Print this Article


අපා දුක එපා

අපා දුක එපා

අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

" පරුෂ වචන පවසා අනුන් වෙහෙස කරන්නෝ ද , සතර අගතියෙන් බැඳී සිටින්නෝ ද , පින් පව් නැත කියා සිතන මිථ්‍යා දෘෂ්ටිකයෝ ද ,සතුන් මරා දැමුවෝ ද උපත ලබන්නේ තාප නරකයේ ය. එහි සත්ත්වයන් නිබඳව ම දැවෙන තැවෙන බැවින් තාප නරකය නමින් හඳුන්වයි."

අටමහා නරකයට පත් ව දුක් විඳින්නන්ට නැවත අපායෙන් ගොඩ ඒම බොහෝ අපහසු කාරණාවකි. පංචානන්තරීය පාප කර්ම සිදු කළ පාපීන්, නියත මිථ්‍යා දෘෂ්ටිකයන් අට මහා නරකයට වැටී අපමණ දුක් විඳියි. සංජීව නරකය, කාල සූත්‍ර නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍රතාප නරකය , අවීචි නරකය වශයෙන් අට මහා නරකයන් වෙයි. ඒ වටා දාසය බැඟින් වූ සියලු ම නරකාදී අපාය එකසිය තිස් හයක් බව බුද්ධ ධර්මයේ සඳහන් වී තිබේ.

අට මහා නරකයන් අතර සංජීව නරකය පිහිටා ඇත්තේ පොළොව මතු පිට සිට යොදුන් පහළොස් දාහක් යටිනි. මනු ලොව වර්ෂ අනූ ලක්ෂයක් සංජීව නරකයේ එක දවසකි. එවැනි දවස් තිහක් මාසයක් ද මාස දොළහක් වසරක් ද වශයෙන් නිරි සතුන්ගේ ආයු කාලය අපාය වර්ෂ අවුරුදු පන්සියය කි.

යමපල්ලන් විසින් අමෝරාගෙන එන මුවතින් දිලිසෙන නව වැදෑරුම් අවි ආයුධයන්ගෙන් නිරි සතුන් බියට පත්ව වේදනාවෙන් අඬා දොඩද්දී ම කපා කොටා දමයි. එලෙස මහා දුක් ලැබුණ ද ඔවුන් නො මැරී ජීවත් වෙන බැවින් මේ ස්ථානය සංජීව අපාය නම් වෙයි. ලෝභ, ද්වේශ, මෝහයෙන් වෙලී ප්‍රාණඝාතය සිදු කිරීම, සොරකම් ආදී පව් කරන්නෝ ,ලෝ වැස්සන්නට දුක් දෙන්නෝ, අනුන් කෙරෙහි ක්‍රෝධයෙන් වැඩීගෙන යුද්ධ කළකෝළාහල ආදී අපරාධ කරන්නෝ සංජීව නරකයේ උපත ලබති.

සංජීව නරකයට යොදුන් පහළොස් දාහක් යටින් කාල සූත්‍ර නරකය පිහිටා ඇත. එනම්, පොළොව මතු පිට සිට යොදුන් තිස් දාහක් දුරිනි. මනු ලොව වර්ෂ අවුරුදු තුන් කෝටි හැට ලක්ෂයක් කාල සූත්‍ර නරකයට එක් දිනකි. එවැනි දින තිහක් මාසයක් ද, මාස දොළහක් වසරක් ද වෙයි. එවැනි අපාය වර්ෂ දාහක් කාල සූත්‍ර නරකයේ නිරි සතුන්ගේ ආයු කාලය යි.

යම පල්ලන් විසින් ද ඇදගෙන වෑ ආදිය රැගෙන කාල වර්ණයෙන් යුතු මෝල්ගස් ආදියෙන් සිරුර හතරැස් කොට රහිමින් නිරි සතුන්ට දුක් දෙන නරකය කාල සූත්‍ර නරකය යි. මව් පිය, ගුරුවරු, සොර දෙටුවන් හා දුගී මගී යාචකයන්, විවිධ අපරාධ කරන්නෝ ද, බොරු කියන්නෝ ද , මව් පියන්ට නො සලකන, තර්ජන ගර්ජන කරන්නෝ ද කාල සූත්‍ර නරකයට වැටී අපමණ දුක් විඳිති.

