත. මෙහි ආවාස යන්නෙන් අදහස් කරන්නේ සංඝාරාමය යි. එය පලිබෝධයක් බවට පත්වන්නේ නව කර්මාන්ත ආදිය ආරම්භ කොට තිබීම හා බෝහෝ භාණ්ඩ රැස්කොට තිබීම නිසා ය. කුල යන්නෙන් අදහස් වන්නේ ඥාති කුල හා උපස්ථාන කුල යි. ඔවුන් හා නිතර ගැවසෙමින් සම්බන්ධතා පැවැත්විම නිසා නොයෙක් ගැටලු ඇති වෙයි. ඒවා භාවානුයෝගියෙකුට අහිතකර ය. ලාභ යනු සිව්පස ලාභය යි. විවිධාකාරයෙන් ලැබෙන ඒ පූජා භාණ්ඩ පරිහරණය කිරීම නිසා භාවනානුයෝගියාගේ නිදහස ඇහිරෙයි. ගණ යනු ශිෂ්‍ය පිරිස යි. ඔවුන්ගේ ගැටලු විසඳීම හා ඔවුනට ධර්ම ශාස්ත්‍රීය කරුණු උගන්වන්නට සිදුවීම චිත්ත විසුද්ධිය ලබා ගැනීමට ගනු ලබන උත්සාහයට බාධාවකි.

කම්ම යනු කර්මාන්ත යි.විවිධ කර්මාන්ත පටන්ගෙන පවත්වාගෙන යාම භාවනා කටයුතුවලට මහත් බාධාවකි. එහෙයින් ඒවා අතහැර දැමීම හෝ අනුන්ට පවරා දී නිදහස් විය යුතු ය. රෝගාබාධයන්ට ගොදුරු වීම, ග්‍රන්ථ පරිහරණය, යනාදිය ද චිත්ත විසුද්ධි මාර්ගයෙහි ගමන් කරන්නකුට පලිබෝධ වශයෙන් පවතී. ඔවුන් ක්‍රියා කළයුතු ආකාරය ගැන කර්මස්ථාන ග්‍රහණ නිර්දේශයෙහි මෙසේ දක්වා ඇත.

“ලෞකික සමාධි වනාහි - සිල් පිරිසුදු කරගෙන, සුපරිශුද්ධ සීලයෙහි පිහිටා දස පළිබෝධ අතුරෙන් එක පලිබෝධයක් හෝ ඇත්නම් ඒ ද දුරු කොට, කමටහන් දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වෙත එළඹ, සතළිස් කර්මස්ථාන අතුරෙන් ස්වකීය චාරිතානුකූල වූ කර්මස්ථානයක් ලබාගෙන, සමාධි භාවනාවට අයෝග්‍ය විහාරස්ථාන හැරපියා යෝග්‍ය විහාරස්ථානයෙක වසමින් සුළු පලිබෝධ ද දුරුකොට භාවනාවට නියම විධි එකකුදු නො පිරිහෙළමින් භාවනා කළ යුතු” (සිංහල වි.මා. 3 පරි, 149 පි) මෙසේ අත්හළ යුතු අංග දැන අත්හැර ලබාගත යුතු කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබා ගැනීමෙන් චිත්ත විශුද්ධිය ලබා ගැනීමට උත්සාහ වෙත්වා.