Print this Article


බුදු දහමෙන් මානසික රෝග සුවපත් කළ හැකිද?

බුදු දහමෙන් මානසික රෝග සුවපත් කළ හැකිද?

මහණෙනි, කායික හා මානසික යනුවෙන් රෝගයෝ දෙදෙනෙකි. මෙයින් කායික රෝගවලින් නො පෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, තිහක්, හතළිහක්, පණහක් ඇතැම් විට අවුරුදු සියයක් නිරෝගී ව සිටින අය සිටිති. එහෙත් මානසික රෝගවලින් එක මොහොතක් හෝ නොපෙළි, පීඩා නොවිඳ සිටින අය රහතන් වහන්සේලා හැර සොයා ගැනීම දුෂ්කර ය. (අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, රෝග සූත්‍රය)

හිතේ ලෙඩට බෙහෙත් කිරීමට බුදුහාමුදුරුවන් තරම් දක්ෂ වෛද්‍යවරයෙක් ලොව ඉපදී නැත. බුදුහු මිනිසාගේ සිතේ ඇතිවන කෙලෙස් ලෙඩ මැනවින් හඳුනාගෙන රෝග නිධාන හොඳින් වටහාගෙන එයට සුදුසු ඖෂධ දුන්හ. උන්වහන්සේ සේල බමුණාට බමුණ, මම සම්බුද්ධ වෙමි. එසේ ම ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි. එක් අවස්ථාවක පැවසූහ. ( සුත්ත නිපාතය - සේල සූත්‍රය)

බුද්ධ ධර්මය පිළිබඳ ව විද්වතුන් විසින් විවිධ පර්යේෂණ පවත්වා ඇත. එහෙත් බුදුසමයෙහි ඇතුළත් ජීවන ක්‍රමය ප්‍රායෝගික වශයෙන් භාවිතයට ගෙන මිනිස් ජීවිත සාර්ථක කරගන්නට මෙතෙක් ගෙන ඇත්තේ අල්ප උත්සාහයකි. මෙම ලිපිය මගින් උත්සාහ කරන්නේ දිනෙන් දින විකෘති භාවයට පත්වන මිනිසාට බුදු සමයෙන් ලබාගත හැකි පිටුවහල කවරේදැයි පෙන්වාදීමයි. මෙම අරමුණ අනුව සිතන විට බුදුසමය සහමුලින් ම මනෝ චිකිත්සක ක්‍රමයක් වශයෙන් ද, මාර්ගෝපදේශනය හා උපදේශනය පදනම් කරගත් දහමක් වශයෙන් ද හඳුන්වා දෙන්නට පුළුවන.

බුදුදහම මිනිසාගේ මනසට හා සිරුරට ප්‍රතිකාර දක්වයි. විශේෂයෙන් විවිධ මානසික හා ශාරීරික රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා කළ යුතු දේ පෙන්නුම් කරයි. මානසික රෝග යන වචනය ඇසෙන විට නිතැතින් ම අපගේ මතකයට එන්නේ උමතුව, පිස්සුව යන තේරුම් ය. නමුත් මනෝ විද්‍යාත්මක ව සොයා බැලීමේ දී අපගේ පැවැත්මෙහි, චර්යාවෙහි අසාමාන්‍ය ස්වභාවය මනෝ රෝග යන්නෙන් ප්‍රකට කරයි. අසාමාන්‍ය තත්ත්වය යනු කෙබඳු එකක්දැයි යන්න පිළිබඳ ව ද ගැටලු පැවතිය හැකි ය. යම් කිසි පැවැත්මක් අසම්මත බව හෝ අසාමාන්‍ය බව තීරණය කරන්නේ සදාචාරාත්මක හෝ සාමාජික මිනුම් දඬු මත ය. මනෝ විද්‍යාව අනුව මානසික රෝග අසාමාන්‍ය චර්යා  (Abnormal behaviour)  ලෙස හඳුන්වා ඇති අතර එය මානසික ගැටලු, චර්යා විෂමතා, පෞරුෂ ව්‍යාබාධ වශයෙන් හඳුනාගත හැකිවේ. මිනිසා මානසික ඌනතාවයකින් පෙළෙන බවත් මානසික ආබාධයන්ට ගොදුරුවන බවත් බුදුසමය පිළිගනී. (සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා)

මිනිසා සැපත හෙවත් ආශාව පසුපස ලුහුබැඳීම නිසා ඔහු ආසාවෙහි වහලෙක් වීම හේතු කොටගෙන අතෘප්තියට පැමිණීමෙන් දුක් වේදනාවලට පත්වෙයි.

