Print this Article


සත්පුරුෂයා කවුද ?

සත්පුරුෂයා කවුද ?

බුද්ධ දේශනාව අනුව සැබෑ සත්පුරුෂයා සියලු කෙලෙස්වලින් අත්මිදුණු රහතන් වහන්සේ කීවොත් වඩාත් නිවැරැදියි. උන්වහන්සේ සියලු කෙලෙස් දුරලූ නිසා ම උන්වහන්සේගෙන් මේ සමාජයට කිසිදු අවැඩක් වන්නේ නැහැ. සත්පුරුෂයෝ සියලුම කරුණෙහි දී ඇලීම දුරු කරනවා.

ඇලීම තමයි අප හැම දෙනාගේ ම අකුසලයන් දියුණුවීමට හේතුවන මූලික කරුණ වන්නේ. ඇලීම ඇති කර ගන්නේ යම් වස්තුවකට, ධනයටකට හෝ පුද්ගලයෙකුට වෙන්නට පුළුවනි. ඇලීමක් ඇති හැම විටකදී ම අපි එය අත්පත් කර ගන්නට, අල්ලා ගැනීමට යි උත්සාහ කරන්නේ. එය කරගන්නට බැරි වෙන විට තරහක් ඇති වෙනවා. ග්‍රහණය කර ගන්නට සිතු දෙය වෙනත් අයෙක් අල්ලා ගත්තොත් ඒ අය කෙරෙහි අපි ද්වේෂ කරනවා. ඊට පස්සේ කුමක් ද වන්නේ? ක්‍රෝධය හෙවත් ද්වේෂ සහගත සිතිවිලිවලින් පෙළෙන පුද්ගලයා අර්ථය, අනර්ථය හඳුනන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළේ සත්පුරුෂයා හැමවිට ම ප්‍රඥාවන්ත ව බුද්ධිමත් ව ක්‍රියා කරන බවයි. ඔහු මෝහන්ධකාරයෙන් දුරු වුණ කෙනෙක්. ඔහු මැනවින් කර්මය හා කර්ම ඵලය විශ්වාස කරනවා.

තමන්ට ලාභයක්, කිර්තියක් ලබා ගැනීමේ අරමුණ ඇතිව තමන්ගේ වචනය සමාජයට මුදාහරින්නේ නැහැ. ඒ වගේ ම තමන්ට කුමන ආකාරයේ සැපයක්, ලාභයක්, දුකක්, පාඩුවක් වන බව දැන දැන වුවත් මොනම ආකාරයකින් වත් තමන්ගේ උතුම් පැවැත්ම යටපත් කරන්නේ නැහැ. ධනයට, ලාභයට, ප්‍රයෝජනයට ගොදුරු වී පහත් ගති සිරිත් ජීවිතයට එකතු කර ගන්නේ නැහැ. ඒ වගේ ම දුකක්, කරදරයක්, විපතක් සිදු වූ විට ද ජීවිතයේ හෝ මානසික තත්ත්වයේ වෙනසකට පත් වන්නෙත් නැහැ.

මෙයට හොඳම නිදර්ශනයක් අපේ බුදුරජාණන් වහන්සේගේ අවදියෙහි අපට හමු වෙනවා. වේරංජා කියන ගමේ ප්‍රධාන බමුණා හැඳීන් වූවේ “වේරංජා” කියල යි. මේ බමුණා වැසි කාලය එළඹෙන වකවානුවෙහි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහා සංඝරත්නයට වස් විසීමට ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ භික්ෂූන් වහන්සේලා පන්සියයක් දෙනා බමුණාගේ ආරාධනාව බොහෝම අනුකම්පාවෙන් පිළිගෙන සාදවා දුන් සෙනසුන්වල වස් විසීම ආරම්භ කළා.

