Print this Article


අසිරිමත් ආගමනයක ආශ්චර්යවත් ප්‍රබෝධය

අසිරිමත් ආගමනයක ආශ්චර්යවත් ප්‍රබෝධය

සුපතිඨිත රට්ඨනුරාධපුරේ -
සමදිට්ඨිත දක්ඛිණ සාඛ භවං
සුභ මේඝවනම්බර මේඝනිභං -
ජය බෝධි මහං පණමාමි වරං

අධිෂ්ඨාන බලයෙන් අනුරාධපුරයෙහි මැනවින් පිහිටියා වූ මේ බෝධීන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වෙති. මේඝ වනය අහසක් නම්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ එහි වැහි වලාවක් මෙනි. එසේ වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මම නමස්කාර කරමි.

උඳුවප් පුර පසළොස්වක සඳ උදාවෙමින් ජය ශ්‍රී මහා බෝපත් සිප සැනහි, සිසිලස දවටමින් සඳරැස් කැරලි වැලි මළුව මත අදින රූ රටා මනහරය. මනස්කාන්තය. මළුව පුරා විහිදෙන මල් සුවඳ, දුම් සුවඳ ඉමිහිරි ය. ඒ අදය. එහෙත් බුද්ධ වර්ෂ 237 වැන්නේ ඒ අසිරිය ගෙනා කතා පුවත ද අසිරිමත් සිදුවීම් දාමයක මුල පිරීමකි.

උඳුවප් මාසය ලක්වැසියන්ට විශේෂිත වූ මාසයකි. කෘෂිකාර්මික ජනතාවක් වූ ඔවුන් තම ආර්ථිකය සරු කරගන්නට මුල පුරන්නේ මේ මාසයේ ය. මෝසම් වැස්සෙන් තම කෙත්වතු සරුසාර කර ගැනීමට හැකිවෙන නිසාවෙන් කැලෑ කපා එළි පෙහෙලි කරගත් නවදැලි හේන්වල නව බෝග ඉසිමින් අතමිට සරුවන ඉසුරුමත් අනාගතයකට මුල බීජ වපුරන්නේ මේ මාසයේ ය. එය සංකේතවත් කරමින් උඳු වපුරන මාසය උඳුවප් මාසය යැයි හඳුන්වන්නට ඇත යැයි සිතිය හැකි ය.

ලක්වැසියන් විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව අද භුක්ති විඳින ආර්ථික, සාමාජයීය, ආගමික, සංස්කෘතික, අධ්‍යාත්මික සශ්‍රීකත්වය බුද්ධ වර්ෂ 237 වැන්නේ උඳුවප් පොහොය දිනය වැපිරූ බීජයන්ගේ ප්‍රතිඵලයක් යැයි සිතිය හැකි ය. එය එක් සිදුවීමක් පමණක් නොව අසිරිමත් සිදුවීම් දාමයකි.

බුද්ධ වර්ෂයෙන් දෙසිය තිස් හය වැන්නේ උදා වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනක ලක්දිවට වැඩම කර වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව බුදු සසුන පිහිටුවා නොබෝ කලකින් ථූපාරාම විහාරයේ මහා අරිට්ඨ තෙරණුවන් විසින් මන්තාභය තෙරුන් ඇතුළු පන්සියයක් තෙරුන් වහන්සේලාට විනය ඉගැන්වීමට කටයුතු සැලැස්වීමෙන් ලක්දිව බුදු සසුන මුල් බැසගත් බව ප්‍රකාශ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස රාජරාජ මහාමාත්‍යාදීන් මෙන්ම සෙසු රටවැසියෝ ද බුදුදහම වැළඳ ගත්හ.

මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අසා පැහැදීමට පත්ව සිටි අනුලා දේවිය ඇතුළු කාන්තාවෝ පිරිස පැවිදිවීමට කැමැත්ත පළ කළහ. තමන් වහන්සේ වැනි භික්ෂුවකට එය කළ නොහැකි බැවින් තම නැගණිය වන සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ගෙන්වා ගැනීම සඳහා ධර්මාශෝක අධිරාජයා වෙත දන්වා යවන ලෙස දේවානම් පියතිස්ස රජුට ප්‍රකාශ කළේ ය. ඒ අනුව පැවිදි වීමට අවසර ලත් අරිට්ඨ සෙනවි ප්‍රධාන දූත පිරිසක් ධර්මාශෝක රජු වෙත යැවී ය. මෙම පණිවුඩය ඇසූ ධර්මාශෝක මහ රජු මහත් සතුටට පත්ව සංඝමිත්තා රහත් තෙරණිය සමඟ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ද ලක්දිවට වැඩම වීමට කටයුතු සම්පාදනය කළේ ය.

මෙම කටයුතු සම්පාදනය කිරීම පිළිබඳව වංශකතාගත තොරතුරු බැලීමේ දී රජකෙනෙකු විසින් ජීවමානව බුදු කෙනකුන් වෙනුවෙන් කරනු ලබන සියලු පූජාවන් පවත්වා අසිරිමත් පෙරහරකින් බෝධීන් වහන්සේ සමඟ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රධාන පිරිසක් එවීමට කටයුතු කළේ ය. මෙය සඳහා ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් සංවිධානය කරනු ලැබූ අති උත්කර්ෂවත් පුද පූජා හා පෙරහර සම්බන්ධයෙන් වංශකතා තොරතුරුවලින් පැහැදිලි වේ. බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සහ තේවා විධි පැවැත්වීමට රජකුමාරවරු අට දෙනෙක් ප්‍රධාන 18 කුලයකට අයත් විශාල පිරිසක් සූදානම් කළේ ය.

“මම තෙවරක් දඹදිව රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පිදුවෙමි. මාගේ මිත්‍ර රජතුමා ද එසේ කරත්වා යැයි පණිවුඩය ද එවනු ලැබී ය.”

බුද්ධ වර්ෂ 237 වැන්නේ උඳුවප් පුර පසළොස්වක පොහෝදින අනුරාධපුරයට වැඩමවන ලද බෝධීන් වහන්සේ ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගෙන බුදුරජාණන් වහන්සේ විසින් නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටියා වූ ද, එමෙන් ම තුන් බුදුවරයන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා පිහිටි ස්ථානයේ බෝධීන් වහන්සේ රෝපණය කරන ලදී. දේවානම්පියතිස්ස රජු විසින් ලංකා රාජ්‍යයෙන්ද පුදනු ලැබීය. විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක් පොළොවේ පමණක් නොව සිංහල ජාතියේ ද සම්භාවනීය මහා වෘක්ෂය ලෙස මුල් බැසගත්තේ ය. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව බුදු දහම පැතිරවීමට ගත් ක්‍රියාමාර්ග අතර, බෝධීන් වහන්සේ වැඩම කිරීම වැදගත් සිදුවීමක් විය. එමඟින් සිදුවූ ආගමික සමාජීය සංස්කෘතික හා ශාසනික දියුණුව සලකා බැලීම වටී.