Print this Article


සිරිලක බෝධිපූජා පුරාණය

සිරිලක බෝධිපූජා පුරාණය

ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමෙන් පසුව මහත් උත්සවාකාරයෙන් එයට පුද පූජා පැවැත්වී ය. දඹදිව සිට සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබී ය. මෙම බෝධි ශාඛාව දඹකොල පටුනේදී පිළිගෙන අනුරාධපුර අගනුවරට වැඩමවීම හා රෝපණය කිරීම නිමිති කොට විශාල උත්සවයක් පවත්වා ඇත.

බෝධි ශාඛාව අත්‍යලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තබා මග දිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමවාගෙන පැමිණි බව සමන්තපාසාදිකාවෙහි 1 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙම පෙරහර සම්බන්ධයෙන් සමන්ත පාසාදිකාවෙහි සඳහන් නොවන තොරතුරු කිහිපයක් මහාවංසයෙහිත්, බෝධිවංසයෙහිත් සඳහන් ය. දඹකොළ පටුනෙන් පිටත් වූ බෝධි ශාඛාව රැගත් පෙරහර නාගදීපයෙහිත් , තිවක්ක නම් බමුණා ගේ ගමෙහිත්, පුද සත්කාර පිණිස නතර වූ බව මහාවංසයේ හා බෝධිවංසයේ සඳහන්ව තිබේ. අනුරාධපුර නගරයේ ජනතාවගේ වැඳුම් පිදුම් හා පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ ගමන්ගත් මෙම පෙරහර මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි බෝධි ශාඛාව පිහිටුවීම සිදුකළ බව මහාවංසයෙහි 19 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි.

වාර්තාගත තොරතුරුවලට අනුව අනුරාධපුර මහමෙවුනා උයනෙහි උස්බිමක බෝධීන්වහන්සේ රෝපණය කෙරිණ. ඒ වටා පනා බැමි සතරක් වු අතර උඩට නැගීමට පියගැට පෙළක් ද විය. ශ්‍රී මහා බෝධි ශාඛාව භූමියෙහි රෝපණය කර වූ වේලාව නිශ්චිත ලෙස සටහන් කරන වංසකථාකරුවන්ගේ ප්‍රකාශනයන් අනුව එම වේලාව උඳුවප් මස පුර තුදුස්වක් දා සන්ධ්‍යාවෙහි රෙහෙණ නැකත උදා වූ වේලාවයි. වර්ෂය බුද්ධ වර්ෂ 236 යි. මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා පැමිණි විශේෂ අමුත්තන් පිළිබඳ සටහන් ද ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ය. කතරගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද ඊට සහභාගිවූ බව මහාවංසයේ 19 වැනි පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙහි දී සමන්තපාසාදිකාව.

යෙභුය්‍යෙන ච සබ්බදීපවාසිනො සන්නිපතිංසු

(සමන්තපාසාදිකා 1 පරි. 58 ගාථාව)

යනුවෙන් “බෙහෙවින් සියලු දිවයින් වැස්සෝ රැස් වූ හ” යි, කියා නිහඬව ඇත. එහෙත් අෂ්ටඵලරුහ බෝධීන් පිහිට වූ ස්ථාන නම් කරද්දී

“ඒකං තිවක්ක බ්‍රාහ්මණස්ස ගාමද්වාරේ...
ඒකං රෝහණ ජනපදම්භියෙව වන්දනගාමෙ...”
(සමන්තපාසාදිකා 1 පරි.59 ගාථාව)

යනුවෙන් දක්වා තිබීමෙන් පූර්වෝක්ත මහාවංස අදහස හා බෝධිවංස අදහස නිසැකවම තහවුරු වනු ඇත.

මේ අනුව ශ්‍රී මහාබෝධි රෝපණ මහෝත්සවය ලංකාවේ සියලුම ප්‍රභූ ජනයා ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස සිදුවූ බව මෙම වාර්තාවලින් තහවුරු වෙයි. මෙය බුදු දහම ලංකාවට පැමිණීමෙන් පසුව සිදු කළ විශාලම උත්සවය විය හැකි ය. සතියක් පුරාම පැවැති මෙම උත්සවයේ දී නගරවාසීහු නටමින්, ගී කියමින්, බෙර වයමින් පී‍්‍රති වූ හ යි, සිංහල බෝධිවංසයෙහි මෙසේ විස්තර වෙයි.