කාල සූත්‍ර නරකයේ සිට යොදුන් පහළොස් දාහක් යටින් සංඝාත නරකය පිහිටා ඇත. එනම්, පොළොව මතු පිට සිට යොදුන් හතළිස් පන්දාහක් දුරිනි. පොළොවෙහි ඉන වටක් එරී සිටින නිරි සතුන්ගේ සිරුර මතට අතොරක් නෑර සිව් දෙසින් හෙණ හඬ නංවමින් පෙරැළෙන යොදුන් ගණන් විශාල පර්වතයන් වැටී ඔවුන් සුණු විසුණු වුව ද නො මැරී ජීවත් වෙයි. ඒ නරකය හඳුන්වන්නේ සංඝාත නරකය නමිනි.

අත් පා දඬු මුඟුරින්, අවි ආයුධ වලින්, අනුන්ට පහර දෙන්නෝ ද, සිල්වත්,ගුණවත් උතුමන්ට ආක්‍රෝෂ පරිභව කරන්නෝ ද, ඇතුන්ට ,අශ්වයන්ට, ගවයන්ට සතුන්ට වධ දෙන්නා වූ ද , ගොරවමින්, කෑකෝ කෝ ගසමින්, වෛර තරහ කරමින් වාසය කරන්නෝ ද උපත ලබන්නේ සංඝාත නරකයේ ය. මනු ලොව වර්ෂ දාහතර කෝටි හත් ලක්ෂයක් සංඝාත නරකයට එක් දිනකි. එවැනි දින තිහක් මාසයක් ද , එවැනි මාස දොළහක් අවුරුද්දක් ද වශයෙන් අපාය වර්ෂ දෙදාහක් නිරි සතුන්ගේ ආයු කාලය යි.

සංඝාත නරකයට යොදුන් පහළොස් දාහක් යටින් රෞරව නරකය පිහිටා ඇත. නිරි සතුන්ගේ සිරුරේ නව ද්වාරයන් තුළට විහිදෙන ගිනි දැල් හා විස දුමාරයන් නිසා එම නිරි සතුන් දැවී, තැවී, පිළිස්සී ගිය ද නොමැරී ජීවත් වෙයි. මේ මහා වේදනාවට පත්වන නිරි සතුන්ගේ කෑකෝ ගැසීම සීමාවක් නැහැ. ඒ නිසා මේ නරකය රෞරව නරකය යනුවෙන් හඳුන්වයි. බොරු සාක්ෂි කියන්නෝ, හොර වෙළෙඳාම් කරන්නෝ , මායා කාරයෝ, විවිධාකාර අපරාධකාරයෝ රෞරව නරකයේ මෙසේ දුක් විඳිති. මනු ලොව අවුරුදු පනස් හත් කෝටි හැට ලක්ෂයක් මේ අපායට එක් දිනකි. එවැනි දින තිහක් මාසයක් ද, මාස දොළහක් වසරක් ද වශයෙන් අපාය වර්ෂ හාරදාහක් රෞරව නරකයේ නිරි සතුන්ගේ ආයුෂ වෙයි.

රෞරව නරකයට යොදුන් පහළොස් දාහක් යටින් මහා රෞරව නරකය පිහිටා ඇත. එහි මිනිස් ලොව වර්ෂ දෙසිය තිස් කෝටි හතළිස් ලක්ෂයක් ඒ නරකයට එක් දවසකි. එවැනි දින තිහක් මාසයක් ද, මාස දොළහක් වර්ෂයක් වශයෙන් ද අපාය වර්ෂ අටදාහක් නිරි සතුන්ගේ ආයුෂ වෙයි.

රක්ත වර්ණ රුධිරය සේ දිස් ව විහිදෙන ගිනි ජාලාවන්ගෙන් දැවෙන තැවෙන සත්ත්වයන් නිරතුරුව ම පවත්නා වූ මහා වේදනාත්මක හඬින් කෑ මොර දෙන නිසා ද, නිරි සත්ත්වයන්ගේ රුධිරයෙන් නිරයෙහි භූමිය තෙත්ව පිරී පවතින නිසා ද ඒ අපාය හඳුන්වන්නේ මහා රෞරව අපාය නමිනි.

තුනුරුවන්ට අයත් ඉඩ කඩම් පරිහරණය කරන්නෝ, ඇඳ , පුටු, කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි , පහන් , පඩික්කම් ආදිය සොරාගත්තෝ, ආරාම විහාර භූමියේ ඇති කොස්, දෙල්, පොල් , පුවක් ආදිය ලබා ගත්තෝ ද , තුනුරුවන් උදෙසා රැස් කළ මිල මුදල් ගසා කන්නෝ ද , දුගියන්ගේ ඉඩකඩම් , මිල මුදල් පැහැර ගන්නෝ ද, ඒවා අඩු වටිනාකමට ගන්නෝ ද , ලෝකවාසී ජනතාවට කරදර බාධක කම්කටොළු පමුණුවමින් ඒ අයගේ මිල මුදල් පැහැර ගත්තෝ ද , ඒවා විනාශ කරන්නෝ ද උපත ලබන්නේ මහා රෞරව නරකයේ ය.