බටහිර මනෝ විද්‍යාව අනුව මානසික රෝග ඇතිවීමට විවිධ හේතු ඉදිරිපත් කර ඇත. මොළයට විෂබීජ ඇතුළු වීම, රසායනික විපර්යාස, ස්නායු හා කායික අර්බුද ආදී වශයෙන් දැක්විය හැකි ය. බුදු දහම අනුව ලෝහ, දෝස, මෝහ යන අභ්‍යන්තරික පෙළඹවීම් නිසා මිනිසා තුළ මානසික රෝග ඇතිවේ. මානසික රෝගවලට පදනම වන්නේ දැඩි තණ්හාවයි. තණ්හාව නිසා බැඳීම් ඇතිවේ. තණ්හාව කාම, භව, විභව වශයෙන් ක්‍රියාත්මක වෙයි. තණ්හාව නිසා අප තුළ පළිගැනීම, වෛරය වැනි අකුසල ධර්මවලින් නොයෙක් අපරාධවලට ද පෙළඹේ. තණ්හාව විසින් උත්තේජනය කොට ලෝභය, දෝසය, මෝහය යන කරුණු විසින් මෙහෙයවන මිනිස් සිත මරු වසඟයට පත් වී ඇති බව බුදුසමයෙන් පෙන්වා දී ඇත. මේ අයුරෙන් මිනිසා තණ්හාවේ වහලෙකු බවට පත්වෙමින් සැහැල්ලු ගති පැවතුම්, අපිස් දිවිය, බිඳවැටී සැපත පසුපස ලුහුබැඳ අවසානයේ අසහනයට, අතෘප්තියට පත්වන අතර එය සියලු මානසික රෝගයන්ට හේතුවන බව බුදුසමය දක්වයි.

මේ ආකාරයට සෑහීමකට පත් නොවීම බුදුසමය හඳුන්වන්නේ ‘දුක’ වශයෙනි. මෙම කරුණු සෑම ජන කොටසක් තුළ ම අද විහිද ගොස් ඇත. බාල, තරුණ, මහලු, භේදයක් නොමැති ව සෑම මිනිසෙකු ම මේ තත්ත්වයට පත්ව ඇත. නමුත් එය ‘දුක’ යන වචනයෙන් හඳුන්වා දෙනු වෙනුවට ‘අසහාය’ යනුවෙන් පෙන්නුම් කරති.

බොහෝ මානසික රෝගවල පොදු ලක්ෂණය වන්නේ චිත්තවේගයන් ය. (Emotions)  මෙම ආවේග නිසා මිනිසා නොසන්සුන්භාවයට පත්වේ. බුදුදහම අනුව මිනිස් සිත කළඹන චිත්තවේග කිහිපයක් මෙහි දක්වමු. දැඩි ලෝභය, තරහ, කෝපය, ක්‍රෝධය, බද්ධ වෛරය, ඊර්ෂ්‍යාව, ගුණමකු බව, තද ගතිය, සැකය, මසුරුකම, නොසන්සුන්කම, චාටුබව, කපටිකම, මාන්නය, මත්වීම හා ප්‍රමාදය ආදී වශයෙනි.

බටහිර මනෝ විද්‍යාවට අනුව මානසික රෝග ප්‍රධාන වශයෙන් අංශ දෙකකට බෙදා දක්වා ඇත.

සුළු මානසික රෝග  (Neurosis)  හා ප්‍රධාන මානසික රෝග (Psychosis) වශයෙනි.

මෙම ලිපියේ ඉතිරි කොටස දෙසැම්බර් 10 උඳුවප් අව අටවක පෝදා පත්‍රයේ පළවේ.