නුවරවාසී සත්ත්වයන් නටමින්, ගී කියමින්, බෙර වයමින්, ගන්ධර්වය කෙරෙමින් එළුසන් ඔල්වර හඬ ගසමින් අත්පොළසන් දෙමින් දහස් ගණන් පිළි ඉස් මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටිය දී නුවර මධ්‍යයෙන් මඟුල් මහ වීථියෙන් ගෙන ඇරැ දකුණූ දොරින් පිටත් කොටැ මහමෙවුනා උයනට පමුණුවා...

ලක්දිව පළමු බෝධි පූජාව පවත්වන ලද්දේ දේවානම්පියතිස්ස රජු විසිනි. එම පළමු පූජාව ලෙස නම් කළ හැක්කේ බෝධිය රැගත් නෞකාව නැංගුරම් ලෑමටත්, ප්‍රථම කර වටක් දියට බැස පෙර ගමන් කොට තුන් වරක් ශ්‍රී ලංකා රාජ්‍යය බෝධියට පූජා කිරීමයි. අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ ද, සංඝමිත්තා රහත් තෙරණිය ද, රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද, පිළිවෙලින් පූජා පැවැත් වූ හ යි, සිංහල බෝධිවංසයෙහි දැක්වෙයි. ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එදා මෙදා තුර ඒ හා සම්බන්ධව විවිධාකාර වූ පුද පූජා හා උත්සව සිදු කෙරිණි.

දුටුගැමුණු රජු ( ක්‍රි.පූ. 161-137) විශාල වියදමක් දරා මහා බෝධි පූජාවක් සිදුකළ බව මහාවංසයේ 28 වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. භාතිකාභය රජු (ක්‍රි.ව. 141-165) අතිශයින් සිත්ගන්නාසුළු බෝධි පූජාවක් සිදු කළේ ය. මෙම උත්සවය සඳහා මහාවංසයෙහි යොදා තිබෙන්නේ “බෝධි සිනාන පූජා” යන වචන යයි. මෙය බෝධිය නෑවීමක් හෝ බෝධියට ජලය ඉසීමක් විය හැකි බව වචනාචාර්ය අනුව විග්‍රහ කළ හැකි ය. මෙම සිනාන පුජා උත්සවය ගැන එක් අදහසක් මෙම රජු විසින් ම සිදුකරන ලද තවත් පූජෝත්සවයක් අනුව වටහාගත හැකි ය. එනම් රුවන්වැලි මහාසෑය උදෙසා සිදු කළ “ථූප සේවන” නම් වූ (ස්තූපය නෑවීම) පූජාව යි. මහාවංසයෙහි සඳහන්ව ඇති පරිදි මෙය ජල පූජාවකි. මෙයම මීට පෙර බෝධියට ද සිදුකර ඇති බව අනුමාන කළ හැකි ය. නියං කාලවල දී වර්ෂාව ලබා ගැනීම මෙහි ප්‍රධාන පරමාර්ථය යි.

ධාතුසේන රජු ද (ක්‍රි.ව. 463-479) බෝ ගෙයක් තැනවී ය. එමතු නොව එතුමා දෙවනපෑතිස් යුගයේ දී සිදු කරන ලද ආකාරයේ බෝධි පුජා පෙරහරක් ද, බෝධියට විශේෂ නානුමුර පූජාවක් ද සිදු කළේය. සීලාකාල රජු ( ක්‍රි.ව. 526-539) දිනපතා කඩ නොකොට බෝධි පූජා පැවැත්වී ය. 1වන දප්පුල රජු (ක්‍රි.ව.661-664) මද කලක් රාජ්‍ය පාලනය කළ නමුදු අසිරිමත් බෝධි පූජා උත්සව කිහිපයක්ම පැවැත් වී ය. “වඩ්ඪමාන බෝධි” යන නමින්ද ආමන්ත්‍රණය කළ මහින්ද නමැති යුව රජු ද බෝධි පූජා උත්සව කිහිපයක්ම පවත්වා තිබේ. අභාසලමෙවන් රජු ද, දෙටුතිස් රජු ද, තවත් එවැනි ම බෝධි පූජා උත්සව කිහිපයක් ම පැවැත් වූ හ.

IV වන මහින්ද රජු (ක්‍රි.ව. 975-991 ) බෝගෙයක් ඉදි කිරීමට ගිය අවස්ථාවක දී බෝ අත්තක් කැඩීම නිසා ද මහා බෝධි උත්සවයක් සිදු කළේය. එම රජු විසින් පිහිටුවන ලද ඉතා ප්‍රකට මිහින්තලා සෙල් ලිපියේ මෙම උත්සවය ගැන සඳහන් වන්නේ මෙසේ ය.

