Print this Article


සීහළවත්ථු කතා ඇසුරිනි: මිනිස් ලොව විසූ දෙවියෙක් සහ දෙව්දුවක්

සීහළවත්ථු කතා ඇසුරිනි:

මිනිස් ලොව විසූ දෙවියෙක් සහ දෙව්දුවක්

අනුරාධපුයට බටහිරෙන් යොදුන් තිස් දෙකක් පමණ ගියවිට ‘භූමංගණ’ නම් ගමක් වෙයි. ඒ ගමෙහි කුලීවැඩ කරමින් ජීවත්වන පවුලක පුත්‍රයන් හත් දෙනෙක් විය. ඒ පවුලේ බාලයා තිස්ස ය.

ඔහු නිසි වයසේ දී සම කුලයකින් සුමනා නම් තරුණියක හා විවාහ විය. සුමනාගේ මව ඇයට දෑවැදි ලෙස සහල් නැළියක්, මෝල් ගසක්, වංගෙඩියක්, පියන සහිත කළයක්, ආහාර ගන්නා භාජනයක් දුන්නී ය. වෙනම නිවසක වාසය කරන්නැයි කී ය.

”සුමනා ඔබට ලැබුණ මේ සහල් නැළිය දෙකට බෙදා එක් කොටසකින් සංඝයා වහන්සේට සලාක දානයක් පිළියෙළ කරන්න. අනෙක් කොටස අපගේ පරිභෝජනයට සකසන්න” යැයි කීය.

සුමනා විහාරයට ගොස් දානය සඳහා සාමණේරයන් වහන්සේ නමකට ලුණුවිල කොළ සමඟ බතක් දානය සඳහා පිළියෙල කොට පූජා කළේ ය. සාමණේර හිමියෝ එම දානය රැගෙන දාන ශාලාවට වැඩිය පසු අනෙක් සාමණේරයන් වහන්සේලා පාත්‍රය දෙස බලා සිනාසුණහ. තිස්සට “ලෝණකතිස්ස” යැයි නමක් ද පටබැන්ඳේ ය. සාමණේර භික්ෂුව සුමනා බලා සිටියදී ම ඒ දානය ඉවත දැමුවේ ය.

එය දුටු සුමනා මහත් සේ ශෝක විය. නිවසට ගොස් අඬමින් සිටින විට තිස්ස පැමිණ මෙසේ ඇසුවේ ය.

“සුමනා ඔබ මෙසේ හඬා වැටෙන්නේ ඇයි?”

“හිමියනි, ඒ සාමණේර හිමියෝ මා බලා සිටියදී ම දානය වීසි කළහ. ඔබට ලෝණකතිස්ස යැයි නමක් ද පට බැන්ඳේ ය.

“සුමනා, ඒ සංඝයා වහන්සේ තැබූ නම ඉතා යහපත්. ඔබ දුක් නො වන්න” කියූ තිස්ස පසුදා උදෑසන කුලියට ගොයම් කැපීමට නික්මුණේ ය. කඩිසරව ගොයම් කපා කුඹුරු හිමියාගේ සිත සතුටු කළේ ය. ඒ වෙනුවෙන් ඔහුට දවල් කාලයේ දී වී අමුණක් ලැබුණේ ය. එය සුමනාට දී ප්‍රණීත දානයක් පූජා කරන්න යැයි දන්වා නැවත ගොයම් කපන්නට විය. ඔහුට ඒ වෙනුවෙන් සවස ද වී අමුණක් ලැබුණි.

මෙසේ සැමදා බොහෝ වැඩ කරමින් ලැබුණු සියලු ධාන්‍යවලින් දන් පූජා කළේ ය. දිනෙන් දින දන් පිළිගන්නා භික්ෂූන් වහන්සේ ද වැඩි විය. අවුරුදු දෙක තුනක් ගියවිට ඔහුට සියක් නමකට හෝ දන් පූජා කිරීමේ ශක්තිය ලැබුණි. ඔහු දිනක් භික්ෂූන් වහන්සේ වෙත පැමිණ, ස්වාමිනි, බොහෝ භික්ෂූන් වහන්සේට දන් දීමට මම කැමැත්තෙන් සිටිමි. බොහෝ භික්ෂූන් වහන්සේ වැඩ සිටින්නේ කොහි ද?”යි ඇසී ය.

“උපාසක, භාග්‍යවතුන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යය වන්දනා කිරීමට බොහෝ භික්ෂූන් වහන්සේ නාගදීපයට එති. එහිදී ඔබට දානය පූජා කළ හැකියි”.

තිස්ස සුමනාද කැටුව නාගදීපයේ ‘හරිතාල’ නම් ගමේ පදිංචි වී කුලී වැඩ කරමින් බොහෝ ධනය ඉපයී ය. ශ්‍රද්ධාවෙන් පින් කැමැතිව ඒ සෑ රදුන් වන්දනා කරන්නට එන භික්ෂූන් වහන්සේට ශ්‍රද්ධාවෙන් දන් පූජා කරන්නේ ය. ඔහු ඒ ගමේ ‘හරිතාලතිස්ස’ නමින් ප්‍රසිද්ධ විය.

