Print this Article


මිනිස්කමේ වටිනාකම සහජීවනයයි

මිනිස්කමේ වටිනාකම සහජීවනයයි

වර්තමාන සමාජයෙහි ආගමික සංහිඳියාව, සහජීවනය, ජාතීන් අතර එකමුතුකම හා සමඟිය පිළිබඳව නිරන්තර ව සාකච්ජාවට භාජනය වේ. බුද්ධ දර්ශනයෙහි අන්තර්ගත කාරණාවන් ඒ සඳහා මනා ගැලපීමක් එක්කෙරෙනු ඇත.

තුන්ලෝකාග්‍ර වූ අමාමෑණී සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙහිත්, අසිරිමත් බුද්ධ චරිතය පුරාමත් කිසිදු ආකාරයෙන් ගැටුමකට තුඩු දෙන ඉගැන්වීමක් අන්තර්ගත වී නැත. සෑම විටම ගැටුමක් නොමැතිව සමාජයේ විවිධ තලවල සිටින පුද්ගලයන් සමඟ ජීවත්වීමට එකමුතුකම ගොඩනඟා ගැනීමට උන්වහන්සේ සැම විටම දේශනා කළහ. බෞද්ධ දර්ශනයෙහි ප්‍රකාශ වන මූලික පදනම සියලු මිනිසුන් මනුෂ්‍යයන් ලෙස එක හා සමාන බව ය. වර්ග බේද, ජාති බේද, කුල බේද නිර්මාණය කිරීම නුසුදුසු බව බුදු දහමේ මූලික සංකල්පයකි. කිසිදු ආකාරයේ බෙදීමක් නැත. ජාතීන් ලෙස ආගම් ලෙස බෙදී තිබීම සමාජයක විවිධත්වය, විච්ත්‍රත්වය, ඒකාකාරිත්වයෙන් තොරව සමාජය ලස්සන කිරීමට හේතු වනවා මිස, එය පටු භේද භින්නතා නිර්මාණය කරගැනීමට හේතුවක් නොවිය යුතු ය.

ශ්‍රී සද්ධර්මය සන්නිවේදනය කිරීම සඳහා බුදුපියාණන් වහන්සේ නිර්මාණය කළා වූ සංඝ සමාජය දෙස බැලීමෙන් ද ඒ බව වඩාත් තහවුරු වේ. සිව් මහා ගංඟාවෝ මහ මුහුදට ගලාබස්නා කල එකම ලවණ රසයෙන් යුක්ත වන්නාසේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය ශුද්‍ර යන කුල හතරෙන් ශාසනයට ඇතුලු වූ කල , සියලු දෙනා භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා මිස, එක් එක් කුලයෙන් පැමිණි බවට තීරණය වුයේ නැත. ඒ හැර වෙනත් බෙදීමක් නැත. ඉන්දියාවේ දෙසැටක් දර්ශන වාද පැවතුන ද, අතිශයින් ආකර්ශනීය ධර්මය බවට පත්වීමට එය ද හේතුවක් විය. තථාගත ධර්මයෙහි පැවතුණ නම්‍යශීලි බව, යාවත්කාලීන බව, දාර්ශනික පදනමක් තිබූ දහමක් වීමත් වැදගත් කාරණාවන් වූහ.

බුද්ධ චරිතයෙන් මිනිස් , තිරිසන්, උසස් , පහත් ,කුලවත්, කුලීන , පොහොසත් , දුප්පත් ආදී කිසිදු භේදයකින් තොරව මෛත්‍රි ය පැතිර වූ ආකාරය පැහැදිිලි වේ. තම පුතු රාහුල කුමරුට ද, සුනීත, සෝපාක අසරණ දරුවන්ට ද , රජ්ජුමාලා අංගුªලිමාල , නාලාගිරි වැන්නවුන්ට ද බුදු හිමියන්ගේ මෛත්‍රි්ය එකම අයුරින් ලැබීම බුද්ධ චරිතයෙහි සුවිශේෂී ලක්ෂණයකි. උන්වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ පිහිට විය යුතු පුද්ගලයන් සොයා පිහිට වූවා මිස ,ජාතිය, ආගම , කුලය අනුව වර්ග නොකළ සේක. බුදුරජාණන් වහන්සේ තරම් මහා කරුණාවෙන් ලෝකයට පිහිට වූ ශාස්තෘවරයෙකු නැති තරම්ය.

බුද්ධ දර්ශනයෙහි අන්තර්ගත බෞද්්ධ ආචාරධර්ම ලෙස දේශනා කළ පන්සිල් , සතර අගතියෙන් වෙන්වීම යන මූලික සංකල්ප ඕනෑම දහමක් අදහන පිරිසකට පොදු කාරණා ලෙස දැක්විය හැකි ය. බෞද්ධයෙකු නොවුණ ද , පංචශීලයෙන් සියලු සත්ත්වයන්ගේම පැවැත්ම සුරක්ෂිත වේ. පංචශීල ප්‍රතිපත්තිය ද, පරමාදර්ශී සමාජ යක ප්‍රඥප්ති පහක් ලෙස දැක්විය හැකි ය. පංචශීලයෙන් සමාජයේ ගැටුම් පාලනය කළ හැකි ය. සෑම පුද්ගලයෙකුගේම මානව අවශ්‍යතා පොදුය. පංචශීලය නිවැරැදිව ආරක්ෂා කරන්නේ නම්, සියලු දෙනා තුළම එකමුතුකම , සමඟිය, සහජීවනය සංහිඳියාව නිර්මාණය වනු ඇත. සත්‍ය අසත්‍ය ලෙස ප්‍රකාශ කිරීමත්, අසත්‍ය සත්‍ය ලෙස ප්‍රකාශ කිරීමත්, ගම, රට පවුල ගැටුම් නිර්මාණය කිරීමට හේතු වේ. එය මහත් පාප කර්මයකි. ලෝකයේ බොහෝ ප්‍රශ්නවලට හේතු වී ඇත්තේ ද , නිවැරැදි දැක්මක් නොමැති කම ය. දහමෙහි එය සම්මා දිට්ඨිය නමින් හඳුන්වා ඇත. සමාජීය, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික වශයෙන් වැරැදි මිථ්‍යා දැක්මක් ඇති වූ විට ගැටුම් නිර්මාණ වේ. නිවැරැදි යහපත් දැක්මක් නැති පුද්ගල ක්‍රියාකාරකම්, අර්බුදයකටම ඇද දමනු ඇත. ලෝකයෙහි අංග සම්පුර්ණ මිනිසුන් නැත. ඒ ඒ අවස්ථාවල දී වැරැදි අඩුපාඩු සිදු විය හැකි ය. අවශ්‍ය වන්නේ වැරැදි නිවැරැදි කරගනිමින් නැවත වරදක් නොවන තැනට කටයුතු සම්පාදනය කිරීම ය.