සොම්නස් මහබෝ මගුලෙහි පිළියට් එක් කලන්දක් ඉසා

මෙහි කියවෙන පරිදි එම උත්සවය සිරිතක් වශයෙන් දිගින් දිගට පැවතී ගෙන එන කිසියම් මංගල චාරිත්‍ර උත්සවයක් බව විශ්වාස කළ හැකි ය. එසේම “සොම්නස් මහබෝ මගුල” යනුවෙන් විශේෂ හැඳින්වීමකින් තොරව එම නාමයෙන් පමණක් දැක්වීමෙන් එය එකල කා අතරත් ඉතා ප්‍රකට උත්සවයක් බව ද පැහැදිලි වෙයි. ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩම කිරීමෙන් පසු එය පිළිගැනීමත්, රෝපණය කරවීමත්, සොම්නසින් හා උතුරා ගිය ආගමික හැඟීම්වලින් යුක්තව සිදු වූ බව ඉහත කියවුණි. මෙම “සොම්නස් උත්සවය” එවක් පටන් රාජ නියෝගයෙන් හා රජයේ මැදිහත්වීමෙන් යුක්තව IV වන මහින්ද යුගය දක්වාම පැවත එන්නට ඇත.එය සොම්නස මුල්ව පැවැති උත්සවයක් වූ හෙයින් කාලයාගේ ඇවෑමෙන් එය “සොම්නස් මහබෝ මඟුල “ නමින් ම හැඳින්වෙන්නට ඇත. එම නිසා IV වන මහින්ද රජු එම ප්‍රකට නාමය ම ස්වකීය සෙල් ලිපියෙහි සඳහන් කළ බව පිළිගත හැකි ය.

පූර්වෝක්ත IV වන මහින්ද රජු ගේ මිහින්තලා සෙල් ලිපියේ ම,

රුවනසුන් මහබෝ මගුලෙහි පිළියට් එක් කලන්දක් ඉසා

යනුවෙන් “රුවනසුන් මහබෝ මගුල” නමින් හැඳින් වූ උත්සවයක් ගැන ද තොරතුරු හමු වෙයි. මෙම උත්සවය ද මහාබෝධිය උදෙසාම පැවැත්වූවකි. මෙහි “රුවනසුන්” යන වචනයෙන් “රුවන් අසුන”, “රන් අසුන”, “ස්වර්ණමය ආසනය” යන අර්ථ ගෙන දෙයි. බුදුරදුන් බුද්ධත්වයට පත්වන අවස්ථාවේ දී වැඩසිටි ආසනය “වජ්‍රාසනය” හෙවත් “විදුරසුන” යි. එම විදුරසුන සිහියට නංවමින් පශ්චාත් කාලීනයන් විසින් වෙන වෙනත් මූල ද්‍රව්‍ය භාවිතයට ගෙන “ආසන” හෙවත් “පර්යංක” නිර්මාණයට පෙළඹුණු බවට ද සාක්ෂි සොයාගත හැකි ය. එය රනින් කරවා, පුජා කරන අවස්ථාවේ දී (නූතන රන්වැට පූජාව මෙන්) පැවති උත්සවය සිරිතක් ලෙස දිගින් දිගට ම පැවැත් වූ බැවින් එය “රුවන්සුන් මහබෝ මඟුල” නමින් ප්‍රකට විය. තව ද මිහින්තලයේ සිට මිහිඳු පිළිරුවක් අනුරාධපුරයට වැඩමවා ගෙන ගොස් එය එක්තරා ගෘහයක තැන්පත් කොට පසුව මහබෝ මළුවට වැඩමවා ගෙන අවුත් තෙමසක් මුළුල්ලේ පුද පූජා හා උත්සව පැවැත්වීමේ සිරිතක්ද පැවතිණි.

පුරාතන යුගයේ දී වැස්ස ලබා ගැනීම සඳහා ද රටට ආරක්ෂාව ලබා ගැනීමට ද රාජරාජ මහාමාත්‍යාදීහු බෝධි පූජා සිදු කළ හ. ස්ථාන අටක හා දහසයක බෝධි රෝපණය කිරීම නිසා බෝධි පුජාව ඒ ඒ ප්‍රදේශවල ද පැතිරී ගියේය. මෙම බෝධි පූජා උත්සවයන් හි දී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ ලෙස කුඩ කොඩි එසවීම, තොරණ බැඳීම, චිත්‍ර කර්ම කිරීම, නැටුම් ගැයුම් පැවැත්වීම හා සුදු වැලි ඉසීම යනාදිය පෙන්වා දිය හැකි ය.