එහි වැඩ සිටි රහතන් වහන්සේ දෙනමක් “දඹදිවත්, හෙළදිවත් භික්ෂූන්ට බොහෝ සේ සිව්පසය ලැබෙන තැන් ය. මේ ද්වීප දෙකෙන් බොහෝ ශ්‍රද්ධාවන්ත, සීලවන්ත පිරිස සිටින්නේ කොහි ද? කියා කතිකා කොට එය සොයා බැලීමට එක් නමක් දඹදිවටත්, අනෙක් නම හෙළදිවටත් සෘර්ධියෙන් වැඩි සේක.

දවල් කාලයේ භික්ෂූන් වහන්සේ දන් වළඳා ගිය පසු තවත් භික්ෂූන් වහන්සේ නමක් දොර අසල දානය පිණිස සිටගෙන සිටින බව සුමනා දිටී ය. ප්‍රණීත බතක් පිළියෙල කොට පාත්‍රය පුරවා උන්වහන්සේට පූජා කළේ ය. උන්වහන්සේ පාත්‍රය ගෙන සුමනා බලා සිටියදී ම අහසට නැගී විහාරයට වැඩමවා දහසක් භික්ෂූන් වහන්සේලාට ඒ දානය පූජා කළ ද, ඒ දානය අවසන් නො වීය.

නගරවැසියෝත්, භික්ෂූන් වහන්සේලාත් හරිතාල තිස්සගේ ගුණ වර්ණනා කළහ. එය අසා සිටි ලෝකපාලක දෙවිවරු සිවුදෙනා ඒ සියලු කරුණු සොයාබලා තව්තිසා දෙවියන්ගේ සුධර්මා සභාවට වාර්තා කළහ.

මේ ශ්‍රද්ධා සම්පන්න දානපතියා පරික්ෂා කරන අදහසින් සක් දෙවිඳු භික්ෂූන් වහන්සේ නමකගේ වෙසක් මවාගෙන ඔහුගේ නිවසට ගියේ ය. එවෙලෙහි හරිතාල තිස්සට කෑම පිළියෙල කොට ඉදිරියෙන් තැබූ සුමනා ජලය දීම සඳහා පැන් කෝප්පය අතට ගත්තා පමණි. ශක්‍රයා ඔහු අසළට පැමිණ ‘උපාසකය, චෛත්‍ය වන්දනාව සඳහා මා අනුරාධපුරයට යාමට බොහෝ දුර සිටි පැමිණියෙමි. ඔබ මා ගඟෙන් එතෙර කරන්නේ නම් යහපති’ කීය.

“එසේය ස්වාමිනි, කියා බත් අනුභවය නතර කොට ඒ භීක්ෂුන් වහන්සේ එතෙර කරන්නට ගියේ ය. තොටුපළට පැමිණි පසු ඒ භික්ෂුන් වහන්සේ ‘තිස්ස, මගේ නාන කඩය ඔබගේ නිවසෙහි අමතකව ආවෙමි’ කීය. දෙදෙනා ම හැරී ගොස් එය ගෙන ආවේ ය. නැවත තොටුපලට පැමිණි පසු ‘තිස්ස මාගේ සැරයටිය ඔබගේ නිවසේ ය’ කීය. නැවත දුවගොස් සැරයටිය ගෙන ආවේ ය. තොටුපළේ දී භික්ෂුව මාගේ බඳ පටිය අමතකව ආවෙමි’ වදාළේ ය. තිස්ස කිසිදු වෙනසක් නො මැතිව නැවතත් දුව ගොස් බඳපටිය ගෙන ආවේ ය. එවෙලෙහි සක් දෙවිඳු වේශය අත්හැර තම ශක්‍ර රූපයෙන් පෙනී සිට තිස්ස, මුළු රෑ පුරා එහා මෙහා ඇවිදිමින් මහත් වූ දුෂ්කර දෙයක් නෙව ඔබ කළේ. ඔබගේ ශ්‍රද්ධාව සහ ඉවසීම ගැන දෙව්ලොව දෙවියන් ද, කතාබහ කරති යැයි’ කීය. ’ස්වාමිනි, නිරෝගි පුරුෂයෙකු වූ මට මෙය එතරම් අපහසු කාර්යයක් වූයේ නැත. නමුත් මාගේ බිරිඳ වූ සුමනා අතට ගත් දිය බඳුන අත නො හැර මුළු රැයම එක ඉරියව්වෙන් සිටීමෙන් මහත් වූ අපහසු කාර්යයක් සිදු කළා නෙව” යැයි කීය. ‘තිස්ස, ඔබගේ බිරිය ද ඔබට යෝග්‍ය ස්ත්‍රියකි. දෙවියකු සහ දෙවඟනක් ලෙස වාසය කරන්න යැයි කියා ආශිර්වාද කොට දෙව්ලොවට නික්ම ගියේ ය.