Print this Article


සතර බුදුවරුන්ගේ බෝධීන් රෝපිත අනුරපුර මහමෙවුනාව

සතර බුදුවරුන්ගේ බෝධීන් රෝපිත අනුරපුර මහමෙවුනාව

අති උතුම් ජය ශ්‍රී මහා බෝ හිමි ගැන, ශ්‍රී සංඝමිත්තා මහරහතන් මෙහෙණිය ගැන, ලංකා මෙහෙණි සසුන ගැන, අනුරාධපුරය ගැන, සිංහල කාන්තා ප්‍රබෝධය ගැන, මෙනෙහි කරන සෑම බෞද්ධයන් තුළම පහළ වනුයේ මහා ප්‍රීතියකි.

උතුම් ජය ශ්‍රී මහා බෝ හිමි ලක්දිවට වැඩමවීම හා ලංකා මෙහෙණි සසුන පිහිටුවා වදාළ ශ්‍රී සංඝමිත්තා මහරතන් මෙහෙණියගේ ශ්‍රී නාමයට උපහාර පූජෝත්සව පවත්වන උතුම් දිනය ලෙස උඳුවප් පුර පසළොස්වක පෝය දින වැදගත් වේ. මෙම උතුම් පුන් පොහෝ දින මෙරටට රැගෙන ආවා වූ අප ගෞතම ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේ පිට දී බුදු වී වදාළා වූ උතුම් බෝධීන් වහන්සේ රෝපිත මහමෙවුනා පින් බිම මෙම භද්‍ර කල්පයෙහි ම අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේට ප්‍රථම බුදු වී වදාළ කකුසද, කෝණාගම, කාශ්‍යප යන සම්බුදුරජාණන් වහන්සේලා පිට දී බුදු වී වදාළා වූ බෝධීන් වහන්සේලා ද රෝපිත පින් බිමයි. ශ්‍රී සංඝමිත්තා මහරහතන් මෙහෙණියගේ ලංකාදීපා ගමනයෙන් භික්ෂුණී ශාසනය මෙරටෙහි ආරම්භ වූවා සේම එම සම්බුදුරජාණන් වහන්සේලා ද මෙරටට වැඩමවා උන්වහන්සේලාගේ ද භික්ෂුණී ශාසනයන් ද මෙරටෙහි පිහිටි බව සඳහන් වේ.

මෙම භද්‍ර කල්පයෙහි පළමුව බුදු වූ කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ සමයෙහි මෙම ලංකාද්වීපය ඕජ ද්වීප නමින් හැඳින්වී ඇත. එසේම අනුරාධපුර නගරය අභයපුර නමින් ද මෙහි රජකම් කළ රජු අභය නමින් ද මහමෙවුනා උයන මහාතීර්ථ නමින් ද උයනට නැගෙනහිර පැත්තට නුවර පියල්කුළු නමින්ද මිහින්තලා ගල දේවකූට නමින් ද හඳුන්වා ඇත. එකල අභයපුර වාසී වූ ජනයා ධන ධාන්‍යයෙන් සමෘද්ධ වූයේ නමුත් එක් අවස්ථාවක රට මුළුල්ලෙහි මහත් වූ ජනපීඩාවක් හටගෙන සියලු සත්ත්වයෝ ම මැරෙන්නට පටන් ගෙන ඇත. බුද්ධානුභාවයෙන් යක්ෂයෝ දිවයිනට ඇතුල් නොවී මිනී කුණු ගන්ධයන් බල බලා මුහුද පිට සිසාරා සිටිති.

එකල කකුසඳ බුදුහුූ ඕජ ද්වීප වාසීන්ගේ පින් මද වූ බැව් දැන උපන් මහා කරුණා ඇතිව, සතළිස් දහසක් පමණ රහතන් වහන්සේලා පිරිවරාගෙන එකෙණිහිම ආකාශයෙන් වැඩ තරු පිරිවර සඳක් සේ දේවකූටයට වැඩ සවණක් රැසින් දස දිගින් බබුළුවා මේ ඕජ ද්වීපයෙහි සියලු මනුෂ්‍යයෝම මා දකිත්වායි මා දුටු කෙණෙහිම සියලු රෝග අන්තර්ධාන වේවායි නිදුක්ව ඇසිල්ලෙකින් අවුත් මා පිරිවරා සිටිත්වායි අධිෂ්ඨාන කළ සේක.