මේ වකවානුවේ බමුණා කුමන හෝ බලවේගයක් නිසා මේ වස් තුන් මාසයට සිහිසුන් ගතියෙන් දෛනික සියලුම කටයුතු ද අවුල් කරගෙන වාසය කළා. වස් කාලය මාස තුනක්. ඉතින් මේ දීර්ඝ කාලය තුළ දානය අහිමි වූ බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියයක් භික්ෂූන් වහන්සේ මුහුණ දුන් කටුක තත්ත්වය දැන් වුවද අපට හිතා ගන්නට පුළුවන්. වස් කාලය ඉකුත් වෙන්නට ඉතා සුළු කාලයක් ඉතිරිව තිබිය දී මරු වසඟයෙන් මිදිමට වේරංජා බමුණාට හැකි වුණා. දැන් මේ ඉතිරි සුළු කාලය මහත් සේ සිවුපසයෙන් උපස්ථාන කර වස් කාලය නිමා කර ගත්තා.

මේ සිදුවීම හැම තැනම ප්‍රචාරය වුණා. අවට ජනයාත් දැනගත්තා. මේ නිසාම නුවර වැසියෝ කල්පනා කළා දන්පැන් දීමට අතපසු වූ කාලයටත් හිලව් වෙන්නට පුළුවන් තරම් ප්‍රණීත විදියට දන්පැන් දෙන්නට ඕන කියලා.

මෙහෙම හිතලා රසකැවිලි වර්ග ද ඉහළින් ම පිළි ගැන්වූවා. මේ කාලයේ සිඟමනේ ගොස් දිවි පවත්වාගෙන ගිය හිඟන්නෝ පන්සියයක් පමණ දෙනා ද මෙම භික්ෂූන් වහන්සේ වැඩ විසූ විහාරය අවට නිතර ම ගැවසුණා.

මේ හිඟන්නෝ පුළුවන් තරම් මේ ආහාරපාන භුක්ති විඳ කැමැති වේලාවක් නිදා ගන්නවා. අවදිව සිටින කාලයේ අසල තිබුණ ගඟට බැස ජලක්‍රීඩා කරමින් ප්‍රීති වෙන්නට පටන් ගත්තා. ඝෝෂා කරමින් ප්‍රීති වෙනවා. මේ තත්ත්වය මැනවින් දැක, තේරුම් ගත් වේරංජාවෙහි වාසය කළ ජනතාව බුදුරජාණන් හමුවට ගොස් මෙහෙම කියනවා.

“ස්වාමීනි මේ හිඟන්නෝ පහුගිය දවස්වල වස් වසා සිටි භික්ෂූන් වහන්සේලාට ද ආහාර නො ලැබුණු කාලයේ, බොහෝ කෘශව ගිය ශරීරයෙන් යුක්තව, කිසිදු සතුටක් විනෝදයක් උසුළු විසුළු කිරීමක් නැතිව දුකෙන් දොම්නසින් කාලය ගත කළා. දැන් එහෙම නො වෙයි.

දැන් භික්ෂූන් වහන්සේලාට වැඩියෙනුත් ලැබෙන ආහාර මේ හිඟන්නෝ භුක්ති විඳලා ඝෝෂා කරමින් විනෝද වෙනවා. එහෙම වුණත් භික්ෂූන් වහන්සේලා අතර නම් එහෙම වෙනසක් නැහැ. උන්වහන්සේලා ආහාර පාන දුර්ලභ ව පැවැති වස් කාලය තුළත් දුකෙන් අසන්තෝෂයෙන් සිටි ආකාරයක් දක්නට තිබුණේ නැහැ. ආහාර සුලභව ප්‍රණිතව ලැබෙන කාලයෙත් ඒ විදියෙන්ම යි. වෙනසක් දකින්ට නැහැ. සන්සුන් ගති පැවැතුම් ඇතිව එකසේ කල් ගෙවනවා.”

මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා, උතුම් ගති ඇති සත්පුරුෂ ගුණ ඇති උත්තමයෝ තමන්ට මනාප වූවක් ලැබෙන විට එහි දී ඊට වර්ණනා ව්‍යාජ දේශනා පවත්වන්නෙත් නැහැ.

කටුක දෙයක් ලැබෙන විට ඊට දුක් දොම්නස් අඳෙීනා කියා අප්‍රසාදයක් අමනාපයක් පළ කරන්නෙත් නැහැ. මෙහි විශේෂත්වය සැප දුක් දෙකෙහිම දක්නට ලැබෙන සම බව යි.