Print this Article


ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව - 12:

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව - 12:

පිනට නො නැමෙන සිත්

පව් මිස පිනකැයි නොකරන හැමක ල
මුනි බණ නොපැවති පසල් දනව් වල
නිසි ලෙස උපනත් ලැබ දන මනක ල
කිසි කලෙකත්කුසලක් නොකළැකි බ ල

සියලු කාලයන්හි පවක් මිස පිනක් නොකරන, බුදු බණ නො ඇසෙන ප්‍රත්‍යන්ත දේශයන්හි සිත් පිනවන ධන සම්පත්තිය නිසි අන්දමට උපන්නේ වී නමුත් කිසි කලෙකත් පිනක් කළ නො හැක්කේම ය, යනු එම කවියේ ලිහිල් අදහසයි.

ඉහත දැක්වූ කවියෙහි දෙවැනි පාදය සමහර පොත්වල ‘මුනි බණ නොපවතිනා පිට සක්වල’ යනුවෙන් දැක්වෙයි. සක්වල යනු එක් සූර්ය මණ්ඩලයක හා චන්ද්‍ර මණ්ඩලයක ආලෝකය විහිදෙන ප්‍රමාණය ඇති ලෝක ධාතුවකි. එසේ ගත් කල්හි එම ලෝක ධාතුවට අයත් සියලු තන්හි වසන අයට කුසල් කළ නොහැකි යයි දැක්වීම් සාවද්‍යය ය. අපේ ධර්ම ග්‍රන්ථවල ‘පච්චන්තිමේසු ජනපදෙසු පච්චාජාතො හෝති’ යන වචනවලින් කියවෙන්නේ පින් කළ නොහැකි ප්‍රදේශ වශයෙන් පසල් දනව්ව පිළිබඳව යි.

කොපමණ ධනය තිබුණද කිසිදු ගුණ ධර්මයක් නැති ජනතාව පසල් දනව්වල වාසය කරති. ඔවුනට පින් පව් ගැන අවබෝධයක් නැත. ඉන්දියාව පිළිබඳ සලකතොත් ම දේශය හා ධර්මය පැතිරගිය ප්‍රදේශ හැර අන් සියලු කොටස් ප්‍රත්‍යන්ත සේ සැලකිය හැකි ය. ශ්‍රී ලංකාව පිළිබඳ සලකන විට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් වශයෙන් යම්කිසි කොටසක් හෝ දැක්වීම පහසු නොවේ. බුදුහු ලංකාවට වැඩම වූ අවස්ථා තුනෙහි දී මහියංගනය, නාගදීපය, කැලණිය, ශ්‍රී පාදය, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාරාමය, අනුරාධපුරය, කතරගම යන ඈත දුරබැහැර ප්‍රදේශවලට ද වැඩම වීමෙන් හා ප්‍රදේශවාසී ජනතාව දහම් මගට යොමු කළහ. මහින්දාගමනයෙන් අනතුරුව ඈත ප්‍රදේශවලට පවා ධර්මය ව්‍යාප්ත වී ගිය බව ඓතිහාසික සටහන්වලින් පැහැදිලි වෙයි ගමනාගමනය ඇතුළු විවිධ සංවර්ධනයන් සමහර ප්‍රදේශවල අඩු වුවත් ඒවා දහම් ආලෝකය නොපැතිරුණු ප්‍රත්‍යන්ත ප්‍රදේශ වශයෙන් හැඳින්වීම් සුදුසු නොවේ.

කොපමණ ලෞකික සම්පත් තිබුණත් ජීවිතයක් සාර්ථක කර ගැනීමට දහමෙන් තොරව හැකියාවක් නැත. ඒ නිසා පින් පව් ආදි කිසිවක් නොදන්නා වූ අය බොහෝ දුරට විවිධ අකුසල කර්ම සිදුකිරීමට පෙළඹෙති. සංසාරයෙහි පෙර ආත්මවල ධර්මය දැන ඒ අනුව පිළිපදිමින් සිටි අයට මේ ආත්මයේ දී දහම් ආලෝකයෙන් තොර වීම බලවත් අඩුවක් සේ වැටහෙනු ඇත.

පන්සිය පනස් ජාතක පොතෙහි සඳහන්වන ධම්මාසොණ්ඩක ජාතක කතාව එයට හොඳ නිදසුනකි. අතීතයේ අප බෝසතාණෝ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රාජ්‍යය කරමින් පසුවූහ. වැඩි කලක් ගතවීමට පෙර මේ රජතුමාට ධර්මය දැන ගැනීමේ තද ආශාවක් ඇතිවිය. මැති ඇමතිවරුන් සහිත රාජ සභාවෙන්ද ජනතාවගෙන් ද ධර්මය දන්නා අය පිළිබඳ විමසා බැලූ නමුත් එවැන්නෙකු සොයා ගැනීම පහසු වූයේ නොවෙයි. අන්තිමේ ධර්මය සොයා රාජ්‍යය හැරදා වනගත විය.

දහම්සොඬ රජතුමා වනගතව සිටිය දී සක් දෙවිඳුන්ට ඔහු පිළිබඳව දැනගන්නට ලැබුණි. යක්ෂ වේශයක් මවාගෙන බෝසත් රජතුමා ඉදිරියට පැමිණ තමා ධර්මය දන්නා බව ප්‍රකාශ කොට බඩගින්න නිවා ගැනීම පිණිස පළමුව බෝසතුන් බිලිකොට ගත යුතුයි ප්‍රකාශ කළේ ය.

ජීවිතය පරිත්‍යාග කළහොත් තමන්ට බණ ඇසීමට ඉඩක් නොලැබෙන හෙයින් මහා පර්වතය මුදුනෙහි සිට යක්ෂයාගේ කටට පනින කාලය අතර තමාට ඇසීමට ධර්මය ප්‍රකාශ කරන මෙන් යක්ෂයාගෙන් ඉල්ලී ය. ඔහු එයට එකඟ විය. ඒ අනුව බෝසතුන් තම ජීවිතය පරිත්‍යාග කළ බව මේ කතාවෙහි සඳහන් වෙයි. ධර්මය මොනතරම් අගනේ ද යන්න මේ සිදුවීමෙන් පැහැදිලි වෙයි. ධර්මය තුරන් වුවහොත් මිනිසා තිරිසනුන් හා සමාන වනවාට සැක නැත. මනුෂ්‍යයාගේ මෙලොව පරලොව ජීවිත සාර්ථක කර නිවනට ළංවීමට ඇති ප්‍රධානම කරුණ ධර්මය දැන ඒ අනුව හැසිරිමයි.