එකෙණෙහිම ඒ අධිෂ්ඨාන චිත්තය හා සමග ගුවන් සඳ දක්නා වුන් සේ සියලු දිවයින් වැසි ජනතාවම බුදුන් දැක නොයෙක් ජ්වර රෝග අන්තර්ධානව අමා දිය ලද්ද වුන් සේ සිටිය තැනින් නැගිට ගමක් මැද ශාලාවකට රැස්වන්න වුන් සේ පර්වත පුරාවට රැස්වූහ. එකෙණෙහිම රජ යුවරජ මහ ඇමතියෝ බුදුන් වැඳ මහත් වූ උත්සවයෙන් මහාතීර්ථ වන උයනට වැඩමවා ගෙන ගොස් අලංකෘත වූ මණ්ඩපයක් සාදවා අනගි බුද්ධාසනයක් හා සතළිස් දහසක් ආසන නිමවා මහත් වූ පූජාවෙන් මහාතීර්ථ උයන බුදුන්ට පිළිගැන් වූහ. එකෙණෙහිම මහ පොළොව ගුගුරා පැන නැගී ගස් මුල පටන් අග දක්වා අකාල පුෂ්ඵයන්ගෙන් ගැවසී ගත්තේ ය.

මෙම ප්‍රාතිහාර්ය දුටු ජනතාව මහත් වූ පූජාවෙන් බුදුපාමොක් මහසඟ පිරිසට චතුමධුර දාන වළඳවා භෝග පමණින් සුවඳ මල් ආදිය බුදුන්ට පුදා එකත්පස්ව සිටි විට බුදුන් බණ දේශනා කොට සතළිස් දහසක් සත්වයින් සසරින් මුදා එම ස්ථානයෙහි දිවා විහරණය කොට සවස මහ බෝමලුවට වැඩමවා මොහොතක් ධ්‍යාන සුවයෙන් වැඩහිඳ නැගී සිට පෙර බුදුන් සිදුකළ දේ කරමියි සිතා දක්ෂිණ ශ්‍රී හස්තය බෝමැඩ දිසාවට දික් කොට මාගේ ශාසනයෙහි ඍද්ධිමත් භික්ෂුණීන් අතර අග්‍ර වූ රුචිනන්දා නම් භික්ෂුණිය මා පිට දී බුදු වී වදාළා වූ මහරි බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ගෙනැ මේ ස්ථානයට පැමිණෙත්වායි අධිෂ්ඨාන කර ඇත. ඒ අවස්ථාවෙහි ම රුචිනන්දා භික්ෂුණිය ඛේමවතී නම් නුවර ඛේමවතී නම් රජහු ලවා සිරියෙල් රේඛා දක්ෂිණ ශාඛාවේ ඇන්දවීමෙන් පසු බෝධීන් වහන්සේම ස්වව්ඡින්නව ආකාශයට පැන නැගී, රන්තලියෙන් ගෙන මහත් වූ දිව්‍ය පූජාවෙන් පන්සියයක් භික්ෂුණීන් හා සමග ආකාශයෙන් මෙරටට පැමිණ බුදුන් දිගු කළ ශ්‍රී හස්තයට ලබා දුන්හ.

ඒ වේලෙහි අභය රජ්ජුරුවන් මුහුණ බලා මහරජ පෙර තොපගේ මේ දිවයිනට ඉසුරු වූ පින්වත් රජුන්ගේ සිරිතක් කරවයි.

ඒ රජහු ලවාම බෝධි රෝපණය කොට එම ස්ථානයට උතුරු දිශාවෙහි වූ එකලට සිරීසමාලක යයි කියන ලද ලෝවාමහාප්‍රාසාදය පිහිටි ස්ථානයෙහි වැඩ හිඳ ධර්මදේශනා කොට විසිදහසක් ප්‍රාණීන් සසරින් මුදවා එම ස්ථානයෙන ථූපාරාම භූමියෙහි වැඩ හිඳ ධ්‍යානයෙන් නැගී බණ වදාළහ.

එහි දී ද දස දහසක් සත්වයින් සසරින් මුදා මේ ස්ථානය වටකොට චෛත්‍යයක් සාදවා වැඳපුදා සසරින් එතෙර වන්නයයි උන්වහන්සේගේ ධර්මකරකය ලබා දී එම රුචිනන්දා නම් භික්ෂුණිය ඇතුලු පන්සියයක් භික්ෂුණීන් හා මහාදේව නම් මහරහතන් වහන්සේ ප්‍රමුඛ දහසක් භික්ෂූන් වහන්සේලා මෙම දිවයිනෙහි නවත්වා එයින් වැඩම කොට දේවකූටයෙහි ආදි වූ මහසල සෑ පිහිටි තන්හි ම වැඩ සිට සියලු දිවයින් වාසීන්ට අනුශාසනා කොට සියලු දෙනා බලා සිටිය දීම දඹදිවට වැඩම වා වදාළහ.

මෙම ලිපියේ ඉතිරි කොටස දෙසැම්බර් 10 උඳුවප් අව අටවක පෝදා පත්‍රයේ පළවේ.