Print this Article


කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයට ශෛලමය ඝණ්ඨාර කුළුණක්

කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයට ශෛලමය ඝණ්ඨාර කුළුණක්


විහාරාධිපති බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක, බේරුවල උතුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
මලේගොඩ නන්ද නා හිමි

විහාරාධිකාරී ශාස්ත්‍රපති අතුරලියේ සෝමානන්ද හිමි

මහින්දාගමනයෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ බුදුදහම සේම කැටයම් කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ද බැබළිණි. අනුරපුර පොළොන්නරු යුගවල බිහි වූ වෙහෙර විහාර, දාගැබ්, කැටයම් නිර්මාණ එයට කදිම නිදසුන් ය. ඒ තුළින් අපගේ අභිමානවත් ප්‍රෞඪ ඉතිහාසය ලොවට විදහාපායි. හෙළ රජ දවස ඉදි වූ එවන් විශ්මිත නිර්මාණ වර්තමාන සමාජය තුළ ද දක්නට ලැබීම භාග්‍යයකි. කළුතර දකුණු රෙමුණගොඩ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ශෛලමය ඝණ්ඨාර කුළුණ අතීත උරුමය වර්තමානයට දායාද කරන අද්විතීය අපූර්ව නිර්මාණයකි.

1900 දී පමණ පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරයේ වැඩ විසූ පයාගල පුඤ්ඤාසාර මා හිමියන්ගේ අනුශාසනා පරිදි පොල් අතු සෙවිලි කළ කටු මැටි ගැසූ කුඩා කුටියකින් ආරම්භ කළ මෙම විහාරස්ථානය අද අංගසම්පූර්ණ මහා විහාරස්ථානයක් බවට පරිවර්තනය වී ඇත.

අපවත් වී වදාළ තුඩුගල අමරමෝලි මා හිමියන් සහ රන්මිණිකේ මංගල මා හිමියන්ගේ යුගවල දී කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානය සංවර්ධනය වූ අතර එහි ස්වර්ණතම යුගය ආරම්භ වන්නේ වර්තමාන විහාරාධිපති බෙන්තර වළල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක, බේරුවල උතුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය මලේගොඩ නන්ද හිමියන්ගේ කාල පරිච්ඡේදය තුළ දී ය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ශාස්ත්‍රපති අතුරලියේ සෝමානන්ද හිමියන් මෙම විහාරස්ථානය බැබළවීමට නිරතුරුව ම කැප වෙති.

විහාරස්ථානය තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ඉන්ද්‍රජෝති සාමණේර ආයතනය, සිරි සීවලී දහම් පාසල සහ සිපාරා පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය තුළින් ප්‍රදේශවාසී සැමට සෙත සැලසේ. ප්‍රදේශයේ ජාතික ආගමික හා සමාජීය කටයුතුවල දී ද විහාරාධිකාරී හිමිපාණෝ පෙරමුණ ගෙන ක්‍රියා කරති.

වසර කිහිපයකට පෙර ඉදිකරන ලද ඉපැරැණි සම්ප්‍රදායානුකූල මහා චෛත්‍යරාජයාණන් වහන්සේ මෙන් ම අභිනවයෙන් ඉදිකරන ලද ශෛලමය ඝණ්ඨාර කුළුණ ද ශ්‍රී ලාංකීය අභිමානවත් ප්‍රෞඪ ඉතිහාසය සිහිපත් කරවන්නකි.

මලේගොඩ නන්ද හිමියන්ගේ සහ අතුරලියේ සෝමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කොට්ටගලින් (ගඩොල් කැට හා සමාන පරිදි සකස් කරන ලද කළුගල් - ඉංගී‍්‍රසි පාලන සමය තුළ එවැනි ගල් වලවල් විවිධ ප්‍රදේශවල පැවතිණි.) මෙම කුළුණ නිර්මාණය කර ඇත. මෙහි නිර්මාණය හා ඉදිකිරීම ද එම ප්‍රදේශයෙහිම පදිංචි පී.ඩී. චන්ද්‍රරත්න මහතා විසින් සිදු කිරීම විශේෂත්වයකි. සියලුම කැටයම් නිර්මාණ කළුගලින් නිමවා ඇත. පරණගොඩ පදිංචි පී.ඩී. රංගන ලක්මාල් මහතා මියගිය සිය ආදරණීය පියාණන් වන පී.ඩී. සුමතිපාල මහතාට සහ පී.ජී. ලීලාවතී ආච්චිට පින් පිණිස සුවිශාල ඝණ්ඨාරය පූජා කර තිබේ. විහාරස්ථ දායක සභාව, විශාල පිරිවැයක් දරා මෙහි වැඩ කටයුතු අවසන් කර ඇත.

මෙම දර්ශනීය කුළුණ සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාරාභිධාන මහා නා හිමියන්ගේ සුරතින් 2018 ජනවාරි මස 01 වන දින පස්වරු 5.00 ට පින් කැමැති සැදැහැවතුන්ට උත්සවශ්‍රීයෙන් නිරාවරණය කිරීමට කටයුතු සංවිධානය කර ඇත.