මහා රෞරව නරකයට යොදුන් පහළොස් දාහක් යටින් පිහිටා ඇත්තේ තාප නරකය යි. මනු ලොව වර්ෂ නවසිය විසි එක් කෝටි හැට ලක්ෂයක් තාප නරකයට එක් දිනකි. එවැනි දින තිහක් මාසයක් ද මාස දොළහක් වර්ෂයක් ද වශයෙන් අපාය වර්ෂ දාසය දාහක් තාප නරකයේ පරමායුෂ වෙයි. යම පල්ලන් විසින් තාප නරකයට පත්වන්නන්ට අත්වන ඉරණම මෙසේ වෙයි. ගිනිගෙන , දිලිසෙන යවුල් මත වාඩි කරවා නිශ්චලව ගුගුරා පැසෙන්නා වූ දෙයින් තැවීම් සිදු කරන්නා වූ නරකය තාප නරකය යි.

පරුෂ වචන පවසා අනුන් වෙහෙස කරන්නෝ ද , සතර අගතියෙන් බැඳී සිටින්නෝ ද , පින් පව් නැත කියා සිතන මිථ්‍යා දෘෂ්ටිකයෝ ද ,සතුන් මරා දැමුවෝ ද උපත ලබන්නේ තාප නරකයේ ය. එහි සත්ත්වයන් නිබඳව ම දැවෙන තැවෙන බැවින් තාප නරකය නමින් හඳුන්වයි.

තාප නරකයට යොදුන් පහළොස් දාහක් යටින් ප්‍රතාප නරකය පිහිටා ඇත. වඩා බිහිසුණු වූ මෙය දිගු කලක් ගුගුරා පැසෙන බැවින් ප්‍රතාප නම් වෙයි. තෙරුවන්ට මිසදිටු බැඳීමෙන් අගෞරව කරන්නෝ උපත ලබන්නේ ප්‍රතාප නරකයේ ය. ඒ නිසා තම මිසදිටුකම් වහා ම ගලවා දැමිය යුතු යි. හැකිතාත් වචනය රැකගෙන ලොවුතුරා බුදු දහමට ගෞරවය පුද කරමින් කටයුතු කරන්න. ඇතැම් ගිහි, පැවිදි අය පවසන මිසදිටු අදහස් පිළි ගත්තොත් උපත ලබන්නේ ප්‍රතාපවත් නරකයේ බව අමතක නො කරන්න.

අට මහා නරකයේ අටවැන්න අවීචි මහා නරකය යි. ගිනි දැල් වලින් සත්ත්වයා අතොරක් නෑර ගිනිගෙන දැවෙන තැවෙන බියකරු ම ස්ථානයකි. කල්පය හටගත් දා සිට අවසාන ය දක්වා ම නිරි සතුන් දුක් විඳින නරකයකි. උඩින්, යටින් , පසකින් සෑම දෙසින් ම ගිනි දැල් මතු ව ගලා එයි. නළයක පිරවූ ඊයම් සේ අතොරක් නෑර සත්ත්වයන් ගිනි දැල්වලින් පිරී ඉතිරී පවතියි. එක් නිරි සතෙකුට අනෙක් සත්ත්වයා නොපෙනෙන තරමට ම හිඩැසක් නැතිව ම ගිනි දැලින් පිරී ඉතිරී පවතී. මෙසේ අතොරක් නැතිව පවතින දුක නිසා මේ අපාය හඳුන්වන්නේ අවීචිය නමිනි.

මව් පියන්, මහ රහතුන් ,ලෝහිතුප්පාදක, සංඝ භේදය, බෝධි වෘක්ෂ, පිළිම ආදී විනාශ කරන, නියත මිත්‍යා දෘෂ්ටිකයෝ උපත ලබන්නේ අවීචි මහා නරකයේ ය.

එසේනම්, අට මහා නරකයට පත්වන හේතු ගැන දැනුවත් ව අපායගාමී දොරටු වසා දමා සුගතියට යන මඟ විවර කර ගන්න. ඒ සඳහා හැකිතාත් පින් දහම් කරගෙන , සෑම දෙනා ම බුදු සසුන වැළඳගෙන තෙරුවන්ට ගෞරවය පුද කරමින් තෙරුවන් ගුණ දියුණුව ඇති කරගෙන, මව් පියන්ට ඇප උපස්ථාන කරමින්, දිව්‍ය මනුස්ස සම්පත් ලබා දුකෙන් නිදහස් ව ශාන්ති ලක්ෂණ නිවන් සුව සලසා ගනිත්වා!